ව්‍යාපාරයකට සුබ නමක් තැබීම මඟින් එය දියුණු වන බව අද බොහෝ දෙනා නොදනිති. සුබ නැකැතකට ව්‍යාපාරයක් පටන්ගත් පමණින් ව්‍යාපාරයක් දියුණුවට පත්නොවෙයි. වර්තමානයේ ව්‍යාපාර දෙස බලන විට නොයෙකුත් විදියේ ව්‍යාපාර නාම දක්නට ලැබෙයි. ව්‍යාපාරයකට පමණක් නොව පුද්ගලයකුට නමක් දමන විට පවා එය කල්පනාවෙන් කළ යුතුය. ආවාට ගියාට ව්‍යාපාරයකට නමක් දැමීම අසුබය. නමක් සුබ වූ විට එය කියවන වාරයක් පාසා සුබ ප්‍රතිඵල ලැබෙනු ඇත. නම අසුබ වුවහොත් එම නම කියවන වාරයක් පාසා අසුබ ප්‍රතිඵල ලැබෙනු ඇත.
තමා උපන් නැකැතට අනුව සුබ අක්‍ෂරයක් තෝරා ගෙන ව්‍යාපාරයට නම තැබිය යුතුය. ව්‍යාපාර නාමය අසුබ වුවහොත් ව්‍යාපාරය දිගටම කරගෙන යන්නට බැරි වෙයි.
ව්‍යාපාරයකට සුබ නමක් තබන විට එය සුබ ගණයකට අනුව තැබිය යුතුය. එම සුබ ගණ වනුයේ දිව්‍ය ගණය, භූමි ගණය, ජල ගණය හා චන්ද්‍ර ගණය. අසුබ ගණ වශයෙන් සලකණු ලබන්නේ, වායු ගණය, ගිනි ගණය, ආකාශ ගණය හා සූර්ය ගණයයි. නමුත් අසුබ ගණවලට පවා නම් තබන අවස්ථා ඇත. උදාහරණයක් වශයෙන් ගිනි ගණය ගන්නට පුළුවන. බේකරි නිෂ්පාදන ආයතනයකට නමක් තබන විට ගිනි ගණය ගන්නට පුළුවන.
එසේම පංච පක්‍ෂි ක්‍රමයට අනුවද ව්‍යාපාරයට නම තැබිය යුතුය. තමාගේ ජන්ම නැකැතට අනුව ජන්මියාට අයිති වන පක්‍ෂියා දැන ගන්නට පුළුවන. මෙහිදී තමාගේ නමේ මුල් අකුරද ව්‍යාපාරයට දමන නාමයේ මුල් අකුරද සතුරු නොවිය යුතුය. මෙහිදී සතුරු නොවන පක්‍ෂීන්ට අයිති අකුරකින් තම ව්‍යාපාරයට නම තැබිය යුතුය.
ඔබ ව්‍යාපාරයට තබන නමේ අගයක්ද ඇත. අංක විද්‍යාවට එම නම සුබද අසුබද බැලිය යුතුය. එම නමේ අගය සුබ ග්‍රහයකුට අයිති විය යුතුය. එහිදී අසුබ ග්‍රහයකුට අයිති අගයකින් තම ව්‍යාපාරයට නම නොයෙදිය යුතුය. නමුත් ආගමික සංවිධානයකට නමක් තබන විට සෙනසුරුට අයිති අගයෙන් නම තබන්නට පුළුවන. ජ්‍යොතිෂ ආයතනයකට හෝ ගුප්ත විද්‍යා ආයතනයකට නමක් තබන විට කේතුට අයිති අගයෙන් එම නම තබන්නට පුළුවන.
ව්‍යාපාර නාමය කාටත් මතක තබා ගැනීමට මෙන්ම කියැවීමට පහසුකමක්ද විය යුතුය. අද බොහෝ ව්‍යාපාර නාම දෙස බලන විට සමහර ව්‍යාපාර නාම කියාගන්නටද බැරිය. එම නාමයන් සුබ ගණවලට පමණක් තබා ඇති බව පෙනේ. එම ව්‍යාපාරවල නමේ අර්ථයක්ද නැත. එසේ නම තැබීමෙන් ව්‍යාපාරයට යහපතක් ඇති නොවෙයි.
තමාගේ පවුලේ අයකුගේ නමක්ද ව්‍යාපාරයට තබන අවස්ථා ඇත. එසේ නැතිනම් තමාගේ නම ව්‍යාපාරයට තබන අවස්ථාද ඇත. එසේ නම තබන විට එම නමේ මුල් අක්‍ෂරය තමාගේ ජන්ම නැකැතට ගැළපෙනවා දැයි බැලිය යුතුය.
තවද ව්‍යාපාරවලට නම තබන විට ව්‍යාපාරයේ ස්වභාවය අනුවද එම නම සුදුසුද කියා තීරණය කළ යුතුය. දෙවි දේවතාවුන්ගේ නම්ද ව්‍යාපාරවලට දමා ඇත. උදාහරණ ලෙස සරසවි, සරස්වතී යන නාම ගන්නට පුළුවන. මස් කඩයකට හෝ අවමංගල්‍ය සේවා සපයන ආයතනයකට මෙම නම් දැමීම සුබ නැත.
ව්‍යාපාරයකට තබන නම සිද්ධි චක්‍රයට අනුව ගැළපෙනවද බැලිය යුතුය. මෙසේ නම තෝරා ගත්තාට පමණක් මදිය. මෙම නම කාටත් පෙනෙන පරිදි නාම පුවරුවකට ඇතුළත් කළ යුතුය. මෙම නාම පුවරුවට ඇතුළත් කළ යුතු වර්ණ ගැනද නාම පුවරුවේ දිග, පළල ගැනද සැලකිලිමත් විය යුතුය.
තමාගේ ලග්නයට ගැළපෙන ජය වර්ණ අනුව නාම පුවරුවට ගැළපෙන වර්ණ තෝරාගත යුතුය. නාම පුවරුවේ දිග, පළලද, ව්‍යාපාරයේ පවතින ඉඩකඩ අනුව තීරණය කළ යුතුය. දිග, පළලද ගැළපෙන අනුපාතයකට ගත යුතුය. මෙසේ සාදාගත් නාම පුවරුව කාටත් පෙනෙන ලෙස ව්‍යාපාරය ඉදිරියේ සවිකර ගන්න.
ජ්‍යොතිෂවේදී එස්.එම්. ගුණවර්ධන











