කෙනකුගේ මරණය සිදුවන්නේ ඒ ඒ අය පතාගෙන ආ විදියටය. එය කෙනකුගෙන් කෙනකුට වෙනස් වේ. ඊට හේතුව එකිනෙකා කළ පින් පව් අනුව තමාගේ මරණය ගැනත් එය සිදුවිය යුතු කාලය දිනය සහ එය සිදුවන විදිය ගැනත් යම් තීන්දුවක් රැගෙන ඒමයි. ඒ බව කේන්දරයේද මනාවට සඳහන් වේ. ඒ අනුව පහත සඳහන් ග්‍රහ යෙදුම් ඇසුරින් මරණය හඳුනාගත හැකි වන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ.
පාප ග්‍රහයන්ගෙන් පීඩිත වූ සඳු 12 වැන්නට පැමිණ ජන්ම ලාභය ලැබුවොත් පාප ග්‍රහයන්ගේ දශා කාලයක් ලැබූ විට එම පුද්ගලයා මියයන්නේ ජලය සම්බන්ධ කාරණාවකිනි.
යම් අයකුගේ උත්පත්ති අවස්ථාවේ රවි හා කුජ යන ග්‍රහයන් දෙදෙනා සංයෝගවී සඳුගෙන් හත්වැන්නේත්, රාහු ලග්නයේත් තැන්පත්ව සිටියොත් එම ජන්මියා දින කිහිපයක් තුළ මියයන්නට හේතු යෙදේ.
සෙනසුරු ලග්නයේ හිඳ චන්ද්‍රයා හෝ රවි හත්වැන්නේ සිටියදී උපත ලැබුවහොත් හතරවැන්න පඨවි රාශියක් වී එහි පාපී ග්‍රහයන් වේ නම් එයද හදිසි අනතුරු ගෙන දෙන තත්ත්වයකි.
චන්ද්‍රයා ලග්නයේද, රවි නව වැන්නේද, කුජ අටවැනි භාවයේද, සෙනසුරු දොළොස්වැන්නේද පිහිටි කල එම ග්‍රහයන් ගුරුට නොපෙනෙන්නේද එම ජන්මියා උපන් විගස මරණයට පත්වේ. නමුත් ගුරු පස්වැන්නේ ප්‍රබල නම් දිවි බේරේ.
යම් අයකුගේ කේන්දරයේ හයවැන්න කටක, මීන වැනි ජල රාශියක් වී හතරවැන්න දුබල වූ අවස්ථාවේදී එම අය දියේ ගිලී මියයනු ඇත.
රාහු හා ලග්නාධිපති ග්‍රහයා දුර්වල සංයෝග වී හත්වැන්නේ තැන්පත්ව සිටියොත් මාස 21කින් හෝ දින 21කින් මරණයක් යෙදේ. එම විපත් හදිසි අනතුරකින් හෝ රෝගාබාධයකින් සිදුවේ.
කේන්දරයේ අටවැන්නේ චන්ද්‍රයා හා රාහු යෙදී ලග්නය දෘෂ්ටි ග්‍රහයන් දුටුවහොත් එවන් ග්‍රහයකුගේ දශා කාලයකදී එම ජන්මියා හිස හෝ ගෙල කැපී මියයනු ඇත.
යම් ලෙසකට එවන් අයගේ කුජ දෙවැන්නට පැමිණ නපුරු ග්‍රහයකු දුටු විට ඔහු ගින්නට හසුවී මියයෑමට ඉඩ තිබේ.
කේන්දරයේ කුජ, යුරේනස් සහ හත්වැන්න අධිපති දොළොස්වැන්නේ සිටියදී සුබ ග්‍රහයන් එම ස්ථානවල නැති නම් එම පුද්ගලයා අකුණු සැර වැදී මියයෑමට හේතු වේ.
රවි හා චන්ද්‍රයා උත්පත්ති අවස්ථාවේ පාපී ග්‍රහයන් හා සංයෝග වී ලග්නයෙන් තුන්වැන්නේ තැන්පත් නම් ප්‍රබල රෝගයකට ගොදුරුව වසර තුනකින් මියයයි.
ශනි හා රවි යන ග්‍රහයන් කේන්ද්‍රගතව හෝ සංයෝග වී වෙනත් රාශියක පිහිටි සුබ ග්‍රහ දෘෂ්ටි නොලබයි නම් හදිසි අනතුරකින් මියයනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර