දෙදෙනකු යුග දිවියට පිවිසි පසු ඔවුන්ගේ ඊළඟ අරමුණ දරුවකු බිහි කිරීමයි. යුග දිවියකදී දරු ඵලයක කාරණයත් සමඟින් කාන්තාවට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. එහිදී කාන්තාවන් ඇගේ ඔසප් චක්‍රයත්, දරු ප්‍රසූතියත් අතර ඇත්තේ නොබිඳෙන සහසම්බන්ධයකි.
කාන්තාවක දරුවකු අපේක්‍ෂා කරන්නේ නම් ඇය ප්‍රජනන සෞඛ්‍ය ගැන වැඩි උනන්දුවක් දැක්විය යුතු අතර, එහි නිරෝගීකම ගැන සැලකිලිමත් විය යුතුය. බොහෝ විට කාන්තාවන් නොදැනුවත්වම කරන ඇතැම් කාරණා නිසාද ප්‍රජනන සෞඛ්‍ය පිරිහෙන අවස්ථා ඇත. ඒ අතර අවශ්‍ය මොහොතේ මල මුත්‍රා පිට නොකිරීම, අධික ලෙස ව්‍යායාම සහ ලිංගික ක්‍රියාවන්හි යෙදීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු නොවීම ආදිය ප්‍රධාන තැනක ලා සඳහන් කළ හැකිය. මෙයට අමතරව වර්තමානයේ බහුලව භාවිත කෙරෙන ක්‍ෂණික කෘත්‍රිම ආහාර නිසාත් විශාල හානියක් කාන්තාවන්ට සිදුවෙයි.
ආර්තවය හෙවත් ඔසප් චක්‍රය කාන්තා සිරුරේ පවිත්‍රකරණ ක්‍රියාවලියකි. මෙම කාලයේදී කාන්තා ශරීරය අමතර ශක්තියක් බලාපොරොත්තු වෙයි. ආර්තව චක්‍රය හරහා දරු සම්පත් ලබා දීම ප්‍රධාන කාරණාවක් වුවද එමඟින් ඇයට දීර්ඝායුෂ ලබා දීමේ ක්‍රියාවලියක්ද සිදුවෙයි. ඇගේ සිරුරේ වා, පිත්, සෙම් තත්ත්වය ආර්තවයට ප්‍රබලව බලපාන බව දේශීය වෛi විiාවේදී පිළිගැනේ. සිරුරේ පවතින වාතය, ඔසප් චක්‍රයටද, දරු ප්‍රසූතියටද අත්‍යාවශ්‍ය අංගයකි. එහෙත් වාත දෝෂ පවතී නම් ඇයට ආතතිය, නින්ද නොයෑම, මානසික අසමබරතාව, දුක්බර සිතුවිලි, අමතකවීම, මලබද්ධය සහ සුළු රුධිර පිටවීම ඇති විය හැකිය.
ඔසප් ක්‍රියාවලියේදී වේදනාව, බඩ කොරවීම, කොන්දෙ වේදනාව, තද පැහැ කැටි වශයෙන් රුධිරය පිටවීම, දීර්ඝ කාලයක් පැවැතීම මෙන්ම අක්‍රමවත් රුධිර වහනයටත් වාතය බලපායි. එවැනි තත්ත්වයන්ට මුහුණ දෙන දරුවන් අපේක්‍ෂාවෙන් සිටින්නියන්, වාත සමනයට සුදුසු ආහාර ගැනීමට සැලකිලිමත් විය යුතු අතර, කෝපි, තේ, මෙන්ම කුළුබඩු වර්ග අධිකව ගැනීමද නොකළ යුතුය.
ධාන්‍ය, රනිල කුලයේ ඇට වර්ග, කැරට්, බීට්, බතල, පිපිඤ්ඤා, ග්‍රීන්පීස්, මිදි, අඹ, කොමඩු, චෙරි, කෙසෙල්, ගස්ලබු, දොඩම්, දෙළුම්, රටඉඳි, අලිගැට පේර මේ අයට වඩාත් ගැළපෙන ආහාර ලෙස සඳහන් කළ හැකිය.
යම් කාන්තාවකගේ පිත් දෝෂ වේ නම් ඇයට ඔසප් වීමේදී කෝපය, නොසන්සුන් බව වැඩි වෙයි. වැඩිවන ආහාර රුචිය සමඟින් වරින් වර හිසරදයද වැඩි වෙයි. සිරුරේ උණුසුම දහදිය දැමීම වැඩි වන අතර, මල පිටවීම අඩු හෝ වැඩි වීම සිදු විය හැකිය. කුරුලෑ වැනි සමේ ඇති වන වෙනස්කම්ද වැඩි වශයෙන් දක්නට ලැබේ. මේ අයගේ ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවෙයි. එසේම ඔසප් වාර ගණන වැඩි වීමත්, දීප්තිමත් රන් පැහැයෙන් රුධිරය පිටවීමත් දක්නට ලැබේ.
මේ අයට තේ, කෝපි, චීස්, යෝගට් සහ සත්ව නිෂ්පාදන සුදුසු නොවේ. එසේම කුසගින්නේ සිටීම කිසිසේත් නොකළ යුතුය. උණුසුම් ආහාර අඩුකර, සිසිල් දියරමය ආහාර වැඩිපුර ගැනීම වඩාත් යෝග්‍ය වෙයි. එසේම කොත්තමල්ලි, මාදුරු, කහ, මුං, බාර්ලි, වට්ටක්කා ඇට, ආමන්ඞ් බිම්මල්, ඔලිව් ආදිය මේ අයට ගුණදායක ආහාරයි.
යම් කාන්තාවකට සෙම් දෝෂ ඇත්නම් ඇයගේ ඔසප් දිනයට පෙර සිරුරේ බර වැඩි වෙයි. සිරුරේ තරල එක්රැස්වීම හේතු කොටගෙන එසේ සිදුවන අතර, පියයුරුද විශාල වෙයි. මල බුරුලට පිටවෙයි. ඔසප් කාලයේ කොන්දේ සන්ධිවල තද ගතියක් දැනේ.
මේ අය ලුණු, චීස්, යෝගට්, චොක්ලට්, සුදු සීනි, පිටි ආහාර, ඔසප් ආසන්නයේ සහ ඔසප් කාලයේදී නොගත යුතුම ආහාරයි. ඉඟුරු, කරදමුංගු, කොත්තමල්ලි, මාදුරු වැනි කුළුබඩු යෙදූ ආහාර මේ අයට ගුණදායකය. වාතය, පිත ඇති අයට මෙන්ම මේ අයටත් කෝමාරිකා ගුණ දෙයි. හාතාවාරිය, අශ්වගන්ධ, ත්‍රිපලා දශමූලද ගුණදායකය.
සෙම්, පිත්, වා යන කිනම් දොසක් තිබුණද ඒ සියලු දෙනා දිනපතා පැය භාගයක පමණ කාලයක් ඇවිදීමට යොදා ගන්නේ නම් වඩාත් ගුණදායක වෙයි. මේ කාරණා සම්බන්ධව උනන්දුවෙන් කටයුතු කරන පතිනියකට දරුඵල ලබා ගැනීමේ සිහිනය සිහිනයක්ම වන්නේ නැත.











