ගහෙන් ගෙඩි එන්නා වගේ අද තරු බවට පත්වෙන ශිල්පීන් වැඩියි. හැබැයි ඒ නම රැඳෙන්නේ ඉතාමත් ටික කාලයයි. ඉතින් මීට වසර 20කට උඩදි ඔබ ආදරය කළ ‘පුංචි සුරංගනාවි’ ගැන ඔබ තවමත් හොයනව ඇති. ඒ තරම් ඒ සුරංගනාවියගේ සුරතල් බවට ඔබ වසඟ වුණ නිසා අපි මේ සූදානම් වෙන්නේ ඔබ හොයපු ඒ සුරංගනාවිය හොයා දෙන්නටයි. ඇය තමයි නිත්‍යා කන්දසාමි. ඇය ඇගේ අලුත්ම තොරතුරු අප සමඟ බෙදාගත්තේ මේ විදියට.
සරෝජා ඉතින් කොහොමද?
සතුටින් ඉන්නවා. සරෝජා කියලා කතා කරන එකත් සතුටක්. මොකද මම නිර්මාණවල දකින්න නොලැබුණාට සරෝජා, පුංචි සුරංගනාවි තවම කාටවත් අමතක වෙලා නැහැ. ඒ චරිත දෙක ජීවමානයි සදාකාලිකව මම නිර්මාණවල නැති වුණත්.
ඇත්තටම ඇයි සරෝජා ඔබ නිර්මාණවල දකින්න නැත්තේ?
දකින්න ඉතින් මට ආරාධනා කරන්නෙ නැහැ කවුරුවත්. මට එහෙම පැනගෙන යන්න බැහැනේ නිර්මාණවලට. ආරාධනා කළොත් එදා වගේම සරෝජාගේ වැඩ කවුරුත් දකීවි. මේ දවස්වල මගේ වෛද්‍ය අධ්‍යාපන කටයුතු නිසා මම ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්නේ. නිර්මාණවලින් ආරාධනා කළත් දැන්නම් යන්න අපහසුයි. ඒ නිසාමයි මම නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නේ. බාධාවක් නැතුව කරගෙන යන්න පුළුවන් නිසා.
සෝමරත්න දිසානායක මහතාගේ නිර්මාණවලින්වත් ආරාධනා කළේ නැද්ද?
මමත් ගොඩක් ආශාවෙන් බලාගෙන හිටියා සෝමරත්න සර්ගේ නිර්මාණයකින් මට ආරාධනාවක් ලැබෙයි කියලා නැවත. ඒත් මම හිතන්නේ මට ගැළපෙන චරිතයක් ලියැවිලා නැතුව ඇති කරපු චිත්‍රපටවල.
නිර්මාණ තෝරාගැනීමේදී ඔබ චරිත ගැන සැලකිල්ලක් දක්වනවද?
මෙහෙමයි, එහෙම විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මට ගැළපෙනවා නම් මට කරන්න පුළුවන්. ඒ චරිතය මම භාරගන්නවා.
‘සරෝජා’ චිත්‍රපටයේදී ඔබට සිංහල භාෂාවවත් බැහැ නේද?
ඔව්, එතකොට මට අවුරුදු හතරක් විතර ඇති. මට කියලා දුන්න විදියට මම රඟපෑවා. දැන් නම් සිංහල කතාකරන්න පුළුවන් හොඳට.
ඔබ දැන් විවාහක බිරියක්. එදා කරපු දේවල් දැන් කරන්න පුළුවන්ද?
එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්නා ගොඩක් සතුටින් ඉන්නවා. මගේ මහත්තයා මගේ දක්ෂතා පැත්තෙන් යන්න මට උදව් කරනවා. එහෙම කවදාවත් මට බලපෑම් කරල නැහැ. ඔහු අදටත් කියන්නේ හොඳ නිර්මාණයකින් ආරාධනාවක් ලැබුණොත් සම්බන්ධ වෙන්න කියලා. මොකද මා ගැන රටේ ගොඩ දෙනෙක් හොයනවා. මම ආසයි මගේ රසික රසිකාවියන් අතරට හොඳ නිර්මාණයකින් යන්න.
අවසාන වශයෙන් ඔබට කියන්න දේකුත් ඇති නේ?
අවුරුදු 20ක් ගෙවිලා ගියත් සරෝජාව මතක තියෙන එක තමයි ලොකුම සතුට. මම හොඳ දෙයක් කරපු නිසානේ අදටත් මාව මතක. මම කලාවෙන් ඉවත් වෙලා නැහැ. හොඳ නිර්මාණයකින් ආරාධනාවක් ලැබෙනකම් මම මඟ බලාගෙන ඉන්නවා.
වසන්ත විතාරණගේ