අම්මලා වෙන්න හැමෝටම පුළුවන් වුණාට පුංචි තිරයේ අම්මලා වෙන්න හැමෝටම බැහැ. ඉතින් කාලයක් තිස්සේ පුංචි තිරයේ විතරක් නෙවේ සිනමාවේ අම්මා වුණු ඇය දැන් ගොඩ දෙනෙක්ට අමතකවෙලා ගිහින්. ඒ වෙන කවුරුවත් නෙවෙයි සුසන්තා චන්ද්‍රමාලි. ඉතින් ඔය කරුණු කාරණා එක්ක දැන් සද්දබද්ද නැතුව ඉන්න සුසන්තා ගැන අපි පොඩි විමසීමක් කළා.
පුංචි තිරයේ අම්මාව දකින්නවත් නැහැ. සුසන්තා ඇයි නිහඬ වෙලා?
දැන් ඉතින් අම්මාව පෙන්නැහැ කාටවත්. සමහර විට මම ළඟ මව් සෙනෙහසක් නැතිව ඇති. ඒකනේ ආරාධනා නැත්තේ. ගෙදරට වෙලා ඉන්නවා. විදේශීය මෙගා නිර්මාණ වගේම අපේ මෙගා නිර්මාණත් එක දිගට අවුරුදු ගණනක් විකාශය වෙනවා. එහෙම වුණාම ඉතින් අපිට වැඩ අඩුයි.
දැන් තරුණ අය අම්මලා වෙන නිසා සමහර විට සුසන්තලාට වැඩ අඩු ඇති?
සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. මොකද දැන් පෙම්වතියට රඟපාන අය දඟලනවා අම්මා චරිතය රඟපාන්න. අම්මලා චරිත රඟපාන අය දඟලනවා කිරිඅම්මලා වෙන්න. ඉතින් එහෙම රූප රාමු ගලාගෙන හිතවත්කමට චරිත ලබා දෙනකොට අපිට සිද්ධවෙනවා දිගටම නිහඬවෙලා ඉන්න.
දැන් පවතින ටෙලි රැලි ක්‍රමවේදය අම්මලාට ගොඩාක් බලපාන්න ඇති?
මෙහෙමයි. මොන රැලි ක්‍රමවේදයක් තිබුණත් පිටපත ලියනකොට චරිතයට අදාළ කෙනාගෙ රූපය මැවෙනවා රචකයාට. එයට අමතරව අධ්‍යක්‍ෂවරු නෑකම්, හිතවත්කම් වෙනත් සම්බන්ධකම්වලට චරිත මවලා. ඉතින් දැන් ක්‍ෂේත්‍රයේ සම්බන්ධකමක් තිබිය යුතුයි නිර්මාණවල රැඳෙන්න නම්.
අසූව දශකයේත් ඔය කියන සම්බන්ධකම් බලපෑවද?
අපෝ නැහැ. අපි සම්බන්ධකම් පැවැත්තුවේ නිර්මාණය රූපගතකිරීම් කරන කාලය තුළ විතරයි. එතැනින් එහාට අපි ගෙදර ආවම අපිට වෙනම බැඳීම් තිබුණා. දැන් යන ක්‍රමවේදයට සම්බන්ධකම් පවත්වන්න අමාරුයි. ඉතින් එයට වඩා හොඳයි තියෙන දෙයක් කාල ගෙදරට වෙලා ඉන්නවා.
සුසන්තලා හදාගත්තු රාමුවෙන් මිදුණ නම් මෙයට වඩා නිර්මාණ ගලාගෙන එයි?
අපි කළේ වෘත්තියක්. වෘත්තියට හදවතින් ආදරය කළා. ඒ විතරක් නෙවේ චරිතයට උපරිම සාධාරණයක් කළා. ඒ කරපු සාධාරණයට අදටත් ප්‍රේක්‍ෂකයන් අපට ගෞරවය කරනවා. අපි රඟපානවට කැමැති නිර්මාණකරුවන් කිහිපදෙනෙක් ඉන්නවා. ඉතින් ඔවුන්ගේ නිර්මාණවලට උපරිම සාධාරණයක් මම කරනවා. නැතුව අපේ වටිනාකම නිකම් හෑල්ලුවට දාන්න මම කැමැති නැහැ.
අද ක්‍ෂේත්‍රය දිහා බලන විට මොකද හිතෙන්නේ?
කලාවට අත්වෙලා තියෙන ඉරණම දැක්කම ගොඩාක් දුක හිතෙනවා. අපේම අය තමයි විනාශ කළේ. මම හිතන්නැහැ ටෙලිනාට්‍ය කර්මාන්තය ගොඩගන්න පුළුවන් වෙයි කියලා. මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරපු ශිල්පීන් දිහා බලපුවාම ඔවුන්ට පිස්සු හැදෙන්න ඕනෑ. මොකද අපෙන් වැඩක් ගත්තට අපේ පෞද්ගලික ජීවිතය දිහා බලන්න කවුරුත් නැහැ. අවසානයේ උපේක්‍ෂාවෙන්, වේදනාවෙන් බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
ජීවිතය හරියට සලාදයක් වගේ. අපි ජීවත් වෙන්නේ හඳ අල්ලන්නවත්, රට අල්ලන්නවත් නෙවේ. ප්‍රශ්න නැතුවත් නෙවේ. එන විදියට මුහුණ දෙමින් ජීවත් වෙනවා.
සුසන්තාගේ ජීවිතයේ ළඟින්ම ඉන්නේ කවුද?
මගේ ජීවිතයේ දුක – සතුට මම බෙදාගන්නේ මගේ පෑන එක්ක. මගේ ළඟම මිතුරා මගේ පෑනයි, පොතයි. ජීවිතයට ගලාගෙන එන හැම දෙයක්ම මම අකුරු තුළින් කවි පදවැල් අමුණන එක තමයි කරන්නේ. ජීවිතයේ ලස්සන වගේම අවලස්සනත් තියෙනවා. හිතන තරම් සුන්දර නැහැ. මම හැම දේම පොතක ලියනවා.
පාළු තනිකම මකන්න ආච්චි කෙනෙක් වෙන්නේ කවදද කියල බලන් ඇති?
අම්මෝ ඔව්. ගොඩාක් ආශාවෙන් ඉන්නේ. ඒත් අපි වගේ නෙවේ දැන් ළමයි සැලසුමක් ඇතිවයි ජීවත් වෙන්නේ. එය වරදක් කියලා මම හිතන්නේ නැහැ. සැලසුමක් ඇතිව ජීවත් වෙනකොට ජීවිතයම ලස්සනයි.
වසන්ත විතාරණගේ











