• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පොහ‌ොට්ටුවේ තරුණ සමුළුව සහ ‌ගෝඨා-බය

August 31, 2019
in Politics
Reading Time: 3 mins read
A A
පොහ‌ොට්ටුවේ තරුණ සමුළුව සහ ‌ගෝඨා-බය
Share on WhatsAppShare on Facebook

පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොරොන්දුවල අතර ඉදිරියෙන්ම තිබුණේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස ඇතිකරන බවට ලබාදුන් පොරොන්දුවය. ජනාධිපතිවරණ සමයේ ලබාදුන් අනෙක් පොරොන්දු ඉටුකිරීම කොයිහැටි වෙතත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලය තුළ වැඩියෙන්ම දක්නට ලැබුණේද මාධ්‍ය නිදහසය. එම නිදහස අයථා ආකාරයෙන් භාවිත කරන ආකාරයද පසුගිය කාලයේ බොහෝ අවස්ථාවල දක්නට ලැබිණි. නමුත් ජනාධිපතිවරයා පොරොන්දු වූ ආකාරයෙන්ම ඔහුගේ පාලන කාලයේදී කිසිදු මාධ්‍යවේදියකු හිරිහැරයට ලක්වූ බවට තොරතුරු වාර්තා නොවීය. සමාජ මාධ්‍ය ඔස්සේ එතුමා තරම් නිර්දය විවේචනයට ලක්වූ ජනාධිපතිවරයකු මෙරට ඉතිහාසය තුළ සිටියේ නැත. නමුත් එම විවේචනයන්ට හවුල්වූ කිසිවකුට එරෙහිව පියවරක් ගැනීමට එතුමා කටයුතු කළේද නැත. එබැවින් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පහළ වූ මාධ්‍ය නිදහස උපරිමයෙන්ම ලබාදුන් ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා යැයි පැවැසුවහොත් එහි වැරැද්දක් නැත.
පසුගිය ජනාධිපතිවරණ සමය වන විට මාධ්‍ය නිදහස සම්බන්ධව ශ්‍රී ලංකාවේ පැවැති වාතාවරණය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. මාධ්‍ය නිදහස ඇතිකිරීම ප්‍රධාන පොරොන්දුවක් බවට පත්කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වූයේද ඒ නිසාය. නමුත් මෙවර ජනාධිපතිවරණය වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර ජාතික ආරක්ෂාව මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන පොරොන්දුව බවට පත්වන ආකාරය පැහැදිලිව දක්නට ඇත. ඕනෑම දෙයක අගය දැනෙන්නේ එය තිබෙන කාලයට වඩා නැතිවූ කාලයටය. වර්තමානයේදී මාධ්‍ය නිදහස එතරම් අගයක් ඇති දෙයක් නොවන්නේ එය ඕනෑවටත් වඩා රට තුළ ඇති නිසාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව පසුගිය 24 වැනිදා පැවැත්වූයේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේදීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති තරුණ සමුළුව සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණි තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගි වී සිටි අයුරු දක්නට ලැබිණි. නවීන තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාත්මක වූ එම සමුළුව යූටියුබ් වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශය කෙරිණි. නමුත් මෙම සමුළුව අතරතුර සිදුවූ සිදුවීම් පෙළක් සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වීමත් සමඟ මාධ්‍ය නිදහස සම්බන්ධ අලුත් කතාබහක් සමාජය තුළ නිර්මාණය වන ආකාරයද දක්නට ලැබිණි.
සමාජ ජාල හරහා ව්‍යාප්ත වූ එම වීඩියෝවේ දක්නට ලැබුණේ සමුළුව ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් පිරිසකට සමුළුව පැවැති ශාලාව තුළට පිවිසීමට නොදෙන ආකාරය පැවැසෙන දර්ශන පෙළකි. සමුළුව ආවරණය කිරීමට නම් ඒ සඳහා වන විශේෂ බලපත්‍රය තිබේදැයි එහි සිටි ආරක්ෂක නිලධාරීන් විමසන ආකාරයද දර්ශන පෙළේ අඩංගු වී තිබිණි. මෙලෙස පොදුජන පෙරමුණේ තරුණ සමුළුව සඳහා ඇතුළු වීමට ඉඩ ලබානොදීම සම්බන්ධයෙන් ඒ අවස්ථාවට පැමිණි පොදුජන පෙරමුණේ නියෝජිතයන්ගෙන් කරුණු විමසීමටද එම මාධ්‍යවේදීන් කටයුතු කර තිබුණු අතර එහිදී එම නියෝජිතයන් ඒ සඳහා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසිනි.
ඔවුන් පළමුව ඒ සම්බන්ධව කරුණු විමසුවේ සුසිල් ප්‍රේමජයන්ත් මහතාගෙනි. එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ප්‍රේමජයන්ත් මහතා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසිනි.
ඔබතුමා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නේද?
“ඇයි එහෙම ඇහුවේ?”
නැහැ මන්ත්‍රීතුමා සමුළුවට ආව සාමාන්‍ය මාධ්‍යවේදීන්ට වාර්තා කරන්න අවසර ලබාදීල නැහැ. කාටවත් ආරාධනා කරලත් නැහැ. අපේ කැමරා ගෙනියන්න දෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ දෙන වීඩියෝ එක ගන්න කියනවා. අපිට එහෙම කරන්නේ ඇයි?
“ඒ ගැන මට යමක් කියන්න බැහැ. මෙතැන තරුණ සමුළුවනේ යන්න. මෙතැන සංවාදයක් යන්නේ.”
නැහැ මේක ඔබතුමා දකින්නේ කොහොමද. ආණ්ඩුව ගන්නත් කලින් මෙහෙම නම් ආණ්ඩුව ගත්තට පස්සේ මොන වගේ තත්ත්වයක් උදාවේවිද කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා?
“නැහැ. නැහැ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මාධ්‍ය ප්‍රතිපත්තියක් අපි සකස් කරගෙන යනවා. ඒක තමයි අපි ජනගත කරන්නේ.”
මෙතැනදි වුණු දේ ගැන මන්ත්‍රීතුමා අපි කතා කරන්නේ?
“ඒක සංවිධායකවරුන්ගෙන් තමයි අහන්න ඕනේ.”
නැහැ මන්ත්‍රීතුමා සංවිධායකවරු මේක මඟහැරලා තියෙනවා. පුවත්පත් මාධ්‍යවේදියෝ එළියේ ඉන්නවා. ඔවුන්ට ඇතුළට එන්න අවස්ථාව දෙන්නේ නැහැ?
“ඒව අවශ්‍ය වෙලාවට කරයි. කලබල වෙන්න එපා.”
එදා ජාතික සමුළුව වෙලාවෙත් මාධ්‍යවේදීන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා. අපි ඒක ප්‍රයෝගිකව වින්දා?
“නැහැ. නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. රටේ ජනතාව ඒක සජීවීව දෙරණෙන් බැලුවා.”
ඉවෙන්ට් එක හරි ඇති මන්ත්‍රීතුමා. ඒත් අපිට එදත් ප්‍රශ්න ගොඩක් තිබුණා. ඇයි ඔබතුමාලා මෙහෙම කරන්නේ?
“ඉන්න ඉන්න. හරි වෙලාවට ට්‍රැක් එකට වැටෙයි.”
අනතුරුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගෙනි.
මන්ත්‍රීතුමා අද පොදුජන පෙරමුණේ තරුණ සමුළුව නේද?
“අනිවාර්යයෙන්ම.”
ලංකාවේ සාමාන්‍ය මාධ්‍ය ආයතනවලට මේක ආවරණය කරන්න දෙන්නේ නැහැ. දැන් අපිට පැහැදිලි සැකයක් ඇතිවෙනවා. ආණ්ඩු බලය ගත්තට පස්සේ ඔබතුමාලා ක්‍රියාත්මක වෙන විදියේ පූර්වාදර්ශයක්ද මේ? ඔබතුමාලා ආණ්ඩු බලය ගත්තට පස්සේ මාධ්‍යවල යන කලදසාව මොකක්ද?
“අපි කවදාවත් මාධ්‍යයත් එක්ක හැප්පිච්ච අය නෙවෙයි. අපි කවදාවත් මාධ්‍ය මර්දනය කරපු අය නෙවෙයි. අපි මාධ්‍යයේ මිතුරෝ. අපි ඒක නිරහංකාරව ප්‍රකාශ කරනවා. අද සමුළුව මාධ්‍යයට දෙන විදියේ යම් ක්‍රමවේදයක් තියෙනවා. නමුත් ඒක හැම මාධ්‍යයකටම දෙන්න ඕනේ. ඒකෙ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක කතා කරලා විසඳා ගමු.”
අපි වෙනදට මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට ඇවිල්ලා වැඩ කරනවා. ආරක්ෂාවේ ප්‍රශ්නයක් නොවෙන්න ඒ වැඬේ සංවිධානය කරන්න වෙනදා ඔබතුමාලා කටයුතු කරනවා. ඒත් අද ඒක ඇයි වෙනස් වෙලා. ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවෙන්න මාධ්‍යවේදීන්ට ඇතුළට එන වැඩපිළිවෙළක් හදන්න බැරිද ඔබතුමාලට?
“අපි ඒක ජාතික සම්මේලනයේදි කරානේ.”
නැහැ මන්ත්‍රීතුමා එදත් අපිට ප්‍රශ්න තිබුණා. අපි ඔබතුමාට පෞද්ගලිකවත් ඒ ගැන කිව්වා?
“නැහැ. නැහැ. ජාතික සම්මේලනයට හැමෝමා ආවා. ඒ කිව්ව දේවල්වලට මං ඒ වෙලාවෙම විසඳුම් දුන්නනේ.”
අපි අපේ මාධ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කරලා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සහභාගි වන අවස්ථාවන්ටත් යනවා. ඒත් මේ වගේ පොඩි වැඩකට ඇයි මාධ්‍ය හැඳුනුම්පතෙන් යන්න බැරි. ආණ්ඩු බලය ගත්තම අපිට මොකක් වෙයිද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒකයි. මාධ්‍යවේදීන් කීදෙනෙක් එළියේ ඉන්නවද කියලා ඔබතුමාටම ගිහින් බලන්න පුළුවන්?
“ආරක්ෂාවේ ප්‍රශ්නයක් හින්දා අද ඒ විදියට කරලා තියෙනවා. මම දැන් මේකට විසඳුමක් ගන්නවා. සියලුම දෙනා ඇතුළට ගන්න මම කටයුතු කරනවා. මම ඒක වගකීමෙන් කියන්නේ.”
අනතුරුව එතැනට පැමිණියේ පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීතුමියයි.
මන්ත්‍රීතුමිය, මාධ්‍යවේදීන්ට මේ සමුළුව ආවරණය කරන්න දෙන්නේ නැහැ. මොකද ඒ? අපිට පොඩි බයක් තියෙනවා ආණ්ඩුව ගත්තම මොන වගේ දෙයක් වෙයිද කියලා?
“කවදාවත් වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. අන්න සර් එනවා. මම යනවා.”
සමුළුව ආරම්භයට මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණෙමින් සිටි මොහොතේදී මාධ්‍යවේදීන්ට සිදුවූයේ කුමක්දැයි විමසීමට ඔවුහු නාමල් රාජපක්ෂ මහතා සහ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරුන් වෙත යොමුවන ආකාරයද වීඩියෝවේ සටහන්ව තිබිණි.
නාමල් මන්ත්‍රීතුමා පොඞ්ඩක් කතා කරන්න ඕනේ. මාධ්‍යවේදීන්ට සමුළුව ආවරණය කරන්න දෙන්නේ නැහැ. ඇයි ඒ?
“ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. යූටියුබ් එකේ මේක ඕන තරම් යනවා. ඒකෙන් ගන්න පුළුවන්. ඉතාම ක්‍රමවත් විදියට නූතන තාක්ෂණය භාවිත කරමින් ඒක කරලා තියෙනවා.”
ඩලස් මන්ත්‍රීතුමා අපිට පොඩි බයක් තියෙනවා. ආණ්ඩුව ගත්තට පස්සෙත් දිගටම මෙහෙම වේවිද?
“නැහැ. නැහැ. අපි හැමදාම මාධ්‍ය මිතුරෝ.”
හැබැයි මන්ත්‍රීතුමා මිතුරෝ ගොඩක් අද එළියේ.
“(සිනහවෙමින්) හරි. හරි. අපි යනවා.”
මෙම දර්ශන පෙළ ප්‍රචාරය වීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ බොහෝ දෙනකු පවසා තිබුණේ මෙය මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතළ තර්ජනයක් බවය. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා ඉක්මනින් කේන්ති යන බැවින් කලින් සැලසුම් නොකළ කිසිම ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබා නොදෙන ලෙසට අවවාද ලැබී ඇති බවද මේ අතර අදහස් පළවී තිබිණි. පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අතරතුර මාධ්‍යවේදීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතාද ප්‍රකාශ කර තිබුණේ එය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නිදහසට සිදුකළ බාධාවක් බවයි.


මේ අතර තරුණ සමුළුව මෙහෙයවීම සඳහා ප්‍රධාන වේදිකාවේ සිටි තරුණිය සහ ඒ සඳහා දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා යොදාගැනීමද දැඩි විවේචනයට ලක්වී තිබේ. එම තරුණිය රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් දෙකක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත. එම වැටුප් දෙකම ලබාගනිමින් ඇය නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතුවල නිරත වූ බව මේ වන විට ප්‍රසිද්ධ රහසක් බවට පත්වී ඇත. එමෙන්ම ඇය මේ වන විට ඉන්නේ නඩු කටයුත්තකට මුහුණදී ඉන් ඇප ලබාගෙනය.
දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධියකදී මයික්‍රෆෝනය කඩා තම අතද තුවාල කරගත් ආකාරය තවමත් ජනතාවට අමතක නැත. එබැවින් විනයක් සහිත රටක් සහ නව තරුණ පරපුරක් නිර්මාණය කිරීම සඳහා පැවැත්වුණු කතිකාවට එවැනි පුද්ගලයන් යොදාගැනීම සාධාරණීකරණය කළ හැක්කේ කෙසේදැයි ජනතාව තුළ ගැටලුවක් පවතී.
පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අතර සිදුවූ සිදුවීම් මේ ආකාරයෙන් විවේචනයට ලක්ව තිබියදී එදින සිදුවූයේ කුමක්දැයි හරියටම දැන ගැනීම සඳහා අප කරුණු විමසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි මිලින්ද රාජපක්ෂ මහතාගෙනි. ඒ සම්බන්ධයෙන් හෙතෙම අදහස් දැක්වූයේ මෙසේය.
“එදා අපි ලංකාවේ හැම මාධ්‍ය ආයතනයකටම ආරාධනා කරලයි තිබුණේ. නමුත් එහෙම ආරාධනා නොලැබුණු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් තමයි එදා ඔය ප්‍රශ්නයට මුහුණ දීලා තිබුණේ. මේ වගේ සමුළුවකට ලංකාවේ හැම මාධ්‍යවේදියකුටම සහභාගි වීමේ අවස්ථාවක් දෙන්න අමාරුයි. අනෙක් එක අපි කාටවත් කැමරා ගෙනියන්න දුන්නේ නැහැ. සමුළුවේ සම්පූර්ණ වීඩියෝව අපිම මාධ්‍ය ආයතනවලට ලබාදුන්නා. ඒ දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. ඒ හින්ද මේ විවේචන පිළිගන්න බැහැ.”
ඇතැම් විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අතරතුර මාධ්‍යවේදීන් මුහුණදුන් හිරිහැර සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන කිසිවත් කතා නොකළේද ඒ නිසා විය යුතුය. ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුමකින් තොරව මාධ්‍යවේදීන් ඉදිරියේ පිළිතුරු සැපයීමට ඉදිරිපත් නොවන බවට වන චෝදනාව සම්බන්ධයෙන්ද අපි මිලින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ අතර එයට ඒ මහතා පිළිතුරු දුන්නේ මෙසේය.
“ඒක අමූලික බොරුවක්. එතුමා යන හැම තැනකදිම මාධ්‍යවේදීන් ප්‍රශ්න අහනවනේ. එතුමා ඒවාට පිළිතුරු දෙනවා. මේ දවස්වල එතුමා රැස්වීම් මාලාවක නිරතවෙලා ඉන්නේ. ඒ හැමතැනදිම එතුමා මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙනවා” යන්න ඔහුගේ පිළිතුර විය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඇමේසන් ගින්නෙන් ලංකාවේ හුස්ම ටිකත් හිරවෙයිද?

Next Post

48දී නිදහස දුටු අලගල්ල

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.