මාලා බන්ධන යන්ත්‍රය
බෞද්ධ කලා නිර්මාණ අතර විශේෂ නිර්මාණයක් ලෙස සැලකිය හැකි රත්නමාලි යන්ත්‍ර රාජයා පාලි භාෂාව ගැන ඉහළ දැනුමකින් යුත් බුද්ධිමත් ශාස්ත්‍රඥයකු විසින් නෙළුම් මලක හැඩයට සුබ ප්‍රමාණයන්ගෙන් ගණනය කර, අක්ෂර ප්‍රස්ථාර කොට ඉතා බලගතු අයුරින් සකසා ඇති අතර මෙය මහා ආකර්ෂණීය ගුප්ත බලයකින් යුතු යන්ත්‍ර රත්නයක් සේ සැලකේ. එසේම මෙය මෙරට සුවිශේෂ පූජනීය ස්ථානවල ආරක්ෂාව සඳහා යොදා ඇති අතර, ඒ අනුව රුවන්වැලි මහ සෑයේ අඩිතාලම යටත්, මාතලේ අළුවිහාරයේ චිත්‍ර අතරත් මෙම යන්ත්‍ර රත්නය යොදා ආරක්ෂාව අපේක්ෂා කර ඇත.
රුවන්වැලියට ඉඩදී විමානය අත්හල ස්වර්ණමාලි
වෙසෙක් මස පුර පසළොස්වක පොහෝ දිනයකදී වැඩ අරඹන ලද රුවන්වැලි සෑයේ ඉඳිකිරීම් කටයුතු කිරීමට එම ස්ථානයේ තිබූ රන් තෙළඹු ගසක් ඉවත් කිරීමට දුටුගැමුණු රජුට සිදුවී තිබේ. එහෙත් එම තෙළඹු ගස සිය විමානය කරගෙන ස්වරණමාලි නම් දේවතාවියක වැඩවාසය කර ඇති අතර, රජු කොතරම් ඉල්ලීම් කළද එම දේවතාවිය සිය විමානය අතහැරීමට කැමැති වී නැතත්,පසුව දේවතාවිය කාරණාව තේරුම් ගෙන සිය නම චෛත්‍යයට යොදන ලෙස රජුව පොරොන්දු කරවාගෙන චෛත්‍යයට ඉඩදී සිය විමානය අතහැර ගොස් තිබේ. එසේ නම් ලද චෛත්‍යය අදද ස්වර්ණමාලි, රුවන්මැලි, රුවන්වැලි යන නම්වලින් හඳුන්වයි.
රුවන්වැලියට සෑ මනරම් ධාතු ගර්භයේ නිර්මාණකරුවා
කිසිවකට නොදෙවෙනි අයුරින් බුදුන් වහන්සේට දැක්විය හැකි උපරිම ගෞරවයන් ලැබෙන අයුරින් රුවන්වැලි මහ සෑයේ ධාතු ගර්භය නිර්මාණය කරවීමට දුටුගැමුණු රජුට අවශ්‍ය වී ඇත.
ඒ අනුව රන්, රිදී, මුතු, මැණික් ආදී වටිනා වස්තූන්ගෙන් යුතුව දකින දකින අයගේ සිත් තුළ මහා ශ්‍රද්ධාවක් ඇතිවන ආකාරයට සෑ ගර්භය කරවීමට රජු කටයුතු කර තිබේ. ඒ මහා නිර්මාණකරණයේ වගකීම භාරගෙන කටයුතු කර ඇත්තේ ෂඩ් අභිඥාලාභී මහා නුවණැති ඉන්ද්‍රගුප්ත මහ රහතන්වහන්සේය.උන්වහන්සේ කිසිදු අඩුවක් පාඩුවක් වරදක් නොවන්නට එම කටයුත්ත මනාව ඉටුකළ බවද පැවැසේ.