හින්දූන් අතර ලක්ෂ්මී යනු ප්‍රසිද්ධ දෙවඟනකි. තවත් විදියකින් කිව්වොත් ඇය විෂ්ණු දෙවියන්ගේ ආදරණීය පතිනිය නැත්නම් ආදරණීය බිරියයි. හින්දු ආගමේ ඇතැම් තැන්හි ලක්ෂ්මී දෙවඟන හැඳින්වෙන්නේ ධනයට වාසනාවට හා සෞභාග්‍යයට අධිපති හින්දු දේවතාවිය ලෙසටයි. හින්දු ආගම තුළ විෂ්ණු දෙවියන්ට බිරින්ඳෑවරුන් තිදෙනෙකු සිටි බව සඳහන් වෙයි. හින්දු ආගමේ සඳහන් “ත්‍රී දේවීන්” එම තිදෙනාය. එම තිදෙනා අතරට මෙම ලක්ෂ්මී දේවියත් සරස්වතී දේවියත් පාර්වතී දේවියත් අයත් වෙති. ඒත් විෂ්ණු දෙවියන්ට අයත් එම බිරින්ඳෑවරුන් තිදෙනා අතර විටින් විට ගැටුම් ඇතිව තිබේ. එම නිසා විෂ්ණු දෙවියන් ලක්ෂ්මී දේවිය ළඟ තබාගෙන සර්ස්වතී සහ පාර්වතීගෙන් වෙන්ව තිබේ. කෙසේ හෝ එසේ විෂ්ණු දෙවියන් ළඟ තබාගත් ලක්ෂ්මී යනු වර්තමානයේ හින්දු බැතිමතුන්ගේ ගෞරවය ආදරය සහ භක්තිය නොඅඩුව හිමිවන දෙවඟනකි. විශේෂයෙන්ම ලක්ෂ්මී දෙවඟන වන්දනය වත්මන් හින්දු සමාජයේ වැඩිපුර දක්නට ලැබෙයි.
ඉතින් අදට යෙදෙන දීපවාලී උත්සවය නිසාවෙන් අප අද ඔබට කියන්නේ ලක්ෂ්මී දෙවඟන ගැනය.
මෙම ලක්ෂ්මී දෙවඟන හින්දු සමාජය තුළ විවිධ වූ අපූර්ව නම්වලින් හැඳින්වෙයි. විශේෂයෙන්ම ඇය සහ නෙලුම් මල අතර ඇත්තේ ඉතා අපූර්ව සුවිශේෂී සම්බන්ධයකි. එය තවදුරටත් සනාථ කරමින් ඇයව හඳුන්වන්නට යෙදෙන සමහර අන්වර්ථ නාමයන් නෙලුම් මලට සම්බන්ධයක් ඇති බව අපට දැකගත හැකිය. නිදසුන් ලෙස ගතහොත් පද්මා, කමලා, පද්මප්‍රිය, පද්මමාලාධර දේවී, පද්ම මුකී, පද්මාන්කිෂ, පද්ම හස්ථ සහ පද්ම සුන්දරී ආදී වූ නම් ඊට නිදසුන්ය. මීට අමතරව ඇයව රාමා, ඉන්ද්‍රා, මුනි ශ්‍රී, චක්‍රිකා, කමලිකා මෙන්ම ලලිමා සහ නන්දිකා යන විශේෂ නම්වලින්ද හඳුන්වනු ලැබේ. අද ලක්ෂ්මී දෙවඟන “අෂ්ට ලක්ෂ්මී” යනුවෙන්ද හඳුන්වයි. සැබෑවටම “අෂ්ට ලක්ෂ්මී” යනු මෙම ලක්ෂ්මී දෙවඟනගේ ඇති සුවිශේෂී ස්වරූපයන් අටකි. එම අෂ්ට ස්වරූපයන් අට අද ලක්ෂ්මී දෙවඟන බලපවත්වන සියල්ලම සමඟ සම්බන්ධයක් ඇති බව වත්මන් හින්දු ජනතාවගේ විශ්වාසයයි. මෙම ලක්ෂ්මී දෙවඟනගේ එම අෂ්ට ස්වරූප අට පහත පරිදිය.
(01) ආදි ලක්ෂ්මී (ලක්ෂ්මී දෙවඟනගේ පළමු පහළවීම)
(02) ධාන්‍ය ලක්ෂ්මී (ධාන්‍ය ධනය)
(03) ධෛර්ය ලක්ෂ්මී (වීර්යය ධනය)
(04) ගජ ලක්ෂ්මී (හස්තියා ලෙස ධනයේ සලකුණ)
(05) සන්තාන ලක්ෂ්මී (පරම්පරාව පවත්වාගෙන යාමේ ධනය)
(06) විජය ලක්ෂ්මී (ජයග්‍රහණයේ ධනය)
(07) විද්‍යා ලක්ෂ්මී (දැනීමේ සහ අධ්‍යාපනයේ ධනය)
(08) ධන ලක්ෂ්මී (මූල්‍යමය ධනය)
ඉතා පැරැණි ඉන්දියානු ග්‍රන්ථවල මෙන්ම පැරැණි ඉන්දියානු ජනප්‍රවාදයේද සඳහන් ආකාරයට ලක්ෂ්මී දෙවඟනට නපුරු වැඩිමහල් සොහොයුරියක් සිටියි. ඇයගේ නම අලක්ෂ්මීය. මෙහිදී අලක්ෂ්මී යනු ලක්ෂ්මී දෙවඟනට හාත්පසින්ම වෙනස් හිතුවක්කාර චරිතයකි. ඇය කරන්නේ ලක්ෂ්මී දෙවඟන සිදුකරන ක්‍රියාවන්වල ඇති අනෙක් පැත්තයි. එනම් ප්‍රතිවිරුද්ධ පැත්තයි. සැබෑවටම ඇය ඉතා නපුරු අයෙකි. ලක්ෂ්මී දෙවඟන හැඳින්වෙන්නේ ධනයට වාසනාවට මෙන්ම සෞභාග්‍යයට අධිපති හින්දු දේවතාවිය ලෙසින් වුවද ඇගේ සොහොයුරිය වන අලක්ෂ්මී දුප්පත්කමට සහ අවාසනාවට, ශෝකයට, අසතුටට, නින්දාවට, අසනීපයට, අපහාසයට, දුරාචාරයට, අසමත්වීමට, අසාර්ථකවීමට ආදියට අධිපති බව හින්දුන්ගේ විශ්වාසයයි. එම නිසා ලක්ෂ්මී දෙවඟන අදහන බැතිමතෙකුට එවන් දෙයක් වුවහොත් ඔවුන් සිතන්නේම එය අලක්ෂ්මී දේවියගේ බැල්මක් වැටී සිදුවූවක් බවයි. එමෙන්ම අනවින සහ කොඩිවින පසුපසද ඇත්තේ ඇයගේ බැල්ම බව හින්දු විශ්වාසයයි. හින්දු ජනප්‍රවාදයේ ඇයව “මූදේවී” ලෙසද හඳුන්වා තිබේ.
ලක්ෂ්මී දෙවඟන පහළවීම සම්බන්ධයෙන්ද ඇත්තේ ඉතා පැරැණි රසවත් කතාවකි. එය තරමක් විශ්වාස කිරීමට අපහසු වුවද අදටත් අපට පිළිගන්නට ඇති එකම කතාව එයයි. එදා රටේ දුර්වාස නම් ඉතා ප්‍රබල සෘෂිවරයෙක් සිට ඇත. ඔහු වහා කිපෙනසුලු දරුණු තීරණ ගන්නා චරිතයකින් යුතු අයෙක් බව සඳහන් වේ. දිනක් දුර්වාස නම් සෘෂිවරයා පරනොවන අපූරු මල්වලින් ගොතන ලද මල් මාලයක් දෙවියන්ගේ රජ වූ ඉන්ද්‍ර දෙවියන්ට තෑගිකර ඇත. පසුව එය සතුටින් පිළිගත් ඉන්ද්‍ර දෙවියන් මෙම මාලය “අයිරාවණ” නම් තමන්ගේ රාජකීය හස්තියාට පලන්දයි. එහෙත් එම හස්තියා කරන්නේ එම මල් මාලය හොඬයෙන් ඇද ගලවා කකුලෙන් පාගා විනාශ කර දැමීමයි. එදා මෙය දකින දුර්වාස ඉන්ද්‍ර දෙවියන් තමන්ව ගණන් නොගත් බව සිතා වහා කෝප වී දෙවියන්ට ශාපකර තිබේ. එම ශාපය වන්නේ තමන් සතු බලය මෙන්ම සැප සම්පත් නිසා අතිශයින් අහංකාර වී සිටින සියලුම ප්‍රබල දෙවිවරුන්ගේ බලය පහවී යා යුතුය යනුවෙනි. පසුව එය එසේම සිදුව තිබෙන අතර මෙම ශාපය නිසාම අසුරයන් දෙවිවරුන් පරදවා දෙවියන් දෙව්ලොවින්ම පලවා හරින්නට කටයුතු කළ බව සඳහන් වෙයි.
මෙම සිදුවීම නිසා අසුරයන් අතින් පරාජයට පත්වූ දෙවිවරුන් පසුව ආරක්ෂාව පතා යන්නේ ලෝකය නිර්මාණය කළ මහා බ්‍රහ්මයන් වෙතටය. එහිදි මෙදා අසුරයන් පරදා දෙවියන් ජයගැනීමට නම් නිසැකවම අමරණීයත්වයට පත්කරන “අමෘතය” ලබාගත යුතු බව මහා බ්‍රහ්මයා දෙවියන්ට පවසා තිබේ. ඒ සඳහා ක්ෂීර සාගරය හෙවත් කිරි මුහුද කැලඹිය යුතු බවද මහා බ්‍රහ්මයා එම මොහොතේ පවසා ඇත. එය ඇසූ දෙවිවරුන් ඊළඟට යන්නේ මහා විෂ්ණු දෙවියන් සොයාගෙනය. ඒ මෙම කාර්යය සඳහා උදවු උපකාර ලබාගැනීමටය. එහිදී විෂ්ණු දෙවියන් දෙවියන්ට උදව් කළ බව සඳහන් වේ. ඒ ඔහු කුර්ම අවතාරය වේශයට පැමිණ මන්ත්‍ර පර්වතය දණ්ඩක් ලෙස අතේ රුවා කිරි මුහුද කලඹමිනි. එම අවස්ථාවේ නාග ලෝකයේ රජු වූ වාසුකීද විශාල රැහැනක් බවට පත්ව මෙම කාර්යයට සෘජුවම දායක වී තිබෙන බව පැවසෙයි. මෙහිදී තවත් පසෙකින් ඉන්ද්‍ර දෙවියන්ගේ නායකත්වයෙන් පැමිණි දෙවිවරුන් මෙන්ම බලී රජුගේ නායකත්වයෙන් යුතුව පැමිණි අසුරයෝද එක්ව එදා කිරි මුහුද කලඹා තිබෙන බව සඳහන් වෙයි.
අප අද කතාබහ කරන මෙම ලක්ෂ්මී දෙවඟන උපදින්නේද මෙම සිදුවීමත් සමඟිනි. එනම් කිරි මුහුද කැලඹවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එදා එලෙස කිරි මුහුද කැලඹීමේදී උඩ මතු වූ අගනා වස්තූන් අතරින් එකක් ලෙස මෙම ලක්ෂ්මී දෙවඟන හැඳින්වෙයි. පසුව ඇය මහා විෂ්ණු දෙවියන් තමාගේ සැමියා ලෙස නැත්නම් වල්ලභ දෙවියා ලෙස තෝරාගෙන ඇත. ඊට හේතුවක් වන්නේ ලෝකයේ සියලු මායා බන්ධන දුර්වල කිරීමේ බලය විෂ්ණු දෙවියන්ට පමණක් තිබීමයි. කෙසේ හෝ සාගරයෙන් මතු වූ බැවින් ලක්ෂ්මී දෙවඟන සාගරයේ දියණියක් ලෙස සැලකෙන අතර එලෙසම මතු වූ සඳ නැත්නම් චන්ද්‍රයා ලක්ෂ්මීගේ සොහොයුරා ලෙස හින්දු බැතිමතුන් විශ්වාස කරයි. මේ අතර එලෙස කිරි මුහුද කැලඹවීමේදී මතු වූ ලක්ෂ්මී දෙවඟනගේ සහෝදරිය වන අලක්ෂ්මී හින්දු සංස්කෘතියේ හැඳින්වෙන්නේ “අභාග්‍යයේ දෙවඟන” ලෙසිනි. මුලදී අප සඳහන් කළ පරිදි ඇයගේ ඇති බැල්ම මත ලෝකයේ අකටයුතුකම් ගණනාවක් සිදුවීම ඊට ලොකුම හේතුවයි.
ලක්ෂ්මී දෙවඟනගේ උපත නැත්නම් ඇගේ විස්මිත උත්පත්තිය ගැන විෂ්ණු පුරාණයේ සඳහන් වන්නේ ලක්ෂ්මී දෙවඟන යනු භ්‍රිග්ගු සහ කසාතිග්ගේ එකම දියණිය බවයි. මුලදී ඇය ස්වර්ගයේ ජීවත් වුවද මුලින් අප සඳහන් කළ දුර්වාස නම් සෘෂිවරයාගේ ශාපය නිසා පසුව ක්ෂීර සාගරයේ හෙවත් කිරි මුහුදේ ඇය ජීවත් වී තිබේ. ඒ අනුව කිරි මුහුද කලඹවන තෙක්ම ඇගේ වාසස්ථානය වී ඇත්තේ එයයි. එහෙත් පසුවට ක්ෂීර සාගරය හෙවත් කිරි මුහුද කැලඹවීම නිසාම ලක්ෂ්මී දෙවඟන නැවත පහළවීම සහ පසුව විෂ්ණු දෙවියන් සමඟින් ඇය විවාහ වීම සම්බන්ධ කතාව විෂ්ණු පුරාණයේ පැහැදිලිව සටහන් කර තිබේ. දැන් ලක්ෂ්මී විෂ්ණුගේ ශක්තිය සහ මායා බලය වේ. මෙය “ශ්‍රී චෛශ්නිවිසම්” යන සංකල්පය සමඟ මැනවින්ම ගැළපෙයි. එම වචනයේ අර්ථය වන්නේ ලක්ෂ්මී යනු හුදු ධනයට අධිපති දෙවඟන පමණක්ම නොව ඇය දෙවඟනන් අතර අග්‍රගණ්‍ය දෙවඟනක්ද වෙන බවයි. විෂ්ණු පුරාණය එය පැහැදිලිව සඳහන් කරයි.
රුවන් එස්. සෙනවිරත්න











