නැකැත් බැලීම යන කාරණාව අද – ඊයේ ජ්‍යොතිෂයෙන් මනුෂ්‍ය ජීවිතයට සම්බන්ධ වුණු දෙයක් නොවේ. ඕනෑම ජන්මියෙක් ඉපදුණු අවස්ථාවේ පටන් මරණය වන මොහොත දක්වා මළවුන්ට පවා නැකැත් සාදද්දී ජීවිතයේ සුබ සිද්ධිය හෝ දියුණුව, අභිවෘද්ධිය, උදෙසා යම් විශේෂ වූ දෙයක් තම ජීවිතයට එකතුකර ගැනීමේදී බලවත් නැකැත් සීහුම් යොදා ගැනීම ඉතාමත් යහපත් වුණු බව මූලික වශයෙන් සිහිපත් කළ යුතුය. නමුත් සමහරුන් තමාගේ අභිමතය පරිදිත්, තමාට පහසු පරිදිත් ආවට ගියාට සුබ වැඩෙහි ආරම්භය සිදු කළත් එහි සාර්ථකභාවය, සඵලතාව පසුකාලීනව කෙබඳුදැයි පළපුරුද්දෙන්ම ඇතැමුන්ට කිව හැකි වන්නේය. නමුත් යහපත, දියුණුව උදෙසා සිදු කරනු ලබන ඕනෑම කාරණාවක් මේ අයුරින් අතරමඟ නවතා දැමීම කෙබඳු තත්ත්වයක් දැයි ඔබටම පසක් වනවා ඇත.
මේ ආකාරයෙන් වර්තමානයේ බොහෝ ජන්මීන් තම දියුණුව උදෙසා වත්කම් ඒකරාශී කිරීමක් වශයෙන් ඉඩම් මිලදී ගැනීම් අනේකවත් සිදු කරනු ඇත. ඉඩම් සම්බන්ධයෙන් පවත්නා බොහෝ කාරණා කටයුතු මීට පෙර මාතෘකා ඔස්සේ බොහෝ ලිපි මඟින් ඔබ වෙත ලබාදී ඒ පිළිබඳ අවබෝධයක් ගෙනදී ඇති අතරම, මෙවර උත්සාහ කරනුයේ එවැනි ප්‍රමාණයෙන් කවරාකාර වුවත් ඉඩමක් තමා සතු කර ගැනීමේදී එහි ඵලදායිභාවය උපරිම අයුරින් ඉදිරියට ලබා ගැනීමට නම්, මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඔබ ගුණාත්මක අයුරින් සහ බලවත්ව නිසි නැකැත් සීහුම් අනුව සුබම වේලාවක් අදාළ ඉඩම මිලදී ගැනීම සඳහා සාදා ගන්නා ආකාරය පිළිබඳවයි.
අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, මා, හත, සිත, සා, අනුර, දෙට, මුල, සුවන, දෙනට මෙන්ම සියාවස, රේවතී, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප යන නැකැත්වලින් උපන් නැකැතට සීහෙන නැකැතක් පළමුව යොදා ගැනීම සිදු කළ යුතුය. එසේම මෙම බලවත් නැකැත් යොදා ගැනීමට තවත් ආකාරයකින් නම් අදාළ ජන්මියාගේ ජන්ම රාශියට සීහෙන වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, කුම්භ, මීන යන රාශිවලින් එකක් යෙදෙන පරිදි යොදා ගැනීමත් සිදුකළ යුතුය. උචිත නැකැතට බලවත් වන තිථියක්ද යොදා ගැනීමට අමතක නොකළ යුතුය. පුර පක්‍ෂයේ දියවක, තියවක, විසේනිය, සතවක, දසවක, එකොළොස්වක, දොළොස්වක, තෙළෙස්වක යන තිථි යොදා ගැනීම සිදුකළ යුතු අතරම, තත්කාලයෙන් 8 වැන්න ශුද්ධ වී 4 වැන්නේ සහ 7 වැන්නේ අධිපතීන් බලවත් වීම මඟින්ද නැකැත බලවත් බවින් උසස් කරගත හැකි වන්නේය.
මේ අයුරින් බලවත් වන නියම සුබ නැකැතක් යොදා ගනිමින් බලාපොරොත්තු වන ඉඩම මිලදී ගැනීමෙන් සිතනවාටත් වඩා සාර්ථක ඵල ලබන්නට එතුළින් හැකියාව පවතින්නේය. එසේ නොසිතන අවස්ථාවන්හිදී භූමි ලාභ පවා ගෙන දෙන්නට ඇති ප්‍රබල හැකියාවක් උසස් නැකැත් තුළ පවතින බවද මෙහිදී තරයේ සිහිපත් කළ යුතුය. විශේෂයෙන්ම මැණික් ආශ්‍රිත කටයුතු සිදුකිරීමේදී ඔවුන් ඒ අවස්ථාවට උචිත නැකැත් මාලාවක් සකස්කර ගනිමින් කටයුතු සිදු කරන්නට පෙලඹෙන්නේ උසස් පල නිරායාසයෙන්ම මේ වනවිටත් ළං කරගෙන ඇති බැවිනි. එනිසා ඔබත් ඉදිරියේදී හෝ නව ඉඩමක් මිලදී ගැනීමේදී අඩුම තරමේ කුලියට / බද්දට ගැනීමේදී පවා ඉහතින් පෙන්වා දුන් අයුරින් නිසි නැකැතකට යොමු වී කටයුතු සිදු කරන්නට සිතට ගන්න. ඔබට අසිරිමත් නැකැතින් තෙරුවන්ගේ ආශීර්වාදය උදාවේවා!
ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන











