රාහු කාලේ කිව්වම ඕනෑම කෙනෙක් දෙසරයක් හිතන ස්වභාවයක්, එහෙමත් නැත්නම් තැති ගැන්මක් ඇතිකර ගන්න ස්වභාවයක් තියෙනවා. හැබැයි පිරිසක් එහෙම කරද්දී තවත් පිරිසක් රාහු කාලෙ කියන්නෙ මොකද්ද, රාහු කාලෙ හොඳද, නරකද මේ ආදී කිසිම දෙයක් නොදැන ගණන් නොගෙන වැඩ කරන ස්වභාවයකුත් තියෙනවා. ඇත්තටම රාහු කාලය කියන්නේ මොකද්ද. මේ කාලය දැන ගැනීමෙන් හෝ එය මඟහැර වැඩ කිරීමෙන් ඇති සෙතේ මොකද්ද කියලා කෙනකුට ප්‍රශ්නයක් තියෙන්නත් පුළුවන්. ඇතැම් විට රාහු කාලය බලලා වැඩ කරන, රාහු කාලය මඟහරින ගොඩක් දෙනෙක් රාහු කාලය කියන්නේ මොකද්ද කියලා නොදන්නවා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් රාහු කාලය පිළිබඳ යම් අවබෝධයක් ලබා සිටීමට සෑම ජන්මියකුටම වැදගත් වෙන්නත් පුළුවන්.
රාහු කාලය දිවා – රාත්‍රි දෙකෙහිම පවතිනවා. දිවා පැය එකහමාරකුත්, රාත්‍රි පැය එකහමාරකුත් ලෙස පැය තුනකට වැඩි කාලයක් දිනකට රාහු කාලය පවතිනවා. කෙසේ නමුත් රාහු කාලය තුළ අරඹන වැඩකටයුතු සාර්ථක නොවන බවට තීරණාත්මක මතවාදයක් සමාජය තුළ මුල්බැසගෙන තිබෙනවා. එහි සත්‍යතාවයක් නැතැයි කියා තර්ක කිරීමටද හැකියාවක් නැහැ.
එහෙත් යම් ජන්මියකුගේ උප්පත්ති ග්‍රහචාරය මෙන්ම ඒ ඒ කාලවල ගෙවන මහා දසා, අතුරු දසා ආදිය හේතුකරගෙන රාහු කාලය පලවිපාක යම් තරමකට වෙනස් විය හැකිය. කෙසේ නමුත් අලුතින් යමක් ඇරැඹීමේදී එදිනට අදාළ රාහු කාලය පිළිබඳව අවධානය යොමුකර එය මඟහැරීම තුළින් දිනයේ ඇති අසුබ තත්ත්වයන් මඟහැරෙන බවක් අරඹන කටයුත්ත ඉතාමත් සුබ ආකාරයට සිදුකරගත හැකි බවත් පිළිගැනෙනවා.
කෙසේ නමුත් රාහු කාලය මඟහැර කටයුතු කළ යුතුමැයි කියා කිසිදු ආකාරයක බලපෑමක් හෝ ජ්‍යොතිෂමය මඟ පෙන්වීමක් නැතත්, ජීවිතය හා සම්බන්ධ විශේෂ කටයුතු රාහු කාලය මඟහැර සිදුකිරීම තමන්ට මානසික සහනය උදාකර දෙන්නකි. එහිදී ආරම්භ කරන කටයුත්තේ සුබ ප්‍රතිඵල වඩාත් සුබ වීමටද මෙය පිටිවහලක් වෙයි. එනිසා යම් කෙනකු අරඹන සුබ කටයුත්තක් සඳහා රාහු කාලය මඟහරිනවා සේම, එදින ඊට ගැළපෙන සුබම මුහුර්තය සොයාගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් මානසික ශක්තිය නමැති සැඟවුණු බලයේ උපරිම ප්‍රයෝජන ගතහැකි බවටත් සොයාගෙන ඇත.
කෙසේ නමුත් රාහු කාලය පිළිබඳව කිසිවිටෙකත් අනියත බියක් ඇතිකර ගතයුතු නැති බවත්, ජ්‍යොතිෂයේ විශ්වාසයයි. මන්ද රාහු කාලය පවතින වෙලාවල්වලදී පවා සුබ මුහුර්ත පවතින බව රහසක් නොවන බැවිනි.
රාහු කාලය මෙන්ම සෑම පැයකම යෙදෙන පංචම කාල හෝරාව ගැනද අවබෝධයක් ලබාතිබිය යුතුය. එනම් ඕනෑම පැයක් තුළ මිනිත්තු 12 බැගින් වූ කාල හෝරා 5ක් වෙන්කොට ඇත. එහිදී උදාහරණයක් ලෙස හිරු උදාව 06ට සිදුවනවා යැයි සිතා සඳුදා දිනයක් ගතහොත් සඳුදා රාහු කාලය යෙදී ඇත්තේ උදයේ හා රාත්‍රියේ 7.30ත් 09.00ත් අතර නම් සඳුදා දින උදය කාලයේ පැය 7-8 අතර ශනි හෝරාව හා 8-9 අතර ගුරු හෝරාව පවතී. එහිදී ගුරු හෝරාවේ පංචම කාල හෝරා වෙන්වන්නෙ මෙලෙසිනි.
8.00ත් – 8.12 අතර ගුරු
8.12ත් – 8.24 අතර ශුක්‍ර
8.24ත් – 8.36 අතර ශනි
8.36ත් – 8.48 අතර රවි
8.48ත් – – 09.00 අතර චන්ද්‍ර (විස)
මෙම පංචම කාල හෝරාව තුළ 8.48-09.00 අතර චන්ද්‍ර පංචම කාල හෝරා කාලය විස හෝරාව හෙවත් අසුබ කාලය ලෙස දක්වා ඇත. මෙලෙස මිනිත්තු 12ක් තුළ යෙදෙන සූක්‍ෂ්ම කාල හෝරා ලෙස මිනිත්තු 4 බැගින් කාල හෝරා 3ක් දක්වා ඇත. එනම් 08.00 – 08.12 අතර ගුරු කාල හෝරාව තුළ යෙදෙන ගුරු පංචම කාල හෝරාව තුළ ඇතුළත් වන සූක්‍ෂ්ම කාල හෝරාව මෙසේ දැක්විය හැකිය.
08.00 – 08.04 ගුරු පංචම හෝරාවේ ගුරු සූක්‍ෂ්ම කාල හෝරාව
08.04 – 08.08 ගුරු පංචම හෝරාවේ කුජ සූක්‍ෂ්ම කාල හෝරාව
08.08 – 08.12 ගුරු පන්දම හෝරාවේ රවි සූක්‍ෂ්ම කාල හෝරාව
දිනයේ සූර්ය උදාව අනුව මෙය වෙනස් කරගත හැකි අතර, 08.00 – 08.04 අතර ගුරු හෝරාවේ ගුරු පංචමයේ ගුරු සූක්‍ෂ්ම කාල හෝරාව යෙදී ඇත. මෙම කාලය ගුරුට අයත් කටයුතු සිදුකිරීමට ඉතාමත් සුබ මුහුර්තයකි. ගුරුට සම්බන්ධ මැති ඇමැතිවරු හමුවීමට, රථවාහන මිලදී ගැනීමට, ගෙවල් මුල්ගල් තැබීමට වැනි කාරණා ප්‍රධාන වෙයි. මේ ආකාරයට අනෙක් ග්‍රහයන් ප්‍රධානත්වය දරන කටයුතු මොනවාද, ඒ ඒ ග්‍රහයන්ට ඒ ඒ දිනට අයත් සුබ මුහුර්ත මොනවාද යන්න සොයාගෙන කටයුතු කළ හැකිය. මෙහිදී කාල හෝරාව මෙන්ම ඒ ඒ දිශාවල පවත්නා නැකැත් සහ ඒ ඒ දිශාවල විශේෂත්වයද කේන්දරයේ ග්‍රහචාරයන්ද සැලකිල්ලට ගෙන ඉතාමත් විශිෂ්ට වූ ප්‍රතිඵල අත්කරගත හැකි බව අත්දුටු සත්‍යයකි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර











