මෙම අංකය අයත් වන්නේ සඳු ග්‍රහයාටය. දෛව අංක 1 හිමි අයට වඩා හාත්පසින්ම වෙනස් ගුණාංගවලින් යුක්තය. අංක 2 හිමි අය කීර්ති, ප්‍රශංසා ලැබීමට දැඩි ආශාවක් දක්වන චරිතයකින් යුක්තය. මෙම අංකය හිමියා එතරම් තැන්පත් අයකු නොවන අතර, අපක්‍ෂපාතීව කටයුතු කිරීමේ හැකියාවක් ඇති හෙයින් ඇතැම් විට දැඩි ගතිගුණ ඇති බවක් පෙනෙන්නට ඇත. ගතානුගතිකව වැඩ කිරීමට අකැමැති ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ ස්වකීය නිර්මාණයන් ඉදිරිපත් කිරීමටයි. අන් අයගේ උපදෙස් පිළිපැදීමට මොවුන් කිසිසේත් සූදානම් නැත. තම මතයේම එල්බගෙන සිටීම ඔහුගේ සිරිතය. හැම විටම තමා නිවැරැදි යැයි සිතන ඔවුන් අන් අයට උපදෙස් දීමට සමත්ය. දිය යටින් ගිනි ගෙනයෑමට තරම් කපටි නුවණක් ඔවුන්ට උපතින්ම උරුම වී ඇත. කාර්යශූර මෙන්ම වැඩටද ඉතා දක්‍ෂ පරාර්ථ සේවය දිවි දෙවැනි කොට සැලකුවත් ආත්මාර්ථකාමී අදහස්ද යටි සිතෙහි නැතුවා නොවේ. අනුරාගික චරිතයක් වුවද ඒ බව පිටතට නොපෙන්වයි. ආගන්තුක සත්කාරය අගය කොට සලකන මොවුන් ආත්ම ගෞරවය පණමෙන් රකී. විශේෂයෙන් සමිති, සමාගම්වල සභාපති, ලේකම් තනතුරුවලට නිරායාසයෙන්ම පත්කරන්නේ මොවුන් තුළ ඇති ක්‍රමසම්පාදනයෙහි දක්‍ෂතාව නිසාය. කාර්ය සංවිධානයෙහිද මනා පිහිටීමක් ඇත. දෛව අංක 2 හිමියාට මිතුරන් අධික වන නමුත් වැඩි දෙනෙක් යහපත් මිතුරන් නොවෙති. තවද මෙම අංක හිමියා පුරුෂයකු නම් ස්ත්‍රීන් සමඟද, ස්ත්‍රියක නම් පුරුෂයකු සමඟද පිළිසඳරේ යෙදී කතාබස් කිරීමට තදින් ආසා කරයි.
දෛව අංක 2න් උපන් පුද්ගලයා බොහෝ විට පෙලඹෙන්නේ මහජන සම්බන්ධතාව ඇති රැකියා මාර්ගයකටය. විශේෂයෙන් ලිපිකරු සේවා, සමාජ සේවා කටයුතු, මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ සේවාවන්ට මෙම අංකයෙහි පිහිටීම තදින් බලපා ඇත. එසේම කවර රැකියාවක් කළත් තමා වෙසෙන සේවා ස්ථානයෙහි සමිති, සමාගම්වල නිලතල පවා ඔවුනට හිමිවෙයි. පරිපාලන කටයුතුවලද නිපුණත්වයක් දක්වන අතර, වෙළෙඳසේවා කටයුතුවලදීද දක්‍ෂතාවක් පෙන්වයි. විශේෂයෙන් දේශපාලන කටයුතුවලටද සිත් යොමු කරයි. එමෙන්ම ජනප්‍රියතාවට පත්වී ප්‍රභූ තනතුරු පවා හිමි වීමට වාසනාව ඇත.
දෛව අංක 2න් උපත ලැබූ පුද්ගලයාට අවුරුදු 17ක් සුබපල උදා කරයි. ඒ අවුරුදු 100ක් ජීවත් වුවහොත් පමණි. මෙම අයට අනංගයාගේ බැල්ම වැටෙනුයේ වයස අවුරුදු 16දීය. වයස අවුරුදු 21දී දැඩි අනුරාගික හැඟීම් හේතුවෙන් පෙම් සබඳතාවකට පැටලෙයි. පසුව වයස අවුරුදු 35, 40, 49, 54, 66, 73 යන වර්ෂවලදී දුක, දොම්නස හේතුවෙන් චිත්ත සන්තාපයට ලක්වීමට බොහෝ විට ඉඩ ඇත.
ඒ ඒ අංකවලට ගැළපෙන සම විෂම, සතුරු-මිතුරුභාවය ගැන සැලකීමේදී ස්වභාවයෙන්ම අංක 2 දෛව අංකයට මිත්‍ර වන්නේ අංක 8 හා 4 පමණි. 6 සම වෙයි. අංක 2 හිමියාට 1, 3, 5, 6, 7 සහ 9 වැනි දිනයක හෝ එම අංකයට යෙදෙන දිනයක හෝ උපත සිදුවී ඇත්නම් එම අංකයෙහි විෂමතාව මඟහැරී මිත්‍රත්වයට පත්වන බව සඳහන් වෙයි. නිදසුනක් ලෙස 1972.12.16 උපන් අයකුට අංක 7 අධි මිත්‍රවන්නාක් මෙන් (1972.12.16 =11=2) මෙහි වර්ෂයේ ගුප්ත අංකය 7ක් අධිමිත්‍ර වූ හැටි සැලකිල්ලට ගතයුතුය. ඒ අනුව තම සහකරු හෝ සහකාරිය කොතෙක් දුරට ගැළපේදැයි සිතාගත හැකිය. අංක 2 උපත ලත් පහත සඳහන් ප්‍රසිද්ධ අයගේ ගතිගුණ හා ක්‍රියාකාරිත්වය අනුව දෛව අංක 2 එම අයට බලපා ඇති අයුරු තේරුම් ගන්න.
සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය. 1916-04-17 = 29 = 11 = 2,
පූජ්‍ය බළංගාඩ ආනන්ද මෛත්‍රි ස්වාමින් වහන්සේ 1896-08-24 = 38 = 11 = 2,
සර් ඩී. බී. ජයතිලක මහතා 1868-02-13 = 29 = 11 = 2.
හිඹුටානේ පියතිලකද අල්විස්











