පැරැණි සේවාදායිකාවකගෙන් ලැබුණු දුරකතන ඇමැතුමකට අනුව වත්තල ප්‍රදේශයේ පිහිටා තිබුණු නිවෙසක වාස්තු පරීක්ෂාවට මා එහි ගියා. නිවෙසේ හිමිකරු වූයේ පැරැණි සේවාදායිකාවගේ ඥාති පුතෙක් වූ ක්‍රිෂාන්. නමුත් මා එහි යන විට නිවෙසේ සිටියේ ක්‍රිෂාන්ගේ මවුපියන් පමණි. මුඵ ගෙදරම පැතිරිලා තිබුණේ මහා මූසල පාඵ ගතියක්. නිවෙසියන් සිටියේ දැඩි නිහඬතාවක. නිවෙසේ සෑම තැනම පාහේ හැඩි වෙලා. සෑහෙන කාලයකින් අස්පස් නොකර තිබූ බවක් බඩු මුට්ටු විසිරී තිබූ ආකාරයෙන් මට වැටහුණා. නිවෙසියන්ට වඩා වාස්තු පරීක්ෂා කරන අතර තුර මා හා කතා කළේ පැරැණි සේවාදායිකාව. නිවෙසියන් දැඩි චිත්ත පීඩාවකින්, කියන කිසිදු දෙයක් අවධානය යොමුකර වටහා ගත නොහැකි මානසිකත්වයකින් සිටින බව මට වැටහුණා.
නිවෙසේ හා ඉඩමේ වාස්තු පරීක්ෂා කළ විට දෝෂ කිහිපයක්ම හඳුනාගැනීමට හැකි වුණා. නිවෙසේ වාස්තු පරීක්ෂා කරන්න හේතුව කිසිවෙක් නොපැවැසුවත් තිබෙන වාස්තු දෝෂයන් අනුව නිවෙසියන් පත්ව ඇති තත්ත්වය මනාව පිළිබිඹු වුණා. ඒ වෙද්දී ගෙදර අයිතිකරු වෙච්ච ක්‍රිෂාන් මුඛ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් අපේක්ෂා රෝහලේ සිටියා. වෘත්තියෙන් පුද්ගලික ආයතනයක ගණකාධිකාරිවරයකු වූ ක්‍රිෂාන් මේ ගෙදර මිලදී ගෙන තිබුණේ සිව්වැනි අයිතිකරු හැටියට. කට වහරෙන් කියන විදියට අතෙන් අතට ගිය ගෙදරක්. මෙයට පෙර ගෙදර පදිංචිවෙලා හිටිය කිසිම කෙනෙක්ට සුගතියක් නම් අත්වෙලා තිබුණේ නැහැ. හැමෝම කරලා තිබුණේ සැබෑ තත්ත්වය වසන් කරලා හම්බවුණ ගැනුම්කරුවකුට මරාලයක් වුණ ගෙදර පංගරාත්තු කරලා එතැනින් පැනගත්තු එක. අවුරුදු එකහමාරක් ගතවෙද්දී ක්‍රිෂාන් පිළිකා රෝගියෙක් වුණා. රෝගී වීමත් සමඟ රැකියාව හරිහැටි කරගන්න බැරිවීමත් සමඟ රැකියාවේ ගැටලු ඇති වුණා. නිවෙස මිලදී ගෙන තිබුණෙත් බැංකු ණයකින්. එන්න එන්නම ආර්ථික පරිහානියක් ඇති වුණේ ලෙඩ රෝග තත්ත්වය නිසාමයි. ඒවගේම ක්‍රිෂාන්ගේ මවුපියන් පුදුමාකාර බයකින් මැරි මැරී ජීවත් වුණේ තමන්ගේ එකම දරුවාගේ ජීවිතේ අකාලයේ නැතිවෙලා තමන් තනිවෙයි කියලා. පවතින වාස්තු දෝෂ එකින් එක පහදලා දීලා ඒවා ඉවත් කරන විදියත් කියලා දුන්නා. තිබුණු වාස්තු දෝෂයන් මෙන්න මෙහෙමයි.
- ශුර්ෂ නිවෙස
මේ වගේ දෝෂයක් ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ ශුර්ෂ භූමිවල. ඒත් මායිම් කෙළින් නැති ඉඩමකත් මෙවැනි දෝෂ ඇති වෙන්නේ ඇද මායිමටම හේත්තු කරලා ගෙවල් හැදුවම. ඒ වගේම ඉදිරිපස පළල වැඩිවෙලා පසුපස පළල අඩුවී කුල්ලක හැඩයට ගෙවල් හැදුවම ඇතිවන දෝෂයට තමයි ශුර්ෂ නිවාස කියලා කියන්නේ. මෙම ශුර්ෂ දෝෂය ඉවත් කිරීම එතරම් පහසු නැහැ.
කරන්න තියෙන්නේ එකම දෙයයි. නිවෙසට නව කොටසක් එකතු කරලා කුල්ලක හැඩය ඉවත්වන ලෙස සකස් කිරීම පමණයි. ඇද මායිම් බිත්තියක් තියෙන හින්දා වාස්තු දෝෂය සම්පූර්ණයෙන් ඉවත් නොවී දෝෂය 60%ක් විතර නිරාකරණය වෙනවා. ඉතිරි දෝෂයෙන් ඇතිවන්නේ මානසික පීඩාවන්. - වේදාන්තර දෝෂය
මෙම නිවෙසේ ප්‍රධාන දොර වේදාන්තර දෝෂයට ලක් වෙනවා. වාස්තු විද්‍යාවේදී වේද රේඛා පිළිබඳ අප සාකච්ඡා කරනවා. වේද රේඛා කියන්නේ බ්‍රහ්ම පාදය හෙවත් ගෙයි හරි මැද්දේ ඉඳලා ගෙදර ප්‍රධාන මුලු 4 යා කරමින් කතිරයක් ආකාරයට විහිදෙන රේඛා 4ට. බ්‍රහ්ම පාදයේ සිට මෙලෙස විහිදෙන රේඛාවක් ප්‍රධාන දොර හරහා ගමන් කරයි නම් එයට වේදාන්තර දෝෂය යැයි කියනවා. වේදාන්තර දෝෂයට හසුවූ විට හිස ආශ්‍රිත රෝගාබාධ, හදිසි අනතුරු, ධන හානි, මානසික පීඩා ඇති කරන නිසා ප්‍රධාන දොර ගලවලා සුබ පාදයක තබන්න එම ස්ථානය ලකුණු කොට නිවෙසියන්ට පෙන්වූවා. - නිදන කාමරයේ දොර මර්මස්ථාන දෝෂයට හසුවීම.
නිවෙසේ හරි මැද සිට එකතු කිරීමේ ලකුණක් ආකාරයේ රේඛා 4ක් විහිදෙනවා නම් මේවාට මර්මස්ථාන රේඛා කියලා කියනවා. ක්‍රිෂාන් සිටි කාමරයේ දොරත් මෙවැනි රේඛාවකට කැපුණා. එහි ප්‍රතිඵලය තමයි නිදන කාමරයේ සිටින්නන් කායික, මානසික පිරිහීමකට ලක්වීම. නිදන කාමරයේ දොර ගලවා වෙනත් තැනක තබන්න උපදෙස් දුන්නා.
වාස්තු දෝෂ නිරාකරණය කිරීමෙන් පසු ක්‍රිෂාන්ට සුවපත් වන්නට හැකි වුණ අතර විවාහ වී දැනට තමන්ගේ ගණකාධිකාරී ආයතනයක් ආරම්භ කර එම කටයුතුවල නිරත වෙමින් සිටියි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ











