ඉපැරැණි බිබිලේ හවරිනුගරුක කවදා, කිනම් වර්ෂයේ හටගත්තේ දැයි සඳහනක් නැත. මෙය වසර දහස් ගණනක් පැරැණි යැයි විශ්වාස කළ හැකිය. මෙම නුගරුක බිබිල. මඩකළපු මාර්ගයේ ඉළුකාපතන ප්‍රදේශයේ ප්‍රධාන බස් මාර්ගයේ පිහිටා ඇත. මෙම නුගරුකට “හවරි නුගේ” යනුවෙන් ගම්වාසීන් හඳුන්වන්නේ හවරියක් එනම් කොණ්ඩය මෙන් ගසේ අතුවල සිට බිමට වැල් ඇදී යෑම නිසාය.
අඩි 200කට වඩා විශාලත්වයෙන් යුත් වට ප්‍රමාණයක් ඇති මෙම නුගරුක උසට අඩි 100ක් පමණ විහිදී ගොස් ඇත. අක්කර කාලක පමණ බිම් කොටසක් මෙම නුගරුකට වැසී ගොස් තිබේ.
1818 වෙල්ලස්සේ කැරැල්ලට මෙම නුගරුක විශාල දායකත්වයක් දුන් බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. 1818 පැවැති වෙල්ලස්සේ කැරැල්ලට නායකත්වය දුන් අඹගොල්ලේ සුමංගල හිමියන් කැරැල්ලේ නායකයන් වන කොහුකුඹුරේ රටේ රාල, බුටාවේ රටේ රාල, මීගහපිටියේ රටේ රාල ආදීන් සමඟ කැරැල්ලට එක්වුණ බොහෝ සිංහලයන් මෙම නුගරුක යටට එක්වී කැරැල්ලේ ඉදිරි ගමන පිළිබඳ සාකච්ඡා කොට ඇත. කැරැල්ල සමයේ මෙහි සැඟවී සිට සතුරාට පහර දුන් හැටිත් සතුරාගෙන් මඟහැරිය අන්දමත් සඳහන් වෙයි.
මෙම නුගරුකට වසර දහසට වැඩි පැරැණි යැයි විශ්වාස කළ හැකිය. 1818 වෙල්ලස්ස කැරැල්ල වන විට මෙම ප්‍රදේශය ජනාවාස ප්‍රදේශයක්ව පැවැත දෙමළ ජන කොටසකට අයත් භූමියක්ව තිබී ඇත. ඊට නිදසුනක් ලෙසට අදත් මෙම නුගරුකට නුදුරුව පිහිටා ඇති කෝවිල හඳුන්වා දිය හැකිය. වෙල්ලස්සෙ කැරැල්ලෙන් පසුව දෙමළ වැසියන් මඩකළපු ප්‍රදේශයට පලාගොස් ඇත. එසේම මෙම නුගරුක පිළිබඳ කතා පුවත් ගණනාවක්ම අසන්නට ලැබෙයි. ඉන් බොහෝ දේ වෙල්ලස්ස කැරැල්ල සමයේ සිදුවුණු ඒවාය. 1818 ආරම්භ වුණු වෙල්ලස්සේ කැරැල්ල මර්දනය කිරීමට පැමිණි ඌවේ ආණ්ඩුකාර ඩග්ලස් විල්සන් උනගොල්ලේදී මීගහපිටියේ හිටිහාමුගෙන් මැරුම් කෑහ. විල්සන් සමඟ පැමිණි හේවායන්ගෙන් කොටසක් බදුල්ලට පලාගිය අතර, ඔවුන් සමඟ පලායෑමට බැරිවුණු හේවායන් තිදෙනකු මඩකළපුව දෙසට පලායද්දී මෙම නුගරුක අසල ළඳු කැලයේ සැඟවී සිටි කොහුකුඹුරේ මොහොට්ටාල ඇතුළු පිරිසට අසුව මැරුම් කා තිබේ. මෙම කැරැල්ල මැඩපැවැත්වීමට එදා ඩග්ලස් විල්සන් සමඟ ඉංග්‍රීසි හමුදාවේ හේවා භටයන් 500ක් පැමිණියත් විල්සන් මරා දැමීමත් සමඟ හේවායන් පනහකට පමණ පාර සොයාගන්නට නොහැකිව කැලෑවැදී ඇත. පසුව මෙම හේවායන් සොයමින් ගිය වෙල්ලස්ස කැරැල්ලේ නායකයන් අතින් ඒ පිරිස මැරුම් කා ඇත.
දකුණු පළාතේ පිහිටි දෙනිපිටියේ නුගරුකට වඩා පැරැණි ඉතිහාසයක් ඇති බිබිලේ හවරි නුගරුක වසර සිය ගණනක් ඈත ඉතිහාසකට ඇදී යයි. 1818 වෙල්ලස්සේ කැරැල්ල වන විටත් මෙය විශාල නුගරුකකි. අලි – ඇතුන් සිටියත් නොපෙනෙන තරම් විශාල මෙම නුගරුක වෙල්ලස්සේ කැරැල්ලේදී සිංහල ජාතිය වෙනුවෙන් සිදුකොට ඇත්තේ අති මහත් සේවාවකි. වෙල්ලස්සේ අරගලයට දායක වුණ මෙම ඓතිහාසික සම්පත ඇතැම් පිරිස් විසින් විනාශ මුඛයට පත්කිරීමේ මෙහෙයුමක යෙදී සිටිති. ඒ මෙම නුගරුක අසලට අපවිත්‍ර දෑ, කුණුරොඩු දමමින් පරිසර විනාශයකට මුලපුරමිනි. එබැවින් මෙම සම්පත රැකගැනීමට ඊට වගකිවයුත්තන් වහා පියවර ගතයුතු කාලය දැන් එළඹ ඇත.
වීගොඩ හේමපාල











