එක් දියණියකට රැකියාවේ ඉතා තදබල ලෙස ප්‍රශ්න තිබූ අවධියක මා ඇයට එක්තරා දෙවඟනකට වන්දනා කරන ලෙස උපදෙස් දුන්නෙමි. මගේ උපදෙස් අනුව ඇය එම රූපය නිවෙසේ පහන දල්වන ස්ථානයේ තැබූ බවත්, ඉන් පසු එය නිවෙස ඇතුළත නොතබන ලෙසට තවත් කීප දෙනකු දුන් උපදෙස් මත එය නිවෙසේ පිටත තැබූ බවත් ඉන් පසු බොහෝ කරදර එම දියණියට පැමිණි බවත් ඇය මට පවසා සිටියාය.
පළමු කාරණාව නම් පෘථග්ජන අප ජීවත් වන නිවෙස තුළ තබාගත හැකි හා තබාගත නොහැකි දෙවියන් සිටින බවය. මා එම තැනැත්තියට වන්දනා කරන ලෙස නිර්දේශ කළ දෙවනඟනගේ රූපය නිවෙස තුළ තබා වන්දනාමාන කළ හැකිය. ඇය නිවෙස ඇතුළත තබා වන්දනා කළ රූපය කවරකුගේ හෝ උපදෙස් පිට නිවෙසින් පිටකිරීම ඇය කළ වරදයි. එය එම දෙවියන් පිළිබඳ ඇගේ තිබෙන පැහැදීම ගැන ගැටලුවක් ඇති කරයි. වන්දනාමාන කරන දෙවියන් අනවශ්‍ය ලෙස වෙනස් කිරීම බරපතළ වරදකි. එසේම දෙවියන් වඳින්නට භාවිත කරන ස්තෝත්‍ර හා මන්ත්‍රද අනවශ්‍ය ලෙස වරින්වර වෙනස් කිරීමද වරදකි. එනමුත් එය බොහෝ දෙනා නොදන්නා කරුණකි. පෙර කී තැනැත්තිය එම දෙවනඟනගේ රූපය නිවෙසින් පිටට ගෙන යෑමෙන් පසු ඇයට කරදර ඇති වූ අතර නැවත නිවෙස තුළට ගෙනයෑමෙන් පසු නැවතත් දියුණුවේ මාවතට පිවිසීමට ඇයට හැකි විය. ඇය පළමුවරම එම රූපය නිවෙසින් පිටත තැන්පත් කළේ නම්ද කිසිදු අවැඩක් සිදු නොවේ. නමුත් පසුව කළ ස්ථාන මාරුව ඇගේ දියුණුවේ හරහට හිටි කාරණාවයි.
අද වන විට බොහෝ දෙනා දෙවියන් සමඟ ගනුදෙනු කිරීමට පුරුදු වී සිටිනු දැකිය හැකිය. කලකට පෙර ජ්‍යොතිෂවේදීන්ට දෙවියන් අරහං වී තිබූ යුගයක මා උඩුගං බලා පිහිනුවේ ජ්‍යොතිෂ ප්‍රතිකර්ම ලෙස විවිධ දෙවියන් වන්දනා කිරීම කළ හැකි බව දිගින් දිගටම ලියමිනි. එකල දෙවියන් ප්‍රතික්ෂේප කළ බොහෝ දෙනා අද මටත් වඩා දෙවියන් සම්බන්ධ ප්‍රතිකර්ම කිරීමට මිනිසුන් යොමුකරන අන්දම පෙනෙන්නට තිබේ. එනමුත් දෙවියන් සම්බන්ධව තවමත් බොහෝ දෙනකු තුළ නිවැරැදි අවබෝධයක් නැත. මට හැකි හැම විටම ඒ පිළිබඳ ඔබට යම් අවබෝධයක් දෙන්නට උත්සාහ දරමි. ජ්‍යොතිෂ ප්‍රතිකර්මයක් ලෙස මැණික් යොදාගැනීමට ඇතැමුන් ඔබව පොලඹුවත් එය ඔවුන්ට මනා ධනෝපායන මාර්ගයක් පමණි. නිවැරැදි දේ ඔබට නොලැබෙනවා පමණක් නොව අනවශ්‍ය ලෙස විශාල මුදලක් වැය කිරීමටද ඔබට සිදුවේ. යන්ත්‍ර දැමීමේදීද එය එසේමය. යන්ත්‍ර සාදන්නාට එය සුපිරි ධනෝපායන මාර්ගයකි. නමුත් ඔබට නිවැරැදි යන්ත්‍රයක් නොලැබීමේ සම්භාවිතාව සියයට අනූනවයකි. අනෙකුත් තාන්ත්‍රික ක්‍රමයන් අනුගමනය කිරීම එතරම් විශාල ලෙස මුදල් වියදම් නොකරන නමුත් රාජසික හෝ තාමසික බැවින් අතුරු ප්‍රශ්න ඇති කිරීමට බොහෝ විට ඉඩ තිබේ. දෙවියන් හරහා ඔබගේ අපල දුරුකර ගැනීමේ ක්‍රමවේදය ඒ සියල්ලෙන්ම ඔබට ගැලවීම ලබාදේ. විශාල මුදල් වැයකිරීම් නැත. අතුරු ආබාධ නැත. ප්‍රතිඵල ස්ථිරයි.
විෂ්ණු දෙවියන්ගේ දස අවතාරයන් පිළිබඳ කීප තැනක කීප ආකාරයකට ලියා තිබෙනු මා දුටුවෙමි. වෛදික දෙවියකු වන විෂ්ණු දෙවියන් බෞද්ධ සාහිත්‍යයට එක්වූයේ කවර කලකද යන්න නිශ්චිත නැත. වෛදික ත්‍රිමූර්තියේ පැවැත්ම රැකගන්නා වූ දෙවියන් වන විෂ්ණු, එම පැවැත්ම පිළිබඳ සංකල්පය හේතුවෙන්ම බෞද්ධ සාහිත්‍යයට එක්කරගත් බව සිතිය හැකි නමුත් වෛදික මුල් ආකෘතිය බෞද්ධ ඉගැන්වීම්වලට ගැළපෙන සේ යම් යම් කප්පාදු කිරීම් සහිතව එසේ කර ඇති බව පෙනේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් විෂ්ණු දෙවියන්ට පින් දෙන්නේ එබැවිනි. වෛදික විෂ්ණු දෙවියන් ස්ථිර ලෙසම දේවත්වය සහිත අයෙකි. එම නිසා පින් මදිවී නැවත මනු ලොවට වැටෙන කතාවක් එම දෙවියන් සම්බන්ධ නැත. නමුත් බෞද්ධ ඉගැන්වීම්වලට අනුව එය වෙනස්ය. බෞද්ධ ඉගැන්වීම්වල දෙවියන් යැයි හැඳින්වෙන්නේ තම පින් මහිමයෙන් මරණයෙන් පසු දෙව්ලොව ඉපදී තම පින් තිබෙනතාක් දෙව්ලොව සැප විඳ යම්කිසි දවසක නැවත මනු ලොවට කඩාවැටෙන තාවකාලික දේවත්වයක් ලද පිරිසකි. ඒ අනුව බෞද්ධ විෂ්ණුගේ තත්ත්වයද එසේමය. නමුත් ගැටලුවක් පැනනඟින්නේ බුදුන් වහන්සේ බුදු දහම රැකගැනීම එවන් වූ තාවකාලික දෙවියකුට භාරදුන්නේ ඇයිද යන්න පිළිබඳවය. එසේම තාවකාලික දෙවියකුට පැවැත්ම සම්බන්ධ වගකීම පැවරෙන්නේ කෙසේද? ජ්‍යොතිෂයේදී අප ගනුදෙනු කරන විෂ්ණු දෙවියන් එම තාවකාලික දෙවියන් නොව ස්ථිරවම දේවත්වය ලබා තිබෙන බව සැලකෙන වෛදික විෂ්ණු දෙවියන්ය. සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වීම වැළැක්වීමට පැමිණි මාර සේනාව විෂ්ණු දෙවියන් පලවා හැරි බව සඳහන් ලිපියක් මා කියවූ අතර එයින්ද පැහැදිලි වන්නේ විෂ්ණුගේ අමරණීය හෙවත් ස්ථිර දේව තත්ත්වයයි. එම නිසා ජ්‍යොතිෂ ප්‍රතිකර්මවලදී විෂ්ණු දෙවියන් වඳින විට පින් දීමක් අවශ්‍ය නැති බවත්, එසේ පින් දීම දෙවියන්ට කරන නිගරුවක් බවත් මතක තබාගන්න. විෂ්ණු දෙවියන්ට පමණක් නොව වෛදික ජ්‍යොතිෂයේදී අපට හමුවන කිසිදු දෙවියකුට පින් දීමක් අවශ්‍ය නැත. ජ්‍යොතිෂමය ප්‍රතිකර්මයක් ලෙස ඔබ දෙවියන් වැඳීමේදී පින් දෙන්නට උත්සාහ කිරීම ඔබ දෙවියන් නිසි ලෙස හඳුනාගෙන නොමැති බවට සලකුණකි. එසේ දෙවියන් නිසි ලෙස හඳුනා නොගෙන ඔබ දෙවියන්ගෙන් පිහිට පැතීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඔබේ කරුණු ඉටු නොවීම ගැන දෙවියන්ට බැණ බැණ සිටීම පමණි. ඔබව නොමඟ යැවූ ජ්‍යොතිෂවේදියා හා වෙන යම් අයෙක් හෝ එහි වගකීම නොදරනු ඇත.
ජ්‍යොතිෂවේදී ජනක මාධව නවරත්න