හූනෙක් “චුක් – චුක්” ගෑවත් යන්න ගිය ගමන ටිකක් ප්‍රමාද කිරීමේ පුරුද්ද හැමෝටම තියෙනවා. දැන් කාලේ අය නම් ඒවා නොසැලකුවට අතීතයේ සිට අදටත් වැඩි පිරිසක් පෙරමඟ නිමිති ගැන සැලකිල්ලක් දක්වනවා. සුබ ගමනක් යද්දී නිවෙසේ ගෘහණිය මව හෝ බිරිය සුදු මල් දැමූ වතුර වීදුරුවක් රැගෙන පෙරමඟට එන්නේ ඉන් එහාට යන මඟ කුමන ආකාරයේ නිමිත්තක් හමුවේදෝ යන සැකය නිසයි.
වර්තමානයේ නම් ඡන්දය දාන්නත් යනෙන මඟ පෙරට සුදු මල් දැමූ වතුර වීදුරුවක් රැගත් සුබ පෙර නිමිත්තකින් පසුව ඒ ගමනට පිටත්ව යන තත්ත්වයක් තිබෙනවා. ඒ තරමට අපේ බොහෝ දෙනා අතර පෙරමඟ නිමිත් පිළිබඳ තිබෙන්නේ දැඩි විශ්වාසයකි. නමුත් යන – එන හැම ගමනකදී අපේ වුවමනාවෙන් සුබ පෙරනිමිති හමුවීම ප්‍රායෝගිකව ගැටලුකාරීයි. ඒ නිසා කවදා කොහේ ගියත් ඉදිරියට හමුවන නිමිත්ත සුබ – අසුබ ප්‍රතිඵල ගෙන එන්න පුළුවන්. එම නිසා යන – එන ගමනේදී හමුවන නිමිති සුබද අසුබද යන කාරණය දැගැනීමට අපේ සහාය ඔබට ඉවහල් වනවා ඇත.
කැවිලි වර්ග බදිමින් සිට ඉර අවරට ගොස් තිබෙන මොහොතක ගමනක් ගියේ නම් හැඬූ කඳුළින් නැවත ඒමට සිදුවෙනවා.
ලෙඩකුට ප්‍රතිකාර කිරීමෙන් පසුව ගමනක් ගියේ නම් ඒ යන ගමනේ රාජකාරි අඩක් පමණක් කර නැවත ඒමට සිදුවෙනවා.
මී මැස්සන් රෑනක් පියඹා යන මොහොතක හිමිදිරි උදෑසන යන ගමන ඉතා සුබදායකයි.
පුරන් වූ කුඹුරක් අසලින් ගමනක් ගියොත් තනිකම් දෝෂයකට ලක්වී වැඩකටයුතු අවුල්සහගත වෙයි.
විදුලි උපකරණ සාදන තැනකින් ගමනක් ගියේ නම් ඒ රාත්‍රි කාලයේදී නම් ගෙනගිය යමක් අතරමඟදී නැති වෙන්න පුළුවන්.
මස් – මාළු කපා ඒ මොහොතේ ගමනක් ගියා නම් ඉෂ්ට දේව බලය අඩුවන නිසා මඟ අනතුරු ඇති විය හැකියි.
ඉඩමක කොළ රොඩු එකතු කර ගිනි තබන තැනකින් ගමනක් ගියා නම් තමා මහන්සියෙන් තනිවම බලාපොරොත්තු ඉටුකර ගැනීමට සිදුවෙන තත්ත්වයක් උදාවෙයි.
මුහුණ විරූපී කරගත් නැටුම් කණ්ඩායමක් හමුවූවා නම් ඔබ සමඟ ගමනේ යන පිරිස අතර සමගිය නැති වෙයි.
දිරාගිය සත්ව ඇටකටු ඇති තැනකින් ගමනක් ගියේ නම් අධික මහන්සියකට ලක්වන ගමනකි. තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට නැවත කිහිප වරක් යෑමට සිදුවෙයි.
දිරා නොගිය කොළ හැලුණු ගසක් අසලින් ගමනක් ගියේ නම් ඒ ගමනේදී නිකරුණේ කාලය ගතකර හිස් අතින් පැමිණීමට සිදුවෙයි.
අකුණු පහරකින් විනාශ වුණු තැනකින් ගමනක් ගියේ නම් ඒ ගමනේදී බොහෝ අඩුපාඩු ඇති වෙයි.
බදාදා දිනෙක දවල් 11.45ට පසු යන ගමනකදී රතු ඇඳුමක් ඇඳගෙන ගියා නම් නිෂ්ඵලදායක ගමනකි. දැඩි හානියක් ඇතිවෙයි.
කුණු රොඩු ගසාගෙන ඇවිත් නැවැතුණු දොළක් අසලින් ගමනක් ගියොත් හදිසි අනතුරකට ලක්වෙන්න ඉඩ ඇත.
අමු බෙහෙත් වර්ග එකතු කර ඇති තැනකින් ගමනක් ගියේ නම් කිසිවකුට නොලැබෙන වටිනා උපදෙස් රැසක් අසන්නට අවස්ථාව ලැබේ.
ජ්‍යොතිෂවේදී අනුර ඒකනායක