වර්තමානයේ විවාහ කටයුතුවලදී පෝරුවේ චාරිත්‍රයට පමණක් ඉතා සුබ මුහුර්ත සකසා ගන්නා නමුත්, එයින් පසු මධුසමය ගතකරන ජීවිතයේ ඉතා වැදගත්වූ දෙවැනි උපත නමින් හැඳින්වෙන කාල පරාසය ගැන එතරම් ගැඹුරින් නිරීක්ෂණය කරන බවක් නොපෙනේ. අඹුසැමි එක්වීමේදී ඉතා සුබ, ධනාත්මක හෝරාවක් තෝරාගැනීම අනිවාර්ය වේ. පැරැණි නැකැත් ඇදුරන් මේ ගැන සලකා බලා සුවිශේෂ නැකැත් යොදාගන්නා ලදී. එපමණක් නොව මංගල දිනයේ නැකැත් සෑදීමේදී මනාලියගේ මවගේ උපදෙස් ලබාගැනීම ගැන පෙර කල්හි වැදගත් මොහොතක් ලෙස සලකන ලදී.
අද වන විට පෙම්වතුන් පෙම්වතියන් තම හිතුමතේට හෝටලේ ඉඩකඩ ඇති වේලාවක් යොදාගන්නා බැව් දැක්විය හැකිය. මෙවැන්නක ප්‍රතිඵල අයහපත් වන බැව් අත්දැක ඇත්තෙමු. මේ පිළිබඳ ජ්‍යොතිෂවේදියාද වගකිව යුතුය. මනාලියගේ ඔසප් චක්‍ර හැසිරීමද අනිවාර්යයෙන්ම බැලිය යුතු වේ. අත්දැකීම් ඇති උගත් ජ්‍යොතිෂවේදියකුගෙන් ඉතා ශ්‍රේෂ්ඨතම නැකැත් සකසා ගැනීමට හැකි වේවි. පරිගණකය නියමුවා වේ නම්, ඒ ගැන කියනු කවරේද? දෙදෙනාටම සම්පත් ක්ෂේම මෛත්‍රී, පරම මෛත්‍රී නැකැත් වේ නම් එදින කුමන අන්දමකට හෝ දාරක බීජානු කලලයක් මනාලියගේ ගැබ තුළ රෝපණය වේ නම් උපදින දරුවාටද ඉතා සුබදායක වේ. පංච මහා සම්පත්තියම හිමිවේ.
එකී සුබ මොහොත ගුරු හෝරාවෙහි පංචමය හා සූක්ෂ්ම හෝරාවක් නම් ඉතා ප්‍රශස්ථව යහපත් වනු ඇත.
ප්‍රථම එක්වීම අරබයා සොයාගනු ලබන සුබ මුහුර්තියක් පවතින වේලාවක තිබිය යුතු වේ.
බුධ හෝ ගුරු, සිකුරු තත් කාලයේ සිටීම ඉතා සුබයි. අතිසාර්ථක යුගදිවියකට පෙරමඟ ලකුණකි.
7 වැන්නට සුබ ග්‍රහයන් දෙදෙනකු මැදිවී සිටීමත් සුබයි.
සඳු 3,7,10,11 භාවයක සිටියදී ගුරු ත්‍රිකෝණ දෘෂ්ටියට ලක්වීම වඩාත් සුබයි.
සඳුට සුබ රාශියක්ව සුබ නැකැත සිටියදී ගුරුට හා රවිට සඳු ත්‍රිකෝණ දෘෂ්ටිගත වීම නම් වඩාත් සුබ වේ.
ගුරු, සිකුරු, බුධ සමග යෝගවී හෝ ත්‍රිකෝණ පෙනීම ලබමින් සඳු සුබ රැසක සිටීමද යහපත්ය.
සඳු සිංහ නවාංශකයේ සිටි විට ධනු නවාංශකයේ හෝ මීන නවාංශකයේ හෝ සඳු සිටීම යහපත්ය.
එක්වන මොහොතේ තත්කාල කේන්දරයේ 7 වැන්නේ ගුරු, බුධ දෙදෙනා පමණක් සිටීමත් සුබයි.
සඳු, මිථුන, සිංහ කාන්තා නවාංශකයක සිටින විටද සුබයි.
පස්වැනි භාවයේ ගුරු, බුධ, ශුක්‍ර පමණක් සිටීමත් ඉතා සුබයි.
ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් හෝ පස්වැන්නේ හෝ සත්වැන්නේ හෝ නවවැන්නේ හෝ ගුරු සිටීම ඉතා සුබයි.
එකී මොහොතේ 8 වැන්නට බුධ, ශනි දෙදෙනා හැර වෙන කිසිම ග්‍රහයකු සිටීම සුබ නැත. 8 වැන්නේ ග්‍රහ රහිත බවද යහපත්ය.
ලග්නාධිපතියාත්, සත්වැන්නාධිපතියාත් තැන් දෙකක ස්ථාන මාරුකර සිටින මොහොත ඉතා සුබයි.
සඳු දුර්වලව පාප කර්තරීව හෝ පාපී පෙනීම ලබා හෝ සංයෝගීව සිටින මොහොතක මංගල ප්‍රථම එක්වීම යුග දිවියට එතරම් සුබදායක නොවන බැව් දැක්වේ. මංගල දිනයේ අඹුසැමි සම්බන්ධතාව පැවැත්වීමට අතිශයින්ම අසුබ ග්‍රහ හැසිරීම් හා සුබ නොව ග්‍රහ යෝග පිළිබඳ ඉදිරියේදී කතා කරමු.
බලන් කඩතුරා හැර දෑසේ මෙන්ම මනසේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී. හෙන්රි බෙම්මුල්ල











