මෙවර උදාවන්නා වූ 2564 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය හෙවත් අප මහා තිලෝගුරු සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම සැමරෙන අති උතුම් වෙසක් උත්සවය තේමා කොට ගනිමින් බුදුදහමත් ජ්‍යොතිෂයත් අතර ඇති සම්බන්ධතාවය විමසා බැලෙන කාලීන ලිපියකි.
බුදුදහම නම් වූ ඒ වටිනා දර්ශනය මීට වසර 2564කට පෙර බුදුරජාණන් වහන්සේ විසින් ලොවට දායාද කළ සේක. පුද්ගලයාගේ ලෝකෝත්තර දියුණුව ලබා ගනිමින් අකුසලයෙන් වැළකී කුසල් රැස්කරමින් අවසන නිර්වාණාවබෝධය ලබා ගන්නා ආකාරය මැනවින් බුදුදහම තුළින් අපට පසක් කරදේ. පුද්ගල ජීවිතයේ අභ්‍යන්තර දියුණුව තුළින් යහපත් ජීවිතයක් ගත කරන ආකාරය බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට අවබෝධ කර පෙන්වා දුන්හ. මධ්‍යම ප්‍රතිපදාව තුළින් ජීවිතය හැඩගස්වා ගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ වදාළේය. පින් පව් තුළ ජීවිතයේ ගලා යාම බුදු දහමින් අපට අවබෝධ කර ගත හැකිය. එසේ නම් මේ ලෝකයේ නිර්මලම හා සත්‍යතම දර්ශනය බුදුදහමයි.
එසේම අවුරුදු 5000ටත් වඩා පැරණි අතීතයක් ඇති ඉතා පුළුල් හා ගැඹුරු ශාස්ත්‍රයකි ජ්‍යොතිෂය. සාගරය බඳු විශාල අවිෂයක් වූ ජ්‍යොතිෂයෙහි ජෝති යනු ආලෝකයයි. නැතහොත් බැබළීමයි. ග්‍රහලෝක හා තාරකාවන්ගේ බැබළීම පදනම් කර ගෙන කරුණු ප්‍රකාශ කිරීම හේතු කොට ගෙන මෙයට ජ්‍යොතිෂ ශාස්ත්‍රය යයිද කියනු ලැබේ. පුරාණයේ විසූ මනස දියුණු කළ අති දක්ෂ ඉසිවරු විසින් අහසේ ග්‍රහ තාරකාවන්ගේ ගමන පදනම් කර ගනිමින් යම් ගණිත ක්‍රමයකට අනුව මේ ශාස්ත්‍රය ලෝකයට දායාද කර ඇත. රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශනි, සිකුරු, රාහු, කේතු යන ග්‍රහ බලවේගයන් තම ශක්තිය අනුව අපට විවිධ සංඥා ලබාදෙයි. ඒවා අප, අපල හා සඵල ලෙස හඳුනා ගැනීම මත ජ්‍යොතිෂයේ ග්‍රහ පදනම සැකසී ඇත. යම් පුද්ගලයකුගේ ලෞකික ජීවිතයට ආලෝකය ගෙන ඒම ජ්‍යොතිෂයේ මූලිකම පදනම ලෙස අපට පෙන්වාදිය හැකිය. අඳුරේ අතපතගාමින් යන කෙනෙකුට හරි මග යා නොහැක. එවිට හරියට කළුවරේ කෙනෙකු ගමනක් යනවා වැනිය. ඔහුට මග වැරැදී යා හැකිය. නැතිනම් සතා සිවුපාවගෙන් අනතුරක් විය හැකිය. නමුත් ඔහු අඳුරට ආලෝකයක් ලෙස විදුලි පන්දමක් ගෙන ගියහොත් ආරක්ෂිතව ගමනාන්තයට ළඟා විය හැකිය. එසේ නම් ජ්‍යොතිෂයත් එම අඳුරට අලෝකය වූ විදුලි පන්දම වැනි අඳුරු වූ මිනිස් ජීවිතයට අලෝකයකි. යම් පුද්ගලයකු මෙලොවට ජනිතවන අවස්ථාවෙහි නැඟෙනහිර ක්ෂිතිජයේ පායන ග්‍රහ තාරකාවන් පදනම් කොට ගෙන නිර්මාණය වන ජන්ම පත්‍රය ජ්‍යොතිෂයේ මූලිකම අංගයයි. ජන්ම පත්‍රයක සියලුම ග්‍රහ බලයන් යහපත් හෝ අයහපත් නොවෙයි. පුද්ගලයාගේ උත්පත්තිය අනුව ඔහුගේ හෝ ඇයගේ පෙර කුසල් අකුසල් බලයන් ලෙස ග්‍රහබල ස්වභායන්ගේ පිහිටීම සටහන් වේ. මේ ආකාරයට කේන්ද්‍රයේ කොටු 12 තුළින් කෙනෙකුගේ උත්පත්තියේ සිට මරණය දක්වා සියලුම අවස්ථාවන් අපට මනාව හඳුනා ගත හැකිය.
ග්‍රහ තාරකා විසින් මිනිසාගේ ඉරණම තීරණය නොකරන අතර මිනිසා විසින් පූර්ව ආත්ම භාවයන්වල කළ කී පින්, පව් අනුව ඉරණම ගැන සංඥා ලබා දෙනු ලබනවා. ඒ අනුව බෞද්ධ කර්ම වාදයේ සඳහන් කර්ම 12 ගැන ජන්ම පත්‍රයේ කොටු 12 මගින් දැනගත හැකියි.
එසේ නම් බුදු දහමින් මිනිසාගේ ලෝකෝත්තර දියුණුව සැලසෙන ආකාරයත් ජ්‍යොතිෂයෙන් මිනිසාගේ ලෞකික දියුණුව සැලසෙන ආකාරයත් අපට පෙන්වා දෙයි. බුද්ධ කාලයට පෙර සිටම ජ්‍යොතිෂය පැවති බවට සාධක රැසක් ඇත. එනම් බමුණන් අතර වූ බමුණු මත මෙන්ම අප මහා බෝසතුන්ගේ උත්පත්තිය සඳහා දෙව්ලොව සිට පස්මහ බැලුම් දුටු ආකාරයත් එනම් සුදුසු නුසුදුසු කාලය පිළිබඳ පෙර නිමිති වූ කාලය, දීපය, දේශය, කුලය, මව යන සුබ පෙර නිමිති බැලීම මෙන්ම සසර කලකිරීමට මූලික වූ සතර පෙර නිමිති දැකීමද, කොණ්ඩඤ්ඤ තවුසා සිදුහත් කුමරු ඒකාන්තයෙන්ම බුදු වන බව පැවසූ අනාවැකියද, ජ්‍යොතිෂයට අනුකූල වේ. බුදුරජාණන් වහන්සේ කිසි විටෙක ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප නොකළ අතර බුද්ධ කාලයට පෙර සිට පැවති බමුණන්ගේ බමුණු මත ප්‍රභූන්ගේ පුද සත්කාර ලබමින් ජ්‍යොතිෂ සංකල්පයන්ද බමුණන් විසින් එකල තම උදර පෝෂණයට යොදා ගැනීම පමණක් උන් වහන්සේ විසින් බිඳ දැමීය. ග්‍රහ තාරකාවලට වන්දනා මාන කිරීම උන්වහන්සේ නිෂ්ඵල දෙයක් ලෙස අනුදැන වදාළ අතර, ග්‍රහ තාරකාවලට මිනිසාට කළ හැකි දෙයක් නොමැති අතර ඒවායින් අපට ලබා දෙන්නේ අප විසින් පූර්ව ආත්මභාවයන්වල කළ පින් පව්වල සංඥා පමණි. කර්මඵලවාදය අනුව ඇතිවන සසර පැවැත්ම ජන්මියාගේ උපත අනුව ග්‍රහ කොටු අතර සටහන් වෙයි. පින් පව් කුසල් අකුසල් සුබ අසුබ කාල තීරණය වන්නේ පුද්ගලයාගේ උපත සමග ඒකාත්මික වූ ග්‍රහ බල දුබලකම් අනුවය. අතීතයේ නාඩි වාක්‍ය ලියූ සෘෂිවරු යම් පුද්ගලයෙකුගේ උපතේ සිට සියලු තොරතුරු පත් ඉරුවක් තුළ සටහන් කොට ඇත. එසේ නම් ජ්‍යොතිෂය යනු මනස දියුණු වූ සෘෂිවරුන්ගේ සොයා ගැනීමකි. එහි සත්‍යතාව අද මෙන් හෙටටද එකසේ වලංගුය. කර්මඵලය අනුව දෙදෙනෙකුගේ විවාහයද සසර පුරා පැවති බැඳීමකි. එය බැඳීම, බිඳීම, හෝ එකට රැඳීම, සිදුවන්නේ පෙර කළ කර්මඵල අනුවය. එසේ නම් බුදු දහමින් විග්‍රහ කළ කර්මඵල අනුව හා කුසල් අකුසල් මත විවාහයක් ගොනු වෙයි. එය ජ්‍යොතිෂය මත පදනම්ව ග්‍රහ බලය අනුව පොරොන්දම් ගැළපීම තුළින් සිදුවෙයි.
“අනුජානාමි භික්ඛවේ නක්කත්තං”
භික්‍ෂූණි, නැකැත් තාරකා අනු දනිමි. පෝය කර්ම කටයුතුවලදී නැකැත් තිථී ආදිය විමසිය යුතූය. දැනගත යුතුය යැයි බුදුන් වහන්සේ පැවසීම තුළින් උන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට නැකැත් තිථී පොහොය පිළිබඳ දැනුවත් වීම අවශ්‍ය බව දක්වා ඇත.
මීට අමතරව බුද්ධ දේශනාව තුළ තාරකා ශාස්ත්‍රයට අදාළ විශ්වය චක්‍රාවාට පිළිබඳවද ඇතුළත්ය. ඉහත ආකාරයට බුදුන් වහන්සේ ජ්‍යොතිෂමය කරුණු ප්‍රතික්ෂේප නොකළ අතර උන් වහන්සේ දේශනා කළ වදාළේ මධ්‍යම ප්‍රතිපදාව තුළ සිටිමින් මේවායේ අන්තයටම නොගොස් ග්‍රහ තාරකා මතම එල්බ නොසිටිය යුතු බවයි. ජ්‍යොතිෂය යනු ජීවිතයෙන් පහෙන් කොටසක් බවයි.
අප බෞද්ධ දේශනාව තුළ එන සෙත් පිරිත් සජ්ජායනා කරන විට “නක්ඛත්ත යත්ඛ භූතානං පාපග්ගහ නිවාරණං” ඒ කියන්නේ පාපග්‍රහයින්ගේ දෝෂ පිරිතේ අනුහසින් දුරුවේවායි යන්නය. මෙහිදී නක්ඛත්ත ලෙස හඳුන්වන්නේ නැකැත් තාරකා වන අතර පාපග්ගහ ලෙස හඳුන්වනු ලබන්නේ පාපග්‍රහයින්ටය. මේ තුළින් පැහැදිලිවම ජ්‍යොතිෂයත් බුදු දහමත් අතර සම්බන්ධය වටහා ගත හැකිය.
ජ්‍යොතිෂය කිසිදු අවස්ථාවක බුදු හිමියන් විසින් ප්‍රතික්ෂේප කර නැති අතර ජ්‍යොතිෂයත් බුදු දහමත් අතර ඇති මනා සම්බන්ධතාවය මෙරට වැඩ සිටි ජ්‍යොතිෂය පිළිබඳව හසළ දැනුමක් මෙන්ම ඒ සඳහා විශාල සේවයක් කළ අති ශ්‍රේෂ්ඨ උගත් සංඝපීතෘන්වහන්සේ නමක් වන පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියන් විසින් රචිත බුද්ධ චරිතය තුළින් නිරවුල්ව පැහැදිලි කොට ඇත. බුද්ධ චරිතය කෘතිය තුළ සිද්ධාර්ථ කුමාරයාගේ කේන්දර සටහන පැහැදිලිව උන්වහන්සේ විසින් දක්වා ඇත. මීට අමතරව මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමියන් විසින් රචිත “පුණ්‍යෝපදේශය” යන කෘතිය තුළද බෞද්ධ යන්තර සටහන් දක්වා ඇත.
සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රමුඛතම සංස්කෘතික මංගල්‍ය වන සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර තුළ අප ඉටුකරනු ලබන නැකැත් සියල්ලක්ම පාහේ සකස් වී ඇත්තේ මෙම ජ්‍යොතිෂය පදනම් කොටගෙනය.
අතීත රජ දරුවන් පවා ජ්‍යෙතිෂය භාවිතා කර ඇත. එනම් දුටුගැමුණු රජතුමා රුහුණු රටින් යුද සටන ආරම්භයට පිවිසියේ නැකැත්කරුවන්ගේ උපදෙස් අනුව පුෂ නම් නැකැතෙනි. මීට අමතරව වේළුසුමන එුස්සදේව වැනි අතීත යෝධයන්ධ අතීතයේ ප්‍රකට චරිතයක් වූ රජවාසල කවටයා වූ අන්දරේද හිටිවන කවියකු මෙන්ම දක්ෂ ජ්‍යොතිෂය පිළිබඳ දැනුම ඇත්තෙකුද විය.
මේ අනුව බලන කල ජ්‍යොතිෂයත් බුදුදහමත් අතර ඉතා කිට්ටු සබැඳියාවක් ඇත. බුද්ධ කාලයට පෙරත් බුද්ධ කාලයේ සිට අද දක්වාත් ජ්‍යොතිෂයත් බුදු දහමත් එක්ව ගමන් කරයි. බුදු දහමත් කේන්ද්‍ර සටහනත් සත්වයාගේ සංසාර ගමන කර්මානුරූපීව විමර්ශනය කොට ඇත. එසේ නම් අප කළ යුත්තේ බුදු දහමෙහි හරයත් ජ්‍යොතිෂයේ ආලෝකයත් අප ජීවිත තුළට ළඟා කරගනිමින් වඩ වඩාත් අර්ථාන්විත ජීවිතයක් ගත කිරීමයි.
2020 වෙසක් උත්සවය මෙවර කොරෝනා වසංගතය හේතුවෙන් ගෙදර සිට සැමරීමට අපට සිදුව ඇති පසුබිමක මෙවර අප නිවෙසේ සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් අති උත්කර්ෂවත්ව සමරිය යුතුය. අප ඔබ සැම සියලුදෙනාම බුදු දහමෙත් ජ්‍යොතිෂයෙත් හරය මනාව තේරුම්ගෙන කටයුතු කිරීම ඉතාම අගනේය.
සම්පත් එස්. කල්පගේ











