ජ්‍යොතිෂය ගැන විශ්වාසයක් හැමෝටම නැතිවෙන්න පුළුවන්. ඒත් බොහෝ දෙනාට කුමන හෝ විශ්වාසයක් ජ්‍යොතිෂය ගැන තියෙනවා. කලාකරුවන්ටත් එහෙමයි. එදිනෙදා කලා කටයුතු සාර්ථක කර ගැනීමේදී ජ්‍යොතිෂයේ සහයෝගය ලබා ගැනීමට බොහෝ කලාකරුවන් පුරුදු වෙලා ඉන්නවා. ඒ විදියට ජ්‍යොතිෂයේ සහාය පිළිබඳ විශ්වාසයක් තිබෙන බව ප්‍රවීණ නිළි මීනා කුමාරි අපිට කිව්වේ මෙහෙමයි.
මීනා ජ්‍යොතිෂය විශ්වාස කරන කෙනෙක්ද?
ජ්‍යොතිෂය ගැන මගේ විශ්වාසයක් තියෙනවා. නමුත් ඒ මත්තෙම දැඩිව ඇලිලා නැහැ.
ජ්‍යොතිෂය විශ්වාස කරන්න තරම් හේතුවක් ඇති එහෙනම්?
ඔව්. ප්‍රධාන හේතුව තමයි මං පුංචි කාලෙදි මගේ තාත්තා මගේ හඳහන පරීක්‍ෂා කරන්න ගිය අවස්ථාවක කියලා තියෙනවා මම කවදාහරි කලාවෙන් ඉදිරියට යනවා ජනප්‍රිය වෙනවා කියලා. එතකොට මම පාසලේ හය ශ්‍රේණියේ විතර. ඒ කාලේදිත් මම නර්තනයට සංගීතයට කැමැතියි. පාසලේදීත් හැදෑරුවා. ඉතින් මට තවමත් මතකයි ඒ ගැන ලියලා ජ්‍යොතිෂවේදියා තාත්තාට ලියලා දීලා තිබුණු කොළය මං නිතරම කියෙව්වා. මං පුංචි වුණත් ඒක මගේ හිතට තදින්ම වැදුණා. ඒ විශ්වාසය තමයි අදටත් තියෙන්නේ.
ජ්‍යොතිෂය ගැන තිබුණු විශ්වාසය පලුදු වුණු අවස්ථා තිබිලා නැද්ද?
එහෙම කියන්න තරම් දෙයක් වෙලා නැහැ. මං ආගම දහම එක්ක ජීවත් වෙන කෙනෙක්. බුදුන්ගේ කාලයේ සිටම ජ්‍යොතිෂය අපේ සමාජයේ තිබෙනවා. මම නිතරම හිතන්නේ බුදුදහම අනුව කර්මය තමයි මේ හැමදේම. නමුත් ජීවිත අද්දැකීම, ආධ්‍යාත්මික දියුණුව, බුද්ධිමත් බව අනුව කර්මය වුණත් වළක්වගන්න පුළුවන්. ඉතින් එහිදී අනාගතය පිළිබඳ යම්කිසි දැක්මක් ජ්‍යොතිෂයෙන් ලබාගන්න පුළුවන් කියලයි මම හිතන්නේ. බොහෝ විට මම ජ්‍යොතිෂයෙ සහයෝගයත් ඇතිව අපල තිබෙන අවස්ථාවලදී ඒවා මඟහරවා ගෙන තිබෙනවා.
නිතරම හඳහන පරීක්‍ෂා කරනවද?
නැහැ. එහෙම නිතර නිතර ගිහින් හඳහන් පරීක්‍ෂා කරන්නේ නම් නැහැ. ඒත් වසරකට වරක් වගේ හඳහන් පරීක්‍ෂා කරලා ඉදිරි කාලය කොහොම වෙයිද කියලා දැනගන්නවා. අපිට හඳහනක් තියෙනවා උපතින්ම. අම්මා – තාත්තා පවා ඉස්සර ඉඳන්ම හඳහන පරීක්‍ෂා කරමින් අපේ කටයුතු ගැන හොයලා බැලුවා. ඒ ආභාසය මටත් තියෙනවා.
හඳහන අනුව අපල තිබෙන බව කිව්වොත් යන්ත්‍ර – මන්ත්‍ර ආදී කටයුතුවලට යොමුවෙනවද?
ඇත්තටම යන්ත්‍ර – මන්ත්‍ර ගැන නම් මගේ විශ්වාසයක් නැහැ. අපල තියෙනව නම් මම ආගමට නැඹුරුව යොමුවෙලා ආගමානුකූලව අපල දුරුකර ගන්නයි උත්සාහ කරන්නේ.
මැණික් ගල් පැලඳීම, වාලම්පුරි ආදිය ගැනත් විශ්වාසයක් තියෙනවද?
නැහැ. වාලම්පුරි වගේ දේවල් ගැන නම් මගේ හිතේ කැමැත්තක් නැහැ කොහොමටවත්. මැණික් ගල් නම් කුඩා කාලයේ අම්මලා පලඳවලා තියෙනවා. නමුත් මට නම් ඒ ගැන ලොකු තැකීමක් නැහැ.
ජ්‍යොතිෂය විශ්වාස කරන කෙනෙක් විදියට ඒ වෙනුවෙන් විශාල වශයෙන් වියදම් කරලා තියෙනවද?
ජ්‍යොතිෂය විශ්වාස කළාට මං දැඩිව ඒ සමඟ බැඳුණු කෙනෙක් නෙවෙයි. ඒ නිසා විශාල වශයෙන් වියදම් කරමින් ඒ මත්තේ වැඩකටයුතු කරන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් ඒ විදියට ජ්‍යොතිෂය වෙනුවෙන් වියදම් කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් මම එහි වරදක් කියන්නෙත් නැහැ. මොකද ඒ දේවල්වලින් ලැබෙන මානසික සුවය තමයි වැදගත්.
ආගමානුකූලව ජීවත් වන කෙනෙක් විදියට ඒ පිළිබඳ ඔබේ විශ්වාසය කොහොමද?
මගේ නිවෙසට සමීප ප්‍රදේශයේ රජමහා විහාරයට තමයි මම යන්නේ. ඒත් ඉතින් කොයි වෙලෙත් පන්සලේ ඉන්න චරිතයක් නෙවෙයි මම. වසරකට වරක් අනුරාධපුරය, කතරගම වැනි පූජනීය ස්ථානයකට ගිහින් වන්දනාමාන කරනවා. පෝය දවසට පන්සල් යන්න බැරි වුණොත් ගෙදරදී ආගමානුකූලව කටයුතු කරනවා. රූපවාහිනියෙන් ඉතා හොඳ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. ගෙදර බුදු පහන හැමදාමත් තියනවා. ආධ්‍යාත්මික සුවය තමයි වැදගත්ම දේ.
දෙවියන් ගැනත් විශ්වාස කරනවාද?
ලොකු විශ්වාසයක් නැති වුණාට සෑම දෙවි කෙනෙක් ගැනම ගෞරවයක් තියෙනවා. ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න අපි පොඩි කාලේ ඉඳලම පුරුදුවෙලා ඉන්නේ. මොකද අධ්‍යාපනයට අධිපති දෙවියන් විදියට මම දුවගේ කටයුතුවලදීත් ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්නවා.