හදන ගෙයක් හෝ හදපු ගෙයක් ප්‍රමිතිගතව ඉතාමත්ම නිවැරැදි වාස්තු විiාවක් මත තිබීම අතිශයින්ම වැදගත් වෙයි. අලුතින් ගොඩනඟන ගෙයක් නම් සැලසුමේ සිට ගෙයි අවසානය දක්වාම නිවැරැදි වාස්තුවක් හරහා ඉදිකර ගැනීමට පහසුවෙයි. නමුත් සාදා නිම කරන ලද නිවෙසක නිවාස හිමියා නොදැනුවත්වම වාස්තු දෝෂ පිහිටා ඇත්නම් ඒවා නිදොස් කරගැනීම අනිවාර්ය වෙයි. එවැනි වාස්තු දෝෂවලින් පිරී ඇති නිවෙස තුළ ජීවත් වීම සේලයින් දෙන ලද රෝගියෙක් වැනිය. එවැනි නිවාස කොතෙකුත් ඇති බැව් පැහැදිලිය.
උදාහරණයක් ලෙස ගතහොත් පර්චස් 23ක වපසරියේ පිහිටි ඉඩමක නවීන පන්නයේ නිවෙසක් ඉදිකරගෙන තිබුණේ විශ්‍රාමික හමුදාවේ උසස් නිලධාරියකුය. ඔහුට බිරිය සහ දියණියක් සහ පුතෙක් වූ අතර, දෙදෙනාම රාජ්‍ය රැකියාවන්හි නිරත වූහ. දියණියගේ වයස 39ක් වුවත් අවිවාහකයි. මංගල යෝජනා කොතෙකුත් ඉදිරිපත් වුවත් කිසිවක් සාර්ථක වී නොමැත. පුතාට විවාහයක් කරගැනීමට ඇති එකම අපහසුව දියණිය තවමත් අවිවාහකව සිටීමයි. දියණියගේ ජන්ම පත්‍රය ගැඹුරින් පරීක්‍ෂා කර බැලූ විටදී පෙනී ගියේ එන මනාලයන් තේරීමත් යෝජනාවලදී සාම්ප්‍රදායික පොරොන්දම් ගළපන්නට යෑම නිසා විවාහය ප්‍රමාද කරවීමකි. ඇයට හිමි මකර ලග්නයට කිසිදු තැනක කුජගේ භෞම දෝෂය නැතත් කුජගේ භෞම දෝෂයක් ඇතැයි සිතීම නිසාම විවාහ යෝජනා ප්‍රතික්‍ෂේප කිරීම සිදුකර තිබිණි. මේ මිත්‍යාවට හසුවීම නිසා එකී තරුණියගේ විවාහය බාලගිරි දෝෂයක් වී ඇත.
උඩින් පල්ලෙන් කේන්දර බලා කියන ප්‍රකාශ නිසා අද වන විට විශාල තරුණ තරුණියන් පිරිසක් අවිවාහකව සිටින බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ නමුත් ඇයට මේ තත්ත්වය ඇති වීමට නිවෙසේ ප්‍රශ්නයද බලපා තිබිණි.
ඉතින් එම නිවෙස ඇතුළත මුළුතැන්ගෙයි හරි මැද වැසිකිළි වළත්, අපජලය එක්රැස් වන වළත් පිහිටා තිබිණි.
මුළුතැන්ගෙය තිබුණේ නැඟෙනහිර දිසාවේය. ඊට යාබදව වැසිකිළිය හා නාන කාමරය පිහිටා තිබිණි. පෝරණුවත්, වැසිකිළි වළත් වැසිකිළියත් එකම ඍජු රේඛාවක පිහිටා තිබිණි. ප්‍රධාන උළුවස්සට එල්ල වන සේ තවත් දොරටුවක් හා ජනේලයක්ද ඇත්තේය. කාමරයේ බාල්කය යට නිදන ඇඳ දිගට දමා තිබිණි.
ළිඳ පිහිටියේ නිවෙසේ කුස්සිය මුල්ලේ සිට අඩි 2.6ට ඈතින්ය.
අලුතින් කාමරයක් ගෙන ඇත්තේ දකුණ හා නිරිත ප්‍රදේශයේ එල්, පොරෝ හැඩයටය. ප්‍රධාන දොරටුවට හරිම කෙළින්ම කුලුනක් යොදා තිබිණි. ගේට්ටුවද නිවැරැදි පාදයක නොවේ. මංගල දොරටුව භද්‍රා පාදයේ පිහිටා ඇත.
මෙම නිවෙස පරීක්‍ෂා කිරීමේදී විශාල ලෙස නිවාස වාස්තු රැසක්ම තිබුණු බැව් දැක්කෙමි.
එකින් එක වාස්තු දෝෂ හඳුනාගෙන ඒවාට නියමිත ක්‍රමවේදයන් අනුගමනය කර යහපත් සොඳුරු නිවෙසක් කිරීමේ කුසලතාව හිමිකර ගත්තෙමු.
මේ වන විට තරුණිය සාර්ථක යුගදිවියක් ගෙවන අතර, තරුණ පුතාද වාසනාවන්ත විවාහයකින් දරු සුරතල් බලන වාසනාව හිමිකරගෙන තිබෙන අතර, විශ්‍රාමික හමුදා නිලධාරි මහතා සහ එම මැතිනියටද නිරෝගී සුවයෙන් එකී නිවෙස තුළ සතුටින් ජීවත් වීමේ වාසනාව පෑදිණි.
කලක සිටම එකී නිවෙසට හූනියම්, අනවින, කොඩිවින කර ඇතැයි යන මතය නිවාස හිමියාගේ, බිරියගේ ඔළුවට දමා තිබිණි.
මේ සියලුම හූනියන් ඉවර වුණේ නිවෙසේ වාස්තු දෝෂ ඉවත් කිරීමෙන් පසුව යැයි සිතේ.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











