ස්ත්‍රීන්ගේ විවාහයෙන් පසු සිදුවන කණවැන්දුම් යෝග පිළිබඳව මුලින්ම විවාහයට පෙර ජන්ම පත්‍රය මැනවින් පරීක්ෂා කිරීමෙන් දැනගැනීමට පහසුවේ. ශනි 7 සිට අනිත් පාපීන්ට දුෂ්ටගතවීමෙන් 7 වැන්නේ සිටින ශනිට මේෂ, කටක, වෘශ්චික නවාංශකයක සිටීම අසුබයි.
ස්ත්‍රි කණවැන්දුම් වන ග්‍රහ යෝග
* ශනි 7 වැන්නේ කුජට දුෂ්ටිගත වීමෙන්ද කණවැන්දුම් වනු ඇත. ශුක්‍ර නීචව සිටින ස්ත්‍රියකට අප්‍රකට සබඳතා ගොඩනැඟේ. 7 වැන්නේ කුජ නීච වී නම් කණවැන්දුමෙන් පසු අනාචාරයේ හැසිරේ.
* කාන්තාවකගේ කේන්දරයේ 7 භාවයේ සිටින ශනිට සතුරු ග්‍රහයින් පෙනීම හරහා විවාහය වැන්දඹුවේ.
* ස්ත්‍රි කේන්දරයේ 8 වැන්නේ ශනි නරක අංශයක නම් කණවැන්දුම් වේ. පාපීන් ලග්නය 7 යන භාවයන්වල සිටී නම් කණවැන්දුම් වේ.
* කේන්දරයේ 7, 8 ස්වභාවාධිපතීන් ස්ථාන මාරු කර සිටීම හරහා ස්ත්‍රිය කණවැන්දුම්වේ. කාලසර්ප යෝගය උග්‍ර වීමෙන් විෂ යෝනියකින් උපන් විටත් සැමියාට තදබල මාරක අපලයි.
* රවි, කුජ, රාහු, ශනි ලග්නයෙන් හෝ සඳුගෙන් 7 වැන්නේ හෝ 8 වැන්නේ සිටීමෙන්ද විවාහය කණවැන්දුම් බවට පත්වේ.
* කුජ සත්වැන්නේ නීචව සිට හෝ කුජ ශනි දෙදෙනාම සිංහ වූ 7 වැන්නේ වීමෙන් තරුණ වියේදීම වැන්දඹුවෙක් වන්නීය.
පුරුෂ කණවැන්දුම් වන ග්‍රහයෝග
* ර, බු, කේ ධනුවෙහිද, 2 වැන්නේ ශ. කු ද සිටීමෙන් පුරුෂයා අකාලයේ කණවැන්දුම් වේ.
* පිරිමි කේන්දරයේ සිකුරු 8 වැන්නේත්, 8 වැන්න අධිපතියා ශනිගේ රාශියකත් සිටී නම් ඔහු අකාලයේ කණවැන්දුම් වේ.
* කේන්දරයේ පාපී ග්‍රහයෙක් 7, 3, 11 භාවයන්හි සිටී නම් ඔහු වැන්දඹුවේ.
* කේන්දරයේ 7 වැන්නාධිපතියා ලග්නයේ සහ ලග්න නාමයේ වූ නවාංශකයේ සිටී නම් ඔහු විරුද්ධවේ.
* සිකුරු පාප කර්තරීව පාපීන් දෙදෙනකුට මැදිවී සිටීමද වැන්දඹු යෝගයකි.
* රාහු 1 හෝ 7 වැන්නේ නීච වීම පුරුෂ වැන්දඹු යෝගයකි. පුරුෂ කේන්දරයේ 2 වැන්නේ රාහුද, 7 වැන්නෙහි කුජ සිටීම හරහා පිරිමියා වැන්දඹු වේ.
* කේන්දරයේ ලග්නාධිපති නීච වී දෙවැන්නාධිපති 8 වැන්නේ වීමෙන්ද වැන්දඹුවේ. පිරිමි කේන්දරයේ 7 වැන්න අධිපතියා 8 වැන්නේද 12 වැන්නාධිපති 7 වැන්නේ සිටීමෙන්ද පළමුව සැමියා වැන්දඹුවේ.
* ශුක්‍ර 7 වැන්නේ වක්‍රව සිටීමෙන් ශනි ලග්නයේ සිටීමත් 5 වැන් භාවයෙහි සුබයකු නොසිටීම හරහා පිරිමියා වැන්දඹුවේ.
* මංගල සම්භෝග මොහොතේදී චන්ද්‍රයා ලග්නයේ සිටියහොත් සැමියාට අහිතකර බවද කුජ ලග්නයේ සිටීමෙන් අඹු සැමි දෙදෙනාටම අයහපතද සිදුවන බැව් සඳහන්වේ.
සාදන ලද තත්කාල කේන්දරයේ රවි තිබීම ඉතාමත්ම අහිතකර වනු ඇත. ජ්‍යොතිෂය විද්‍යාත්මකව ගැඹුරින් නිරීක්ෂණය කරන විට දෙදෙනකු විවාහයත් ප්‍රථම එක්වීමත් ඉතාම සුබවාදී ධනාත්මක ආකල්පයත් මත ගොඩනැගීම අනිවාර්ය බැව් ජ්‍යොතිෂ විද්‍යාවේ සනිටුහන් වී ඇත.
අද පොරොන්දම් බලා විවාහයට නැකැත් සාදන්නේ මේ සියලු කරුණු කාරණා ගැන විමසිලිමත්ව ගැඹුරින්ද යන්න ප්‍රශ්නයකි. සුබ දිනයක් හා දෙදෙනාටම ගැලපෙන සම්පත් ක්ෂේම, මෛත්‍රි, පරම මෛත්‍රි නැකැත් පමණක් ගෙන විවාහයට නැකැත් සෑදීම ප්‍රමාණවත් නොවේ.
වත්මන්හි දික්කසාද වැඩිවීමටද මෙය එක් හේතුවක් වනු ඇතැයි සිතීම සාධාරණය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











