ලොව අපූර්වතම නිර්මාණයක්
වූ සොබා දහමේ සෞන්දර්යාත්මක රස උල්පතේ දිය බිඳක් වන ගැහැනිය නැත්නම් මු`ඵ මහත් සමාජයම වැලි කතරක් වන්නේමය. විවිධ රස ආකරයක් වැනි ගැහැනිය ඉන්ද්‍රඛීලයකි. එදා මහා භාරතයේ බමුණු මානසිකත්වය හරහා ගැහැනියට අවතක්සේරුවක් කර තිබිණි. බුදුපියාණන් වහන්සේ දේශනා කළ පරිදි “වසො ඉස්සරියං ලොකෙ ස්ත්‍රී භාණ්ඩාන මුත්තමං” යන වැකිය ඉස්සරිය සූත්‍රයේ දක්වා ඇත්තේ ලොව උතුම් භාණ්ඩය වන්නේ ස්ත්‍රිය බවයි. අපි මේ පිළිබඳව විමසා බලමු.
ගෙයක් ගෙදරක් කළ හැක්කේ ගැහැනියට පමණි. පාඵ අඳුරු නිවෙසක් ආලෝක කළ හැකි ප්‍රදීපයද ගැහැනියයි. පහන් කණුවක පා මුල අන්ධකාරය ඇතත් වටපිටාවට එකී පහනේ ආලෝකය පැතිර පවතී. ඒ ආලෝකය උපරිම අන්දමට ප්‍රයෝජන ගැනීමට පුරුෂයා නිතැතින්ම යත්න දැරිය යුතුය. ක්‍රීඩා භාණ්ඩයක් ලෙස ගැහැනිය උපයෝගී කර ගැනීමට උත්සාහ කරන්නේ නම් එයයි මූලිකම වරද. හොද්දට දමන කරපිංචා, රම්පා, ගොරක අණ්ඩක් සේ ගැහැනිය නොසලකා හැරීමද වරදක්. ගසක් වටා වැලක් එතෙමින් වැඩී යන අතර මල් සහ ගෙඩිද හටගනී. බවලතා හෙවත් සංසාරයට වැලක් යන්නද අර්ථ නිරූපණය වේ. වෙඬරු බඳුනක් අසලට අග්නිකාරකය ළංවූ විට එකී වෙඬරු උණුවීම සොබාවිකයි. ගැහැනියගේද සොබාවය එයයි. ස්ත්‍රී රුව තරම් ඇසට රසඳුනක් මෙලොව තවත් නැත. ලස්සන වර්ණවත් මලක වටා කරකැවෙන බඹරුන් සේ පුරුෂයාගේ හැසිරීමද එසේමැයි. පංච මහා සම්පත්තිය වන ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාවෙන් අනූන වූද පංච කල්‍යාණයෙන් අගතැන්පත් ගැහැනිය ලොව ඇති මහාර්ඝතම මැණිකකි. මෙවන් මැණික රැකගැනීම පුරුෂයා සතුය. එදා මෙදා සිට ස්ත්‍රී පුරුෂ එක්වීම හෙවත් එක් වහලක් යට සුහදව, ළෙන්ගතුව, ආදරයෙන්, සමඟියෙන්, සතුටෙන් දිවි ගෙවීම විවාහය වේ. යුග දිවියක් ගතකිරීමට ගැහැනිය මුල් වේ. ජ්‍යොතිෂ විද්‍යාත්මක පදනම හරහා විමසා බලන විටදී ගැහැනියගේ බල ශක්තිය උපන් ධෛර්යය, කැපවීම, ස්ථානෝචිත ප්‍රඥාව නිසාම පිරිමියාගේ වාසනාව පෑදේ. ගැහැනියගේ ග්‍රහ පිහිටීම ඉතාම ශක්තිමත්ව, වාසනාවන්තව හැසිරේ නම් පිරිමියා හට එකී සම්පත් එන්නත් වේ. අවාසනාවන්ත ගැහැනියක් කිසියම් පිරිමියකු හා සම්බන්ධ වෙන්නේ නම් ඔහුගේ මුඵ ජීවිතයම ඇන හිටිනු ඇති බැව් ග්‍රහ නිරීක්ෂණවලදී හෙළි වී තිබේ. එයයි ඇත්තම ඇත්ත. එයට ඕනෑ තරම් සාධක තිබේ.
විශේෂයෙන්ම නීතියෙන් පමණක් යුගදිවියට පත්වීමට වඩා දෙදෙනා අතර ඉතාම යහපත් වූ මානසික හා කායික බැඳීම ශ්‍රේෂ්ඨ වේ. ගැහැනිය තේරුම් ගැනීමට තරමක් අපහසු වුවත් ඇයට දක්වන අවංක වූ ආදරය, ප්‍රේමය, ළෙන්ගතු බව හරහා ඇගේ මුඵ හදවතම දිනා ගැනීමට හැකිවේ. යුග දිවියක් ගත කරන අඹුසැමියන් දෙදෙනා අතර කිසිදු රහසක් නොතිබිය යුතුමය. සැකය මුඵ ජීවිතයම කඩා දමන විෂ ඊයකි. වත්මන් සමාජය තාක්ෂණවේදයේ උපරිම තලයට පිවිස ඇත. පැරැණි කාලයේ තරුණ තරුණියන් ප්‍රේම කළේ ඉතාම අහිංසක මානසිකත්වය මතය.
කඩදාසියක එඬරු නැට්ටෙන් සෙනෙහෙපතක් ලියා පෙම්වතා හෝ පෙම්වතිය වෙත යැවූ විට චිමිනියට (ලාම්පුවේ) කඩදාසිය අල්ලා රත්වෙන විටදී මැකී ගිය පෙම් අකුරු උඩට ඉස්මතුවී පෙනේ. දෙදෙනා අතර මේ අන්දමට පෙම්පත් හුවමාරු විය. කොතරම් අපූරු පෙම් කිරීමක්ද?
අද මේවන විට “සෙලියුරරයෙන්” පෙම්බස් හුවමාරු වන තැනට පත්වී ඇත. පෙම් කිරීමත් විවාහයත්“ෆෝන් එක” භාර ගෙන ඇත.
ආදරය, ප්‍රේමය කඩා බිඳ දමා දික්කසාදයේ නියමුවා වී ඇත්තේද එකී “සෙලියුරරය”යි. ජීවිතය ඇතිකිරීමත් නැති කිරීමත් කරන්නට “සෙලියුරරය” මැදිහත් වී ඇති බැව් ප්‍රසිද්ධ රහසකි.
අඹු සැමි තරුණ යුවළකගේ “ෆෝන් එක”ට කිසියම් කෙටි පණිවුඩයක් හෝ ඇමතුමක් තමා නොදැනුවත්වම ලැබුණු විට දෙදෙනාම කිසියම් සැකයකට පත්වන අවස්ථා කෙතෙකුත් ඇති බවද ඇත්තකි. ඒ සැකය දුරදිග යෑමෙන් මු`ඵ විවාහ දිවියම කඩා වැටෙන තැනට පත්වීම මහා අවාසනාවකි.
විවාහය ප්‍රමාද වී මානසිකව ඇද වැටීමකට පත්වී ඇති සමහර අය සාර්ථක විවාහයක් ගත කරන අය සමඟ ඇතිවන ඊර්ෂ්‍යාව නිසා මෙවැනි දුරකතන හරහා එකී ප්‍රේමණීය ආදරවන්ත කුරුලු කූඩු කඩා බිඳ දමන තැනට සෙලියුරරය නියමුවා කරගනී. දැනට දහඅට ලක්ෂයකටත් වඩා අවිවාහක තරුණියන් පිරිසක් වේ.
එන්න එන්නම අප සමාජය තුළ විවාහ ගැටලුවට කිසිදු පිළිතුරක් නැති තරම්ය. පිරිමි අඩු ගැහැනු වැඩිකමක් දක්නට ඇත. පොරොන්දම් ගළපන්නේ කෙසේද කාගෙන්ද? සමහර විට පොරොන්දම් ගැළපීම්වලදී විවාහ මතවලට පටැලැවී විවාහය ප්‍රමාදවන තැනට කරුණු යෙදී තිබෙන බැව් අප දැක ඇත්තෙමු.
කුජ(අඟහරු) නිසා විවාහ යෝජනා නවතී. සෙනසුරුද රාහුද එයට දෙවැනි නැත.
උඩින් පල්ලෙන් කේන්ද්‍ර බලන්නට යෑමෙන් එවන් අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටී තිබෙන බව නම් පැහැදිලිය.
තවද ජ්‍යොතිෂවේදියාට අවශ්‍ය දෙය නොව සේවා දායකයාට පමණක් අවශ්‍යමය කරුණු සපයා දීමට යත්න දරන්නේ නම් සිතට සහනයක් වනු ඇත.
කේන්දර සති සංග්‍රහය හරහා අපි ජ්‍යොතිෂවේදීන් ලෙස එකී මෙහෙවරක නියුක්ත වන්නේ නම් දෙලොවටම පින් සිදුවේ. ජීවිතයේ සියල්ලම ග්‍රහයන්ට පමණක් බාර දෙමුද? යන්න සිතා බලමු.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











