මෙලොව උපදින සෑම පුද්ගලයකුටම අදාළ වන ග්‍රහ තත්ත්වයක් ඇති බව රහසක් නොවේ. එය සියලු දෙනාම දන්නා කරුණකි. එහෙයින් ඒ ඒ අයට තමන්ගේ ග්‍රහ තත්ත්වය බලපාන විදියක් රටාවක් තිබෙනවා. මෙයට සමානවම ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයට බලපාන තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි ඔහු හෝ ඇය ජීවත්වන නිවෙස. එකිනෙකා ජීවත්වන නිවාසයන් ඔවුන්ගේ ජීවිතවල විශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වෙනවා. එනිසා කෙනකු අලුතින් නිවෙසක් හදනවාය කියන්නේ ඉතාමත් ඉහළ අවධානයකින් කළයුතු දෙයක්.
අද වෙද්දි මේ තත්ත්වයට ප්‍රබලව බලපෑම් කරන කාරණයක් බවට පත්ව ඇති දෙයක් තමයි පරණ උළුවහු ජනෙල් සහ ගෘහ භාණ්ඩ අලුත් නිවාස සඳහා යොදාගැනීම. ඇතැම් පිරිස් මෙය විලාසිතාවක් කරගෙන තිබෙනවා. තවත් පිරිසක් තමන්ට ලැබෙන ලාභය ගැන සිතා කරනවා. තවත් කොටසක් ලී දඬු සපයාගැනීමේ අපහසුතාව නිසා කරනවා වෙන්නත් පුළුවන්. ඒ අතරේ බහුතරයක් සිතනවා පැරැණි වලව් පැලැන්තියේ නිවාසවල තිබූ උළුවහු, ජනේල ආදිය යොදා නිවාස සෑදීමෙන් තමන්ටත් එවැනි තත්ත්වයක් හිමිවන බව.
මේ කුමන ආකාරයකට සිතුවද පැරැණි ලී හෝ උළුවහු, ජනේල ආදිය තෝරාගැනීම ඉහළ ගොස් ඇති ආකාරය වර්තමානය වෙද්දී තැන තැන ආරම්භ වන එවැනි දෑ විකිණීමේ ව්‍යාපාරවලින්ම පැහැදිලිව පෙනෙනවා. කොයි තරම් පහසු වුවත්, ලාභ වුවත්, පැරැණි උළුවහු, ජනේලවල නව නිවසකට අවශ්‍ය ජීව ගුණය තිබෙනවාද යන්න සිතා බැලිය යුතුමය. මන්ද ඕනෑම දෙයක ජීව ගුණය ඉහළට ගොස් ඊළඟට සිදුවන්නේ පහළට අඩුවීගෙන යෑමකි. එසේ ජීව ගුණය අඩුවෙමින් යන ලී දඬු ඔබේ නව නිවෙසට දැමීමම අයහපත් බව තර්කයකින් තොරව පිළිගන්නට සිදුවේ.
ඔබ පැරැණි ලී සහිත උළුවහු, ජනේල යෙදීම තුළ ඔබට ලැබෙන ආර්ථික වාසියට වඩා ගුණාත්මක වශයෙන් සිදුවන පාඩුව ඉහළයි. එසේම ඔබ මිලදීගත් දැව තිබූ පැරැණි නිවෙස ප්‍රබල වාස්තු දෝෂ, අමනුෂ්‍ය දෝෂ ආදිය තිබූ නිවෙසක් නම් එම සියලු දෝෂයන්ගේ බලපෑම, අශුභ ශක්තිය දොර ජනෙල්, උළුවහු ආදියට ගැබ්ව තිබීමට ඉඩ තිබෙනවා.
පැරැණි දේ මිලට ගැනීමේදී ඔබට සිතන්නට හොඳම කාරණාවක් තිබෙනවා. යම් නිවෙසක් ගලවා ඉවත් කරන්නේම එහි අඩුපාඩුවක් ඇති නිසාමයි. එසේ නොවන්නට නැවත භාවිත කළ හැකි උළුවහු, දොර, ජනෙල් ඇති නිවෙසක් නිකරුණේ ගලවා ඉවත් කිරීමක් සිදුවන්නේ නැහැ. ඇතැම් විට අදාළ නිවෙසේ යම් කෙනකු සියදිවි නසාගෙන හෝ ඝාතනය වී ඇත්නම්, එම අසුබ ශක්තීන් ගැබ්ව තිබූ උළුවහු, දොර, ජනේල හරහා එම බලපෑම ඔබගේ නව නිවහනේ යහපත් ශක්තියට හානි කරනු ඇත.
මෙහිදී තවත් වරදක් ඔබ අතින් සිදුවෙයි. එනම් වහල සඳහා පැරැණි ලී දඬු යොදාගැනීමයි. මෙයද ඉතාමත් අහිතක ක්‍රියාවලියකි. මන්ද ඔබ නව නිවෙසකට පැරැණි ලී යොදා වහල සැකසීමෙන් ඇසට පෙනෙන ඇසට පෙනෙන අසුබතාවලට සමානවම ඇසට නොපෙනෙන අසුබතාවන්ද සිදුවෙයි.ඒ අනුව පැරැණි නිවෙසේ තිබූ ප්‍රබල අසුබතාවල කිරණ බහුලව වහලය හා ගැටෙන බැවින් එම අසුබ තත්ත්වයන් ලී දඬු හා ගැබ්ව තිබී ඒවා ඔබගේ නව නිවෙසේ සුබ ශක්තියට බලපානු ඇත. එමෙන්ම ගුණාත්මක බව පිරිහීමට පටන්ගෙන ඇති ලී දඬු ඉතා කෙටි කාලයකින් ශක්තිමත් බව ගිලිහී ගොස් වහලයේ ශක්තිය බිඳීයෑමෙන් විනාශ වනු ඇති. එමගින් ඔබට සිදුවන ආර්ථික පාඩුවද ඉහළ යයි. තවත් පැත්තකින් ඔබගේ යහපත් දිවි පැවැත්මටද එය බලපායි.
ඇතැම් පැරැණි දැව ඇසට නොපෙනෙන කෘමි උවදුරුවලට ලක්ව ඇති අතර ඒවායේ සිදුරු විශාල ප්‍රමාණයක් පවතී. එම සිදුරු තුළට අසුබ ශක්ති කිරණ ඇතුළුව පැවැතීමෙන් කාලයක් යද්දී ක්‍රමයෙන් විනාශ වීමට පටන් ගනී. මෙය ඔබගේ නව නිවෙසේ ආරක්ෂාවට අතිශය හානිකර වන අතර තවත් පැත්තකින් පැරැණි ගෘහයේ තිබූ ඇතැම් අයහපත් සිද්ධීන්ට එම දැව හුරුවී තිබීමට පුළුවන. එහෙයින් පසුකාලීනව එම තත්ත්වයන් ඔබගේ නව නිවෙස තුළ ඇතිකිරීමට එය හේතු වෙන්න පුළුවන්.
නිවෙසක වහල යනු විශ්ව ශක්තිය නිවැසියන් වෙත ළඟාකරන ප්‍රධාන මෙවලමකි. එය වහලයේ හැඩයෙන්ම හඳුනාගත හැකිය. ඇතැම් විට පැරැණි නිවාස තිබූ තැන අසුබ විශ්ව ශක්තිය ගැබ්වන තැනක් වූවා නම්, නිසැකවම එම අසුබ කිරණ ඔබගේ නව නිවෙසටත් බලපෑම් කරනු ඇත.
මේ හේතු නිසා ඔබ පැරැණි දොර, ජනෙල්, ලී දඬු ආදිය භාවිත කරන්නට සිතා සිටිනවා නම් ඒ ගැන දෙවරක් සිතා කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එසේම යම් ලෙසකට ඔබගේ නිවෙසේම කොටසක් කඩා වෙනසක් කරන අවස්ථාවකදී පැරැණි කොටසේ තිබූ දැව භාවිත කිරීම වරදක් නොවේ. මන්ද ඒවා ඔබ දන්නා පරිදි ඔබට ගැළපෙන ආකාරයට හැඩගැසූ කිරණ ශක්තීන් ගැබ්වූ ඒවා වන හෙයිනි. එහෙත් එලෙසවත් පැරැණි ලී දඬු භාවිත නොකරන්නේ නම් වඩාත් යහපත් වන බවද සිහිපත් කළ යුතුමය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී,
සත්‍යජිත් සම්පත්