ශ්‍රී ලංකාවෙහි වන්දනාවට ලක් වී ඇති දේවතාවියන් අතර ප්‍රධානම තැන හිමිවන්නේ පත්තිනි මෑණියන් හටය. තම පතිව්‍රතතාව රැක ගැනීම හේතු කොට ගෙන ඇති වූ බලයෙන් දේවත්වයට පත් වූ පත්තිනි මෑණියන්ගෙන් පිහිටාරක්ෂාව ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් පැමිණෙන්නේ කාන්තාවන් සහ කුඩා දරුවන්ය. වසර ගණනාවක් පුරා දරු ඵල නොමැතිව ළතැවෙන කාන්තාවන් මෙන්ම විවාහය ප්‍රමාද වූ සහ විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වූ කාන්තාවන් රාශියක්ද පත්තිනි මෑණියන්ගේ පිහිට පතා පත්තිනි දේවාල වෙත නිරන්තරයෙන් පැමිණෙන ආකාරය දක්නට ඇත.
පත්තිනි දේවාල වෙත පැමිණෙන්නන් පත්තිනි මෑණියන් වෙනුවෙන් පූජා පවත්වන්නේද විශේෂිත වූ ආකාරයකටය. පළමුව ඒ සඳහා පත්තිනි රූපය සහිත පූජාසනය මත සුදු පිරුවටයක් ඇතිරිය යුතුය. එහි විවිධ වර්ගයේ මල් අතුරා, දේව ප්‍රතිමාවට ද මල් මාලයක් දමා පොල් තෙල් පහන් 07 ක් දැල්විය යුතුය. එසේ නොමැති නම් පහන් තිර 7ක් යොදා එක් පහනක් දැල්විය යුතුය. එහි අඹ ඇතුළු පලතුරු වර්ග 07 ක් තැබිය යුතුය. තැඹිලි ගෙඩියක් හා කැවිලි වර්ග 07 ක් ද,කෙසෙල් සහිත පඬුරු 07 ක් ද පූජාසනයේ තැන්පත් කළ යුතුය. අනතුරුව පත්තිනි මෑණියන් වන්දනා කරමින් තමා පැමිණි කාරණාව ඉදිරිපත් කළ හැකිය. ඊට අමතරව අං කෙළිය, පොරපොල් කෙළිය, ඇසළ පූජාව, කිරි අම්මා දානය ආදී පූජා පත්තිනි දේවිය මුල්කර ගෙන පැවැත්වෙන පූජාවන් රැසක්ද දක්නට ඇත.
එම සාමාන්‍ය පූජාවන්ට අමතරව පත්තිනි මෑණියන්ගේ ආශීර්වාදය පතා පවත්වන ප්‍රධාන පූජාව ලෙස හැඳින්විය හැක්කේ පත්තිනි දේවාල ආශ්‍රිතව පවත්වන වාර්ෂික මංගල්‍යය. එහි විශේෂත්වය වනුයේ එම වාර්ෂික පූජාව පවත්වන්නේ කාන්තාවන් සහ කුඩා දරුවන් පමණක් නොව අසල ගම්වාසීන් සියලු දෙනාගේම සුබසෙත සඳහා වීමය. ඒ ආකාරයෙන් පවත්වන පූජාව මුළු රාත්‍රියක් මුළුල්ලේම පැවැත්වීම සාමාන්‍ය සිරිතය. පත්තිනි මෑණියන්ගේ ආශීර්වාදය වෙනුවෙන් පැවැත්වුවද, එම ශාන්තිකර්මයේදී පත්තිනි මෑණියන් පමණක් නොව ශ්‍රී ලංකාවේදී අදහන අනෙක් දෙවියන් වෙනුවෙන්ද පූජාවන් පැවැත්වීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක.
එම පූජාව සඳහා සහභාගි වන්නන් පූජාවට පේ වීම අරඹන්නේ දින කිහිපයකට පෙර සිටය. එලෙස පේ වීමෙන් පසු පූජාවට පෙර දිනයේ දේවාරාධනාව සඳහා සහභාගි වීම සාමාන්‍ය සිරිතය. ඉන් අනතුරුව නියමිත දිනයේ පූජාව ඇරඹෙන්නේ නානුමුර මංගල්‍යය සමඟිනි. පත්තිනි මෑණියන් වෙනුවෙන් පවත්වන පූජාවේ පළමු අංගය වන්නේ මිල්ල කැපීමය. එය සිදු කරනු ලබන්නේ දෙවොල් දෙවියන් වෙනුවෙනි. වනයෙන් තෝරා ගත් හොඳින් වැඩුණු නොඉඳුල් මිල්ල ගහක් ඒ සඳහා කලින්ම තෝරා ගන්නා අතර පූජාව සඳහා කපා ගන්නේ එම ගසේ අත්තක්ය. මිල්ල කැපීම සිදු කිරීමෙන් පසු පූජාව පවත්වනු ලබන භූමියේ ගිනිමැලයක් දැල්වීම සිදු කරන අතර ඉන් සංකේතවත් කරන්නේ පත්තිනි මෑණියන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ගිනිමැල හතක් මැවීමේ සිදුවීමය.
එතැනින් පසු දලුමුර පූජාව සහ මඟුල් බෙර පූජාව පැවැත්වෙන අතර යහන් දැක්ම රඟ දක්වමින් නර්තනකරුවන් දෙවියන්ගෙන් අවසර ලබා ගැනීම සිදු වන්නේ ඉන් පසුවය. අනතුරුව පැවැත්වෙන්නේ කාලපන්දම් පූජාවය. එය පැවැත්වෙ න්නේ කතරගම දෙවියන් වෙනුවෙනි. ජනප්‍රවාදයේ සඳහන් අන්දමට කාලපන්දම් පූජාව පළමුව පවත්වා ඇත්තේ දුටුගැමුණු මහ රජතුමා විසිනි. එළාර රජු සමඟ පැවැති යුද්ධය සඳහා දකුණු රටෙන් පිටත්ව යෑමට පෙර දුටුගැමුණු මහරජු විසින් කතරගම දෙවියන් උදෙසා බාරයක් වී ඇත. එම බාරය මඟින් ගැමුණු රජු යුද්ධයේදී තමන්ට උදවු කරන මෙන් කතරගම දෙවියන්ගෙන් ඉල්ලූ බවද, යුද්ධය ජය ගැනීමෙන් පසු එම බාරය ඔප්පු කිරීම සඳහා කටයුතු කළ බවද ඉතිහාසයේ සඳහන්ව ඇත. ගැමුණු රජු එම බාරය ඔප්පු කොට ඇත්තේ වැඩිහිටි කන්දේ දොළොස් මහා පහන පිහිටා ඇති ස්ථානයේදීය. පත්තිනි මෑණියන් වෙනුවෙන් පවත්වන ශාන්තිකර්මයේදී කාලපන්දම් පූජාව පවත්වන්නේ එය සංකේතවත් කිරීම සඳහාය.
පත්තිනි මෑණියන් සහ කතරගම දෙවියන් අතර ඇති සම්බන්ධයද ජනප්‍රවාදයේ සඳහන්ව ඇති ආකාරය ඉතා රසවත්ය. ශ්‍රී ලංකාවට පැමිණි කතරගම දෙවියන් වල්ලි අම්මා සමඟ මිත්‍ර වුවද, ඥාති කාන්තාවක නොමැතිව වල්ලි අම්මා, කතරගම දෙවියන් හට ආවාහ කර දීමට නොහැකි බව ස්වදේශිකයන්ගේ මතය වී ඇත. කතරගම දෙවියන් ඒ සඳහා පිහිට ඉල්ලා ඇත්තේ පත්තිනි මෑණියන්ගෙනි. කතරගම දෙවියන්හට උදවු වීම සඳහා ලංකාවට පැමිණීමට පත්තිනි දේවතාවිය එකඟ වූ නමුත් ශ්‍රී ලංකාවේ එවකට ජීවත් වූ ස්වදේශිකයන්ගේ ක්‍රියා කලාපය ඇයට ඒ සඳහා බාධාවක් වී ඇත. දඩයමෙන් ජීවත් වූ ඔවුහු කතරගම දෙවියන්ගේ විවාහ මංගල්‍යය සඳහාද විවිධාකාරයේ මස් මාංශ සූදානම් කර ඇත. එබැවින් එවැනි භූමියකට පත්තිනි දේවතාවියට වැඩිය නොහැකි තත්ත්වයක් උද්ගත වූ අතර ඇය එම භූමිය පිරිසුදු කිරීම සඳහා ගරායකා දේවතාවා පිටත් කර එවූ බව ජනප්‍රවාදයේ සඳහන්ව ඇත.
කෙසේ නමුත් ගරායකා දේවතාවාට ලබා දුන් වරම අනුව ඔහු මෙරටට පැමිණ අත තැබූ සියලු දේ අතුරුදන් වී ඇත. සියලු මස් මාංශ වැළඳීමේ ආසාවෙන් පැමිණි ගරායකා දේවතාවා මේ හේතුවෙන් කලකිරීමට පත් වී ඇති අතර ඒ බව පත්තිනි දේවතාවියට පැවසීමෙන් පසු ඇය ගරායකා දේවතාවාටද විශේෂ වරමක් ලබා දී ඇත. ඒ අනුව පත්තිනි මෑණියන්ට පුද දෙන සියලු ආහාරවලින් කොටසක් ගරායකා දේවතාවාටද හිමිය.
පත්තිනි මංගල්‍යයේ ප්‍රධානම අංගය වන පත්තිනි යාගය පැවැත්වෙන්නේ ඉන් අනතුරුවය. වර්තමානයේදී බොහෝ විට පත්තිනි දේවතාවිය ලෙස ආභරණ පැලඳ ගන්නේ දේවාලයේ ප්‍රධාන කපු මහතාය. නමුත් අතීතයේ ඒ සඳහා නාග ලොව කන්‍යාවියන් පූජාව පැවැත්වෙන භූමියට වැඩි බව ජනතාව අතර තවමත් ප්‍රචලිතව ඇත. අඹ විදමන පැවැත්වෙන්නේ ඉන් පසුවය. අඹ විදමන ආරම්භ වීම සම්බන්ධ කතාවද ඉතා රසවත් එකකි. ඉන්දියාවේ පඬි රාජ්‍යයේ එක්තරා කාලයක රජ කළ පඬි රජුට තෙවැනි ඇසක් තිබී ඇත. ඒ ඇස මඟින් බලන සියලු දේ විනාශ වී යෑමේ බලයක්ද එම රජුට තිබී ඇත. ඒ හේතුවෙන් පඬි රජුගේ එම ඇස විනාශ කරන මෙන් සාමාන්‍ය ජනතාව දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලීම් කර තිබෙන අතර ජනතාවගේ ඉල්ලීමට කන් දෙමින් එම අභියෝගය භාර ගෙන ඇත්තේ පත්තිනි දේවතාවියය.
පඬි රජුගේ තෙවැනි ඇස විනාශ කිරීමේ අරමුණෙන් ඔහුට අයත් විශාල අඹ උයනේ අඹයක් තුළ පිළිසිඳ ගැනීමට පත්තිනි මෑණියන් කටයුතු කර ඇත. උයනේ අන් අඹ අතර කැපී පෙනුණු සුවිශේෂ අඹය පිළිබඳ උයන්පල්ලන් රජුට දන්වා තිබෙන අතර එය නෙළා ගැනීම සඳහා රජුට ආසාවක් ඇතිවී ඇත. එය හී විද බිම දමන ලෙස රජු උයන්පල්ලන්ට අණ කළ නමුත් උයන් පල්ලන් තබා රජුගේ දක්ෂතම දුනුවායන්ටත් එම අඹය බිම දැමීමට නොහැකි වී ඇත. කිසිවකුට බිම දැමිය නොහැකි වූ අඹයට විදිය හැකි තැනැත්තකු වේ නම් ඒ සඳහා ඉදිරිපත් වන ලෙස රජු රට පුරා අණ බෙර පණිවිඩයක් යවා ඇති අතර අවසානයේ එක්තරා මහල්ලකු ඒ සඳහා ඉදිරිපත් වී ඇත. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ එලෙස මහලු වේශයෙන් පෙනී සිටියේ සක් දෙවිඳුන් බවය. මහල්ලකු ලෙස ඉදිරිපත් වූ සක් දෙවිඳුන්ගේ එක් හී පහරකින් අඹ ගෙඩිය නටුවෙන් ගිලිහුණු නමුත් එය බිමට නොවැටී අහසේ රැඳී ඇත. එය නැරඹීම සඳහා ඒ අවස්ථාවේ සියලු දෙනාම උඩ බැලූ අතර පඬි රජුද එය නැරඹීම සඳහා උඩ බලා ඇත. ඒ අවස්ථාවේම අඹයෙන් ඉහිරිණු කිරි බිඳුවක් පඬි රජුගේ තෙවැනි ඇසට වැටී ඇති අතර එම ඇස අන්ධභාවයට පත් වී ඇත.
රජුගේ ඇස අන්ධ කළ අඹය ආහාරයට නොගෙන විසි කිරීමට රාජ පුරුෂයන් කටයුතු කළ අතර විසි කළ අඹය ගඟක් දිගේ පාවී යමින් තිබියදී එක්තරා තාපසයකුට හමු වී ඇත. පසුව එම තාපසයා අඹය ගෙන ගොස් තම තාපසාරාමයේ තැන්පත් කළ අතර සත් දිනකට පසුව රූමත් කුමාරියක් එතුළින් බිහි වී ඇත. එය ඉතිහාසයේ සඳහන් පත්තිනි දේවතාවියගේ උපත සිදුවූ එක් ආකාරයකි.
මීට අමතරව තොරන් යාගය, සුදු කුරුම්බර් පිදේනිය, සන්නි කුරුම්බර් පිදේනිය සහ බිසෝකප සිටුවීමද, පත්තිනි ආශීර්වාද මංගල්‍යයේ අනිවාර්ය අංග ලෙස සඳහන් කළ හැක. නමුත් එම අංග එක් එක් ප්‍රදේශ අනුව වෙනස් විය හැක. මේ සියලු අංග මැදින් ගලා යන පූජාවේ අවසන් අංගය ලෙස පැවැත්වෙන්නේ කලින් සඳහන් කළ ගරායකා පූජාවය. පත්තිනි දේවතාවියට අයත් සියලුම පූජාවන්ගෙන් කොටසක් ගරායකා දේවතාවාටද හිමි වීමේ සම්ප්‍රදාය ඒ අනුව සංකේතවත් කරන්නේ ඒ අනුවය. මේ සියල්ල අවසානයේ මුරුතැන් බත් පූජාව සිදු කරන අතර පූජාවට එකතු වූ සියල්ලන්ට ආශීර්වාද කිරීමෙන් අනතුරුව පැමිණි දෙවි දේවතාවුන්ට පින් ලබා දෙමින් ආශීර්වාද පූජාව අවසන් කිරීම සාමාන්‍ය සිරිතය.
චන්දන පොන්නම්පෙරුම











