ඔබේ දියණිය විවාහයට සූදානම්ද? ඔබේ පැතුම ඇයට යහපත් ස්වාමිපුරුෂයකු හිමිවීම විය හැකියි.
මවුපියන්ගේ ප්‍රාර්ථනාව තම දරුවාට යහපත් තරුණයකු හෝ තරුණියක හිමිවීමයි. තම පවුලට සම්බන්ධ වන ඔහු හෝ ඇය පිළිබඳව මවුපියන් කෙතරම් උනන්දුවක් දක්වන්නේද?
එහෙත් මවුපියන් තම දියණියගේ සැඟවුණු ග්‍රහ චාරයේ සොබාවය මඳක් හෝ විමසුම් කර බැලුවේද?
අනෙකකුගේ ජීවන චරිතය හඳුනා ගැනීමට පෙර තම දියණියගේ සැඟවුණු ජීවන චරිතය පිළිබඳව වටහාගත හැකි නම් එය කෙතරම් සහනයක්ද?
තම දියණියගේ යුගදිවියට ඇය තුළින්ම ගැටලුවක් මතුවන්නේ නම් එය කල් ඇතිව හඳුනා ගැනීම ගැටලු නිරාකරණයට මඟකි.
රාගයට මෙන්ම විවිධ වූ මානසික උන්මාදවලට තරුණ පෙළ යොමු කරවන ග්‍රහ සංකලන රාශියක් ජ්‍යොතිෂයෙහි දැක්වෙයි. මෙවැනි ග්‍රහ පිහිටීමකින් ඇති වන මානසික උද්වේගයක් නම් කාම උන්මාදයයි.
විවිධ වූ කාන්තා රාග චරිත පිළිබඳව අතීත බුද්ධකාලීන සමාජයේ පවා විශේෂිත නිදසුන් දක්නට ලැබෙයි. ඒ අතර ඛේමා-උප්පලවණ්ණා, කුණ්ඩලකේශී, අම්බපාලි වැනි චරිත ප්‍රමුඛය.
බුද්ධ කාලයේදී රාග චරිතගත ස්ත්‍රීන්හට විශේෂ ස්ථානයක් හිමිව තිබේ.
රාග චරිත හිමියා නිතර අනුන්ගේ සිත් දිනා ගැනීමට සමත්කම් දක්වයි. එවැනි කාන්තාවන් ලිංගික ආකර්ෂණය තුළින් අතිප්‍රබලය. සමාජයේ පිළිගැනීමද ඉහළය.
ඔවුන් සැබැවින්ම දක්‍ෂයෝය. ගතිගුණ සහ ආකල්ප පිළිබඳ විමසුම් කළ විට එම ස්ත්‍රීන් රාග චරිතයෙන් යුක්ත දැයි පැවසීමට අපහසුවක්ද නැත.
සරලව දැකීමේදී රාග චරිතයා බුද්ධිමත්ය. යමක් වටහා ගැනීමට සමත්ය. අතීතය විමසුම් කිරීමේදී රාග චරිත හිමි කාන්තාවෝ සියලු කෙලෙසුන් නසා රහත් බව පවා ලබා ගැනීමට සමත්ව ඇති බව පෙනේ.
ක්‍රෝධ චරිත, මෝහ චරිත ඇති ස්ත්‍රීනට වඩා රාග චරිත කාන්තාවන් යහමඟට හැරවීමට ඉතා පහසුයි. නොමඟට වැටී චරිතය කෙලෙසාගත් ස්ත්‍රීන් නොමඟට වැටීමට හේතු වන අසුබ ග්‍රහයන්ගේ ග්‍රහ රටාව ඇගේ චරිතයේ සියල්ල පසක් කරවයි.
පාප ග්‍රහයන් කිහිප දෙනකු හෝ වැඩි ගණනක් 7 වැන්නෙහි සිටීම හෝ 7 වැන්න දැකීම නිසා එම ස්ත්‍රිය පරපුරුෂ ඇසුර පතන්නියක වෙයි.
බුධ උච්චව 7 වැන්නට යෝග වීමත් යහපත් නැත. එය රාගාධික බවේ සංකේතයයි. සිකුරු උච්චව උපත ලද කාන්තාව චිත්‍ර, නෘත්‍යය, සංගීත ආදියෙහි දක්‍ෂතා දක්වන්නියකි. ඇයට ධන සම්පත් ලැබීමේ වාසනාවද ඇත. එවන් කාන්තාවෝ උපතින්ම රාග චරිත ඇත්තෝය.
බුධ, සිකුරු දෙදෙනා ලග්නගතව උපත ලද ස්ත්‍රිය රූප සම්පත්තියෙන් අගතැන්පත්ය. ඇය වාසනාවන්තය. රාගාධික බවෙන්ද උපරිමයට පත්වෙයි.
බුධ – ගුරු – සිකුරු ලග්න ගතවීමද සරාගික කාන්තාවක හඟවන පිහිටීමකි.
වනිතා ජන්ම පත්‍රවල මූලිකව පිරිසුදුව දැකිය යුතු ග්‍රහයා සඳුය. මෙම සඳු 6, 8, 12, ශනි – කුජ – රාහු ආදීන්ගේ බැල්මෙන් පීඩාවට පත්වූ විට කාන්තාව මානසික පීඩාවනට භාජනය කරනු ලබයි.
7 වැන්න අධිපතියා 5 වැන්න අධිපතියා සමඟ යෝගව සිටින විට සඳු, කුජ දෙදෙනා ඒකරාශි ගතවී ලග්නාධිපති පීඩාවට පත්කිරීම කාම උන්මාදයට පත්වීමකි.
ලග්නාධිපති 6 වැන්නාධිපති එක් රාශියකට යෝගව සඳු – සිකුරු දෙදෙනාද ඒකරාශිගතව සිටින විට 7 වැන්න අධිපතියා දුර්වල නම් රාගික සිතිවිලි නිසාම මොළය අවුල් කරගනී.
සඳු – සෙනසුරු 7 වැන්නට යෝග වීම ඒරාෂ්ටක අපලයකි. අති ධාවන කාම යෝගයකි.
7 වැන්නේ රවි සිටියදී 4 වැන්නේ හෝ 12 වැන්නේ යෙදුණු කුජගේ පූර්ණ දැක්මට රවි යොමුවූ විට ජන්මියා කායික ශක්තියෙන්ද, ලිංගික ශක්තියෙන්ද බලවත්ය. එයම පර අඹුවක් සොයා යෑමට හේතු වන ග්‍රහ පිහිටීමකි.
අති ධාවන කාමයෝග හඳුනා ගැනීමෙන් එම යෝගවලට ගැළපෙන ජන්ම පත්‍ර හඳුනා ගැනීම දෙදෙනකුගේ සාර්ථක යුග දිවියකට මඟ සැකසීමකි. ඒකාකාරී ජීවන රටාවෙන් මිදී තාවකාලික සුවයක් අපේක්‍ෂාවෙන් ඇතැමුන් සරාගී ජීවිත ගතකරති.
එය සමාජයේ වරද නොව පෙර පින් අහිමි වීමේ වරදය. සාර්ථක විවාහයක් පතන තරුණ තරුණියන්ද තමන් තෝරා ගන්නා සහකරු, සහකාරිය පිළිබඳව තතු ජ්‍යොතිෂයට අනුගතව විමසුම් කිරීම සාර්ථකය.
විවිධ වූ රාග චරිතයකට හිමි යෝගයන් දුරු කරන ග්‍රහ පිහිටීම්ද ජ්‍යොතිෂය තුළ සැඟව ඇත. රාග චරිත හිමි කාන්තාවෝ බුදුන් වහන්සේ වෙත පැමිණ බණ අසා පැවිදිව රහත්ව භික්‍ෂුණි ශාසනයට ආලෝකයක් වූ බව බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි.
එවන් චරිත ඇති වාසනාවන්ත කාන්තාවන් නිසා ස්වාමි පුරුෂයා පමණක් නොව පරම්පරාවේද දියුණුව, වාසනාව මතු වූ අවස්ථාද ඇත.
එහෙයින් විවාහයට පෙර තරුණියක් නිවැරැදි කේන්ද්‍ර පරීක්‍ෂාවකින් තම සැඟවුණු චරිතය විමසුම්කර බලන්නේ නම් එය ඇගේ අනාගත දිවියේ සාර්ථකත්වයට මහඟු අත්වැලක් වෙයි!
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











