අගනුවරට ආසන්න එක්තරා දෙමහල් නිවෙසක් දිග අඩි 57.3කුත් පළල අඩි 56කුත් වපසරියක් යෙදී තිබුණේ සමචතුරස්‍ර හැඩතලයකිනි.
මෙම නිවෙස පෙට්ටි හැඩැතිව මධ්‍ය ලක්ෂ්‍යය නිරන්තරයෙන්ම පෑගෙන සේ සාලයේ හරි මැදට යෙදී තිබිණි. පියගැටපෙළ පා ඉස්සුම අඟල් 9ක්ද, පා තැබුම අඟල් 5කටද සීමාවී ඇති අතර එය නිවෙස මධ්‍ය (මැද) කොටසින් උඩු මහලට තබා ඇත්තේය. ඊසාන, නැඟෙනහිර අපද්‍රව්‍ය එක්රැස් වන වළවල් ඇත.
ප්‍රධාන දොරටුව තබා ඇත්තේ භද්‍රා කොටස වන අසුබම පාදයේය. පියගැටපෙළ පටන් ගැන්මද මංගල දොරටුවට ඍජුවම තිබිණි. නවීන සියලුම පහසුකම්වලින් අඩුවක් නැත. නිවාස හිමියන් සතු වාහන දෙකක්ද තිබේ. තවද නිවාස හිමියා විදේශීය රටක වැඩි වැටුපක් ලබන රැකියාවක්ද කරන අතර මෙරටට වසරකට දෙවරක් පැමිණෙයි. බාහිර පෙනුමත් ඉතාම ආකර්ෂණීයය. නිවෙස සහ පර්චස් 20ක ඉඩම් වපසරිය ඉතාමත්ම පවිත්‍රව ඇත.
මෙම නිවෙස පරීක්ෂා කිරීමේදී මූලිකම දෝෂ ලෙස සම සතරැස් වීමෙන් බ්‍රහ්ම පාදය අවහිර වීමත් පඩිපෙළ හා මංගල දොරටුව අසුබ තත්ත්වයේ ඇති බව මෙන්ම ඉහළ මහලේද වාස්තුමය දෝෂ පිහිටා ඇති බවත් හෙළි විය.
මෙකී නිවෙස සෑදීමේදී අක්‍රමවත් සැලැස්මක් පෙදරේරුවන් තිදෙනකු මාරුවීමත් අමනාප වීමත් නිසා සෑහෙන කාලයක් වැඩ නතර වී තිබී පසුව නැකැතකට වැඩ අරඹා වරින්වර නිවෙස ඇතුළ වෙනස්කම් කරමින් සිටියදී නිවාස හිමියන් අතර නිතර නිතර අඬදබර සිත් අමනාපකම් ඇතිවී ඇත. දරුවන්ගේ ඉගෙනීම් කඩාවැටීම්, ණයතුරුස් වීමක්ද සිදුවී ඇති අතර වංචනිකයකුගේ මුදල් වංචාවකටද ගොදුරු වී ඇත. නිවෙස තුළ ජීවත් වීමට අපහසු වූ නිසා ගේ අත්හැර කුලියට වෙනත් නිවෙසකට මාරුවිය. වෙනත් නිවාස කීපයකටම මාරු වීම් මේ කාලය ඇතුළත සිදුවිණි.
ජීවිතයේ විවිධ කරදර බාධකවලට මුහුණ දෙමින් නිවාස හිමියාත් බිරිය සහ දරුවන් තිදෙනාම විවිධ මානසික පීඩනයන්ට මුහුණ දෙමින් සිටින බැව් පැහැදිලි විය. නිවාස වාස්තුව පරීක්ෂා කරන විටදී විශාල ලෙස වාස්තු දෝෂවලින් පිරී පැවති බැව්ද අනාවරණය විය.
විශේෂයෙන්ම දැනගන්නට ලැබුණේ නිවෙසට අනවින දෝෂ (හදි හූනියම්) කර ඇති බවත්ය. ඔවුන්ට තදබල ලෙසම රහසිගත විරුද්ධවාදීන් සිටින බැව්ද හෙළි විය. සිය ආත්මශක්තිය හීනවන විට මෙවැනි ක්‍රමවේදයන් ගැන තදබල ලෙසම විශ්වාස කරන බැව් පෙනේ.
අප විසින් විධිමත් වාස්තු විද්‍යා පරීක්ෂාවකින් පසු එම නිවෙසේ වාස්තු දෝෂ ඉවත් කර ගැනීමට හැකි විය. මෙය පොතේ හැටියට නොව අත්දැකීම් හරහා උපක්‍රමශීලීව කළ යුතු කාර්යයකි. නිවෙසක වාස්තු දෝෂ ඉවත් කිරීම කැඩීම් බිඳීම්වලින් තොර වීමද වැදගත්වේ. වාස්තුමය රෝගී නිවෙසක් ඇතුළත අතිශයින්ම කායික හා මානසික පීඩාවකට ගොදුරු වෙමින් ජීවත් වීම විශාල අවාසනාවකි. එබැවින් එවැනි වාස්තු දෝෂවලින් ඔබත් නිවෙස තුළ වද විඳිමින් ඉන්නේ නම් වහාම වාස්තු දෝෂ පරීක්ෂා කර ඉවත් කර ගන්න.
මෙවැනි මහා වාස්තු දෝෂ ඇති විශාල ගණනක් නිවාස පරීක්ෂා කිරීමෙන් ලද අත්දැකීම් හරහා මෙසේ සනිටුහන් කර සිටිමු. මුදලට විකිණෙන සමාජයක වාස්තුවද ඉතිරි වී නොමැති තැනට පත්වෙමින් දෝලනය වේ.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











