රජිව් නිවෙසක් මිලදී ගන්න සෙව්වේ අවුරුද්දකටත් වඩා කාලයක් තිස්සේ. ගෙවල් සියයක්, දෙසියයක් බැලුවත් එකකටවත් හිත ගියේ නැහැ. ගෙයක් මිලදී ගන්න කොච්චර වුවමනාවක් තිබුණත් ගෙවල් හොයලා එපා වෙලා තිබුණේ. දවසක් පුවත්පත් දැන්වීමක් අනුව රජිව් නිවෙසක් බලන්න යනවා. නාගරික ප්‍රදේශයක මාවතක් අද්දර පිහිටි නිවෙස මිලදී ගන්න තීරණය කරන්නෙ ගෙවත්තට ඇතුළු වෙන්නත් කලින්. නිවෙසේ පිටතින් බලලා ඒ තීරණය ගන්නෙ නිවෙසේ ලස්සන දැකලා. ස්වාභාවික ගුරු පාට, කෙහෙල් දලු පාටින් වර්ණවත් වුණු සොබාදහමේ නිර්මාණයක් ලෙස ඉදිකළ නිවෙස වේ, හුඹසක් වගේ කියල රජිව් හිතුවත් ප්‍රදීපාගාරයක් ලෙසද විටෙක ඔහුට පෙනුණා. නිවෙසේ අයිතිකරු පැමිණෙනතුරු විනාඩි හතළිස් පහකට වඩා ගේට්ටුව අසල රැඳී සිටින්නට වුණා. අසල නිවෙසක සිට පුද්ගලයෙක් තමා දෙස බොහෝ වෙලා සිට බලා සිටිනු රජිව් දුටුවා. නිවෙසේ අයිතිකරු පැමිණ වැඩි කතාබහක් නොමැතිව නිවෙස විවෘතකර පෙන්නුවා. ශීතකරණ, වටිනා ගෘහ භාණ්ඩ සමඟ සෑහෙන කලක් වසා දමා තිබීම හේතුවෙන් නිවෙස ජරාවාස වී තිබිණි. මකුළුදැල්වල නොපැටලී කිසිදු තැනක ගමන් කළ නොහැකි විය. මේ ගේ මගෙ අයියාගේ. කැනඩාවේ පුරවැසිකම ලැබුණේ ගිය මාසේ. අයියා ගේ කුලියට දෙනවටත් කැමැති නැහැ. ඒ හින්දා අවුරුදු හතරක් තිස්සේ ගේ වහලා තියෙන්නෙ. ආයේ ලංකාවේ පදිංචියට එන්නෙ නැහැ. ඒකයි ගේ විකුණන්නේ. ගේ ගන්නවා නම් ඉක්මනින් පණිවුඩයක් දෙන්න. කිහිප දෙනෙක් කැමැතියි ගේ ගන්න. නිහඬතාව බිඳිමින් පැමිණි තැනැත්තා පැවැසුවා.
ගේ ලස්සන වුණාට අමුතු මූසලක් ගෙවත්ත සහ නිවෙස පුරා පැතිරිලා තිබුණා. භාරකරු පවසන දේවල් අතර නොකියන ඇතුළාන්තයක් තිබෙන බව රජිව්ට දැනුණා. රජිව් නිවෙස පරීක්ෂා කරන අතර තුරම බැලූ කොටස් එකින් එක වසා දැමුවා. නිවෙසින් රජිව් පිටතට පැමිණෙන විට භාරකරුද පිටතට පැමිණ රජිව්ටත් කලින් පිටත්ව ගියා. රජිව් පිටත්ව යන්න සූදානම් වන විට දීර්ඝ වේලාවක් ඔහු දෙස බලා සිටි තැනැත්තා රජිව් අසලට පැමිණියා. පුතා ගේ ගන්නද ආවේ. ඔව් අන්කල්. පුතා බැඳලද. මම ඇහැව්වේ අනවශ්‍ය ප්‍රශ්නයක්. ඒත් පුතා මේවා දැනගෙන ඉන්න එක හොඳයි. ආගන්තුකයා ආරාධනයකින් තොරව කියවන්න පටන් ගත්තා. ඇයි අන්කල් එහෙම ඇහැව්වේ. මම කසාද බැඳලා කුලියට ඉඳලා ඇති වෙලා. අවුරුද්දක් විතර ගෙවල් හෙව්වා. ඒත් හිත ගිය ගේ දැන් තමයි හමුවුණේ. ඒත් ගේ ලස්සන වගේම මොකක්දෝ හැංගිච්ච අමුතු මූසල ගතියක් තියෙනවා. යම් රහසක් තිබේ නම් හෙළිකර ගැනීමට රජිව් ආගන්තුකයාට ළෙන්ගතුකමින් ඇමැතුවා. පුතා ආව අනෙක් බක පණ්ඩිතයෝ වගේ නෙවෙයි. මොළේ තියෙනවා. මේ ගේ මගේ මල්ලි හැදුවේ. මිනිහාට හිටියෙ දුවලා දෙන්නෙක්. මල්ලි ඉන්ජිනියර් කෙනෙක්. රස්සාව හින්දා නිතර ගෙදර රැඳුණේ නැහැ. නංගි ඉස්කෝලෙක විදුහල්පතිනියක් හින්දා දරුවෝ දෙන්නා හොඳින් බලා ගත්තා. මේ කරුම ගේ හදද්දී මම කට කැඩෙනකම් කිව්වා. හොඳ, නරක බලලා ගේ හදපන් කියලා. කෝ ඇහැව්වාද, අන්තිමේදී මුළු පවුලම විනාශ වුණා. ගේ හදලා ඉවර වෙලා මහ ඉහළින් ගෙවදීමක් එහෙම අරගත්තාට අවුරුදු හතරක් වත් සැනසීමෙන් ඉන්න හම්බ වුණාද. ලොකු කෙලී උසස් පෙළට පන්ති යද්දි කොල්ලෙක් එක්ක යාළුවෙලා. කවුරුත් දන්නෙ නැහැ අසභ්‍ය වීඩියෝ එකක් එළියට එනකන්. කොල්ලත් එක්ක ඉන්නවා වීඩියෝ කරලා දීලා තියෙන්නෙ කෙල්ලම තමයි ළඟ නැති වෙලාවට මතක් වෙන්න කියලා. ලොකු කෙල්ල එක්ක කොල්ලා තරහා වෙලා. වීඩියෝ එක ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට යවලා. පස්සෙ ඉන්ටර්නෙට් දාලා දකින්න ඕනෙ නැති දේවල් ලෝකෙම දැක්කා. කෙල්ලව ඉස්කෝලෙන් අස්කළා. නංගි ලැජ්ජාවට ප්රින්සිපල්කමින් අස්වුණා. කෙල්ල ලැජ්ජාවට වහ බිව්වා. බොහොම අමාරුවෙන් ජීවිතෙ බේර ගත්තේ. මල්ලිට හාට් ඇටෑක් එකක් ආවා. නංගිත් අසනීප වුණා. අන්තිමේදී මෙහෙ ජීවත් වෙන්න බැරි නිසා ගේ විකුණලා කටාර්වල පදිංචියට ගියා.
දැන් පුතාට ගේ පෙන්නන්න ආවේ අයිතිකාරයගෙ මල්ලි නෙවේ. බෝකර් කෙනෙක්. අපේ මල්ලිගෙන් ගේ ගත්ත මහත්තයා තමයි මිනිහට ගේ විකුණන්න පංගරාත්තු කරලා තියෙන්නෙ. ඇයි මාමා එයත් ගේ විකුණන්න පංගරාත්තු කරලා තියෙන්නෙ. රජිව් සෑහෙන කාලයකට පසු කටහඬ අවදි කළා. මට කියන්න බැරි වුණා. ඒ මහත්තයාගෙ නෝනා දාලා ගියා. මේ ගෙදර පදිංචියට ආවාට පස්සෙ නෝනාට අනියම් සම්බන්ධයක් ඇති වුණා. පවුල් ජීවිතේ ප්‍රශ්න ආවා. නෝනා ගියාට පස්සෙ මහත්තයාට ජීවිතේ එපා වුණා. ඒකයි ගේ විකුණන්නේ. මල්ලි ගේ විකුණන්න ඉස්සර වාස්තු බැලෙව්වා. එතකොට මේ ගේ ගැහැනු අයට හොඳ නැහැ කීවා. දෝෂ ටික ඉවත් කළොත් ප්‍රශ්න නැතිව යනවා කීවා. ඒත් මල්ලි කීවා වෙච්චි දේවල් මතක් වෙන හින්දා ගේ විකුණලා දාන්න කියලා. පුතා ගේ ගන්නවා නම් ගෙදර තියෙන වාස්තු දෝෂයි, දෝෂ ඉවත් කරන විදියයි ගැන ලියැවිච්ච විස්තර පත්‍රිකාව මාගාව තියෙනවා. බලලා ගේ වෙනස් කරගන්න. එතකොට පුතාලගේ ජීවිත විනාශ වෙන එකක් නැහැ. යුවතියන්ගේ ජීවිතය නසන නිවෙසේ තිබූ වාස්තු දෝෂයි ඒවා ඉවත් කිරීමට යෙදිය හැකි පිළියම් මෙසේය.
උතුර, වයඹ දිශාගත නිදන කාමර
රතිකාම ගෙය වයඹ යැයි සංස්කෘත ශ්ලෝකයෙන් සඳහන් වෙයි. රතිකාම ගෙය යනු රජුන්ගේ අන්තඃපුරයයි. වාස්තු විiානුකූලව අතීතයේ රාජමාලිගා ගොඩනැඟීමේදී කාමභෝගී ජීවිත ගතකළ රජවරුන්ගේ අන්තඃපුරය ඉදිකළේ වයඹ, උතුර දිශාවටයි. වයඹ දිශාවේ පිහිටි කාමරයක දිවි ගෙවන විට අධික කාමභෝගී සිතුවිලි, හැඟීම් පහළ වෙයි. ලේ ධාතුවේ, හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි වෙයි. එවිට සිතුවිල, හැඟීම් පාලනය කරගත නොහැකිව කාමභෝගී ජීවිතයකට ගත, සිත යොමුවී ජීවිත විනාශ වෙයි. මෙම නිවෙසේ දියණියගේ නිදන කාමරය පිහිටා තිබුණේ වයඹ දිශාවේය. වැඩිවිය පැමිණි තරුණ ගැහැනු ළමයින් වයඹ දිශාවේ නිදන කාමරවල දිවි ගෙවීම ඉතා අසුබදායක වෙයි.
වයඹ දිශාවට පැවැති ඉඩම් බස්නාව
ඉඩමක වැහි වතුරක බැසීම බස්නාව ලෙස හැඳින්වෙයි. යම් ඉඩමක වැහි වතුර ගලා ගොස් ඉඩමෙන් පිටවන දිශාව ඉතා වැදගත් වෙයි. භූමියක ජීව ගුණය බස්නාව මත රඳා පවතී. මෙම ඉඩමේ වැහි වතුර බස්නාව පැවැතියේ වයඹ දිශාවටයි. වයඹ දිශාවට බස්නාව පැවැතීමෙන් එම ඉඩමේ දිවි ගෙවන කාන්තාවන් දැඩි පීඩාවට පත්වෙයි. වැඩි කලක් වාසය කිරීමට නොහැකි වෙයි. නිවෙසේ දිවිගෙවන කාන්තාවක් හේතුවෙන් ඉඩම විකුණා දැමීමට සිදුවෙයි. ඉඩමේ වතුර බස්නාව උතුරු දිශාවට හෝ බස්නාහිරට සැකසීමෙන් මෙම දෝෂය ඉවත්කළ හැකිය.
ප්‍රධාන දොර කෙළින්ම තනි කණුවක් (වැරෙන්ඩා කණුවක් පැවැතීම
ප්‍රධාන දොර කෙළින් තනි කණුවක් පැවැතීම ස්ථම්භ දෝෂය ලෙස හැඳින්වෙයි. ස්ථම්භ දෝෂය නිසාවෙන් නිවෙසේ ජීවත් වන ස්ත්‍රීන්, දැඩි පීඩාවට පත්කරයි. වැඩිම බලපෑමක් පුරුෂයන්ට වඩා කාන්තාවන්ට මෙයින් සිදුවෙයි. මාගේ අත්දැකීම් අනුව මෙවැනි පිහිටීමක් පවතින නිවෙස්වල නිවැසියන්ගේ ජීවන මග අහුරා දමයි. විශේෂයෙන් දරුවන්ගේ හිතුවක්කාර බව වැඩිවෙයි. සමාජයෙන් එල්ල වන නින්දා, පීඩා නිසා ජීවිත කළකිරේ. ප්‍රධාන දොර පවතින ස්ථානයෙන් ගලවා ඉවත්කර වෙනත් සුබ ස්ථානයක තැබීම හෝ කණුව ඉවත් කිරීමෙන් දෝෂය ඉවත් වෙයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ











