ආශික්ලන්තෙ වැසියන්ට මේ දවස්වල නින්ද යන්නෙ නැති තරම්. ඒ නිදාගෙන නැඟිටිනකොට රටේ මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙන නිසා. රටවැසියන්ට රූප පෙට්ටිය නරඹන්න වුණත් පිරියාවක් නැහැ. ඒකෙ පෙන්නන්නෙත් එක එකා මරාගන්න හැටි නිසා.
ඔය අතරෙ ආශික්ලන්ත නරපතිතුමා රාජ සම්මන්ත්‍රණ ශාලාවේ ලොකු ආරක්ෂක වැඩමුළුවක් සංවිධානය කළා. රටේ ආරක්ෂක සේනා ලොකු හේවායො වගේම දේශ දේශාන්තරවලිනුත් ආරක්ෂක සේනා හේවායො ඒකට සහභාගි වෙන්න ආශික්ලන්තයට ඇවිත් හිටියා.
නරපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුව ආරම්භ කළා. දේශ දේශාන්තරවලින් ඇවිත් හිටපු හේවා භටයො කතා පැවැත්වූවා. ඒ හැමෝම කතා කළේ ආශික්ලන්තයෙ ආරක්ෂක විධිවිධාන ගැනයි. මුළු ලෝකෙටම ආදර්ශෙට ගන්න පුළුවන් ආරක්ෂාවක් ආශික්ලන්තෙ වැසියන්ට ලබාදීම ගැන ඔවුන් ප්‍රශංසා කළා.
නරපතිතුමත් සේනාධිනායකලා වටකරගෙන ඔළුව වනමින් ප්‍රශංසා කතා අහගෙන හිටියා.
“මේක ආරක්ෂක වැඩමුළුවක් වෙලත් ඔබතුමාගෙ ආරක්ෂාව භාර ඇමැතියි, උප ඇමැතියි මේකට ඇවිත් නැත්තෙ මොකෝ නරපතිතුමනි?”
වංකගිරි දේශයේ ආරක්ෂක ඇමැත්තා වැඩමුළුව යන අතරෙ නරපතිතුමාගෙන් ප්‍රශ්න කළා.
“ආ… ගනන් ගන්න එපා. එයාලා ඔක්කොම මෙතන්ට ආවම රටේ ආරක්ෂාව බලන්නෙ කවුද? ඒ හින්ද මං එයාලව රටවැසියන්ගෙ ආරක්ෂාව බලන්න යෙදෙව්වා”
නරපතිතුමා අහක බලාගෙන උත්තර දුන්නා.
“ආ… නියමයිනේ, වංකගිරියෙත් ඒ වාගේ ක්‍රමයක් හදන්න ඕන” වංකගිරි දේශයේ ආරක්ෂක ඇමැත්තා ඩයරියේ නෝට් ඩවුන් කරගත්තා.
“හැබැයි ඉතින් මොනව හරි වැරැද්දක් වුණොත් එයාල තමයි වගකියන්න ඕන. මේක මගේම ක්‍රමයක්. ඔය ක්‍රමේ ජම්බුදීපෙ රජතුමාට හෙම දැනගන්න තියන්න එපා. උණුත් කොපි කරයි” නරපතිතුමා වංකගිරි ඇමැත්තගේ කණට කොඳුරලා කිව්වා.
එක එක රටවල ආරක්ෂක ඇමැත්තො දේශන පවත්වන්න ගත්තා. ඔය අතරෙ නරපතිතුමාට විශේෂ රාජ ආසනේම නින්ද ගියා.
වැඩමුළුව අවසානයේ පිට දේශ දේශාන්තරවලින් ඇවිත් හිටපු ආරක්ෂක ඇමැත්තො, හේවා සමග එකතු වෙලා නරපතිතුමාට සම්මානයක් ප්‍රදානය කළා.
“තම දේශයේ ජනයා සුරක්ෂිතව තබන ලොව හොඳම නරපති” ඒ සම්මානයේ රන් අකුරින් මුද්‍රණය කර තිබුණා.
“මේ සම්මානය රැගෙන ගොස් මාලිගයේ මගේ සම්මාන රාක්කයේ සුරක්ෂිතව තබනු”
නරපතිතුමා සේවකයකුට අණ කළා. ඔය අතරේ ලොන්තපෝල් රටේ ඇමැතියත් එතැනට ආවා.
“ආ… මේ ලොන්තපෝල්නේ, කොහොමද ඉතින්. මොකෝ ආශික්ලන්තෙ පැත්තෙ එන්න හිතුණේ?” නරපතිතුමා ලොන්තපෝල් ඇමැතිතුමා සාදරයෙන් පිළිගන්න ගමන් ඇහුවා.
“අපි ඉතින් ලෝකෙම ඉන්න හොරු අල්ලල දෙන උදවියෙන. ආශික්ලන්තයේ පිට දීපංකරවලට ගිහින් ඉන්න හොරු ටික අපිට අල්ලල දෙතෑකි” ලොන්තපෝල් ඇමැතියා නරපතිතුමාට එහෙම කිව්වා.
“අනේ කොච්චර දෙයක්ද? අර සිංගප්පූරුවට පැනල ඉන්න අපේ මහා භාණ්ඩාගාර හොරදෙටුවා අල්ලල දෙන්නකො” නරපතිතුමා පිටුපසින් හිටපු පුරෝහිතයා පැනලා ඇහුවා.
“ආ, මේ දවස්වල හැටියට අපිට ඕකව ඕනෙමයි” නරපතිතුමත් කිව්වා.
“ලොන්තපෝල් චරපුරුෂ සේවෙට ඕක මහ කජ්ජක්ද නරපතිතුමෝ. ඒක කරල දෙන්න ඔබතුමාගෙ රටේ දැන් අවුරුදු හතරක් තිස්සෙ අල්ලගන්න බැරිව ඉන්න හොරමුලෙන් එකෙක් හරි අල්ලල පෙන්නනවද?” ලොන්තපෝල් ඇමැතියා ඔට්ටුවක් දැම්මා.
“හී… හී… ඔට්ටුව පරදිනවා සිකුරුයි නරපතිතුමෝ. ලොන්තපෝල්ගෙ චැලේන්ජ් එක ගැන අහපු ගමන් නරපති දේවිය නරපතිතුමාට විහිළු කළා.
“ඇත්තනෙ යෝදියේ, එකෙක් ඇල්ලුවොත් අනිත් එකා තරහ වෙනවා. මුං ටික තරහ කරගෙන මං රාජ්‍යය කරගෙන යන්නෙ කොහොමද? මේ සිංහාසනේම අර හිටපු රජුයි, යුවරජායි දෙන්නම ඇහැගහගෙන ඉන්නෙ. එහෙනම් ලොන්තපෝල් අර සිංගප්පුරේ ඉන්න එකා ඔහේ හිටපුදෙන් තව ටික කාලයක්” ඒක අහපු ගමන් ලොන්තපෝල් නන්නපෝල් වෙලා යන්න ගියා.
නරපතිතුමාත් අස්ස කරත්තෙට නැඟලා රජ මාලිගාවට යන් පිටත් වුණා. නරපතිතුමා මාලිගාවට ඇතුළු වෙනකොටම ඔට්ටුපාල මග බලාගෙන මිටි ආසනේකට වෙලා ඉන්නවා නරපතිතුමා දැක්කා.
“ආ… ඔට්ටුපාල මොකෝ මූණ බෙරි කරගෙන?”
“බලන්නකො නරපතිතුමෝ. අර සෙල්ලම් ඇමැතියා මට තහනමක් පනවලානේ”
“ඒකට කොහෙමද එච්චර හයියක්?” නරපතිතුමා ඇඳුම් උණල නාන ටැංකියට බහින ගමන් ඇහුවා.
“බලන්නකො නරපතිතුමෝ මෙච්චර කාලෙකට කවුරුවත් මට නොකරපු දෙයක්නෙ. මට පිට්ටනියකටවත් බහින්න තහනම්ලු. ඔය අර යුවරජතුමාගෙ වැඩක්නෙ”
“ඒ මදිවට අපි වියදම් කරපුවත් හාර හාර හොයනවා”
“බය නැතිව ඉඳින් ඔට්ටුපාලයෝ මං ඕකට හොඳ වැඩක් කරන්නම්. මං අදිනවා මහ භාණ්ඩාගාරෙ මහ දවල් මංකොල්ලෙ මුල ඉඳලම ආයෙත්”
නහය වහගෙන වතුර ටැංකියෙ ගිලෙන ගමන් නරපතිතුමා කිව්වා.
“වහාම අර හිටපු භාණ්ඩාගාර ඇමැතියා ප්‍රශ්න කරන්න කියලා චර පුරුෂ ලොක්කට අණ කරනවා” වතුර ටැංකියෙන් ගොඩ එන අතරෙ නරපතිතුමා රාජ පුරුෂයකුට අණ කළා.
“හූ… හූ… හූ… රජ්ජුරුවො හූ…” කියලා මාලිගාව ළඟින් පෙර පාසල් යන කොල්ලො කුරුට්ටො ටිකක් හූ කියනව ඇහුන. නරපතිතුමා ඉක්මනට සළුවකින් හෙළුව වහගත්තා.