මේ වන විට සමාජය තුළ එකිනෙකා කෙරේ ඊර්ෂ්‍යාව, වෛරය පැතිරීම කොරෝනාවටත් වඩා වේගයෙන් සිදුවෙන්නකි. අනෙකා කෙසේ හෝ දියුණුවේ යැයි සිතුණහොත් එම ගමන නවතා දැමීමට හැකි කුමක් හෝ ක්‍රමයක් සොයා ගැනීමට පිරිස් උත්සාහ කරමින් සිටිති. ඒ සඳහා වැඩිමනත් භාවිත කරනුයේ හොඳට වඩා නරකය. එහිදී නරක දේකින් අනෙකා පාගා දැමීමට තරම් සමාජය පහත් තත්ත්වයට වැටී ඇතුවා මෙන්ම, නරක දෙයක් අනෙකාට කරදී හෝ තම මඩිය තරකර ගන්නවුන්ද වැඩි වී ඇත්තේය. එහෙයින් මෙය මහා දරුණු අත්දැකීම් සමාජයට ලබාදෙන්නක් වී හමාරය.
මෙහිදී වඩාත් නරකම දෙය වී ඇත්තේ අනවින, කොඩිවින, හදිහූනියම් වැනි දේ සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන තත්ත්වයට පත්ව තිබීමයි. ඒ අනුව කෙනකුගේ අධ්‍යාපන කටයුත්තක්, රැකියා කටයුත්තක්, ව්‍යාපාර කටයුත්තක් මේ ආදී ඕනෑම කටයුත්තක් සාර්ථක වෙනවා යැයි දුටු පමණින් කුමක් හෝ විනයක් කිරීමට තරම් සමාජය පහත් අඩියට වැටී ඇත්තේය.
මෙලෙසින් අනෙකාගේ දියුණුව දැකීමට ඇති අකැමැත්තත් තමන්ට ඇති නොහැකියාවත් මත අනවින, කොඩිවින ආදියට යොමු වන්නන් බහුලය.
අනෙකාගේ දුක, කඳුළ දැක සතුටුවීමේ පහත් ආශාවන්ගෙන් පෙළෙන මෙවැන්නන් අද වෙද්දී වැඩි වෙමින් සිටියි. එහෙත් මේවා කරන්නන් නොදන්නා කරුණු රාශියකි. එනම් ඉතා බුද්ධියෙන් යුතුව තේරුම්ගත යුතු කාරණය නම් කෙනකුගේ ග්‍රහ චාරය ඉතා හොඳ බලවත් තත්ත්වයේ වේ නම් එම පුද්ගලයාට සෙත සලසන ග්‍රහයන් කිසිදු විටක අහිතක්, නරකක් අසුබ තීරණයක් තම ග්‍රහ තත්ත්වය බලවත් අයකුට වදින්නට නොදෙයි. එහෙයින් නරක සියල්ල ආපසු හැරී යයි. එසේ ආපහු හැරීමක් සිදුවුවහොත් තමන් කළ හෝ කෙරවූ විනයේ බලය දෙගුණ තෙගුණ වී ආපිට එන බවද දැන මෙවැනි දේට යොමු විය යුතුය.
එහෙයින් ග්‍රහ තත්ත්වය අතිශය බලවත් පුද්ගලයන් අනවින, කොඩිවින කෙරේ බිය විය යුතු නොවේ. මන්ද ඔවුන්ට ඒවායෙන් සිදුවන අයහපතද අල්ප සහ අවමය. එසේම එවැනි දෙයක් තමන්ට කර ඇති බවක් දැනගත් පසු ඒ සඳහා කළ හැකි දේද මන්ත්‍ර ශාස්ත්‍රයේම පෙන්වා දී තිබේ. යම් අසුබ දෙයක් තමන්ට බලපානවා නම් ඒ බව නිතැතින්ම හඳුනා ගන්නට අවශ්‍ය ඉඟි අවට පරිසරයෙන්ම ඔබට ලැබෙනු ඇත. එහිදී තමාගේ කටයුතුවලට නිතර සිදුවෙන බාධා තත්ත්වය ඊට හොඳම උදාහරණයකි. යම් යම් රෝගී තත්ත්වයන් ඇති වීම සුව නොවීම ආදියද මෙවැනි අවස්ථාවල දැකිය හැකිය. ඇතැම් විට මෙවැනි අවස්ථාවල ශාන්තිකර්ම කිරීම සිදුවුවද බොහෝ ශාන්තිකර්මවලින් සිදුවනුයේ තාවකාලික හෝ කෙටිකාලීන සුවයක් ලැබීමය. ඉන්පසු යළිත් පෙර තත්ත්වයටම හෝ ඊටත් වඩා පහත් තත්ත්වයට ඇදවැටීමක් සිදුවනු ඇත.
යම් දෙයක් තමාට සිදුකර ඇතැයි නිසි ලෙස හඳුනාගතහොත් වත්පිළිවෙත් කිරීම පහසුය. එසේම කවුරුන් කෙසේ කීවද ආගමට දහමට නැඹුරුව ධාර්මිකව කටයුතු කරන්නාට අනවින බලපෑම අඩු බව පිළිගත යුතුය. එහෙයින් නිතරම දහමට අනුව කටයුතු කළ හැකිනම් තමාගේ ආරක්‍ෂාව ඉතා පහසුවෙන් තමාටම සපයා ගතහැකිය.
අනෙක් කරුණ නම් සිය නිවෙසේ හෝ පදිංචි ස්ථානයේ සුළු සුළු ශබ්ද හෝ වෙනස්කම් සිදුවූ පමණින් ඒවා අනවින, කොඩිවින යැයි කලබලවීම සුදුසු නොවේ. ඇතැම් අය පුස් ගඳ හෝ දුර්ගන්ධය එවැනි දෙයක පෙරනිමිති සේ සලකා බියවන්නේ, තමාගේ කිළිටි ගේ මුල්ලේ තබාගෙනය. මේ බව මැනවින් වටහාගෙන නිවෙස නිසි ලෙස පිරිසුදු කරගන්න. එසේම සුවඳ දුම් ආදිය අල්ලා නිවෙසේ වටපිටාව සුවඳවත් කරන්න. නිතරම ඉන්න හිතෙන තැනක් නිර්මාණය කරගැනීම උදෙසා කැපවන්න. ඒ සියල්ල සිදුකළද පලක් නොවේ නම් ඊළඟ පියවරට යොමුවන්න.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්