ඕනෑම කෙනෙක් ගැන හඳුනාගන්නා විවිධ ක්‍රම ශිල්ප ඉපරැණි ජ්‍යොතිෂ පොතපතෙහි සඳහන් වෙනවා. ඒ අතර අංග ලක්ෂණ විද්‍යාවට හිමිවෙන්නේ විශේෂ තැනක්. එහිදී මිනිසාගේ සිරුරේ බොහෝමයක් ශරීරාංගයන්ගේ හැඩය, ස්වභාවය, පිහිටීම වැනි කරුණු කාරණා මුල්කොටගෙන තොරතුරු හෙළිකෙරෙනවා. මෙහිදී මිනිසාගේ සිනහව අනුව ඒ ඒ අය ගැන ජීවන රහස් හෙළිකරගත හැකි අයුරු පෙන්වාදී තිබෙනවා. සිනාසෙන විට දෙකම්මුල් වළ ගැසීම, දත් පෙන්වා සිනාසීම, දත් නොපෙන්වා සිනාසීම, හඬනඟා සිනාසීම ශරීරාංග චලනය කරමින් සිනාසීම, ඉවත බලා සිනාසීම ආදී ලෙස සිනහව වර්ග කර ඒ ඒ අයගේ ගතිලක්ෂණ හඳුන්වාදී ඇත.
සිනාසෙන විට දෙකම්මුල් වළගැසීම
සිනාසෙන විට දෙකම්මුල් වළ ගැසෙයි නම් ඔහු හෝ ඇය අවංක ගතිගුණ ඇති අන් අය ගැන හිතන පරාර්ථකාමී පුද්ගලයෙකි. කෙනකුගේ සිත රිදවන්නට අකමැති නිසාම බොහෝ පාඩු සිදුකර ගනී. අනාගතය සුබ අයෙකි. ජීවිතයේ මැද භාගයෙන් පසුව බොහෝ සැප සම්පත් විඳීමේ වාසනාව ඇති මේ අය ඕනෑම තැනක සහයෝගයෙන් කටයුතු කරයි. යුග දිවියේදී සැමියාට බිරිඳට අවංකව ආදරය කරන අතර වාසනාවන්ත දරුවන් ලබයි. උත්පත්ති තත්ත්වයට වඩා බොහෝ උසස් තත්ත්වයට පත්වීමේ වාසනාව උපතින්ම රැගෙන එයි.
දත් පෙන්වා සිනාසීම
සිනාසීමේදී දත් දෙපළ පෙනෙන ලෙස සිනාසෙන අය නිහතමානී, අවංක අය ලෙස සැලකේ. නිතරම දූරදර්ශීව සිතන පතන යමක් කිරීමේදී දෙවරක් සිතන මේ අය අන් අය සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරීව කටයුතු කරයි. තමා අතින් වරදක් වෙනවාට අකැමැතිය. සුළු සිද්ධියකින් පවා කම්පාවට පත්වේ. මේ අය ධනය පසුපස හඹා නොගියද නිසිකල නිසි වේලාවට මුදල් ලැබේ. රාජ්‍ය අංශයේ රැකියා කිරීමේ වාසනාව ඇති අතර විවාහයේදී අනෙකාගේ අදහස් අගය කරයි. මේ අය වැඩිපුරම ලබන්නේ ගැහැනු දරුපලයි.
දත් පෙන්වා සිනාසීම
මෙවැනි අය තරමක් ගුප්ත චරිත හිමියන්ය. සිත තුළ ඇති දේ සඟවාගෙන වෙනත් දේ මවාපාන්නට උත්සාහ කරයි. අන් අයගේ දේවල් සොයන්නට කැමැති නැත. තමාගේ දේවල් අන් අය සොයනවාටත් කැමැති නැත. අනුකම්පාසහගත හැඟීම් නිසා පාඩු සිදුකර ගනී. නිතරම අන් අයගේ දුකේදී හිත උණුකර ගැනීම නිසා අනවශ්‍ය ආකාරයේ ප්‍රශ්න කරදරවලට මුහුණදෙයි. අනුන් යටතේ සේවය කිරීමට හෝ අනුන්ට යටත් කටයුතුවලට කැමැති නැත. ව්‍යාපාර කටයුතු ආදියත්, ගුප්ත කටයුතුත් වඩාත් හොඳින් ගැළපේ. විවාහයේදී අවංකව ආදරය කරයි. පිළිවෙළ සහ පිරිසිදුකමට මුල්තැන දෙයි.
හඬනඟා සිනාසීම
අවංක භාවය අඩුය. අන් අය ගැන නොසිතයි. කෙසේ හෝ තම අරමුණට යෑමට සිතයි. අනුන්ට සවන්දෙන බව අඟවමින් සිටියද අන් අයගේ අදහස් උදහස් ගරු නොකරයි. කෙසේ හෝ මුදල් උපයා ගන්නට සැලැසුම් කරන මේ පුද්ගලයන් වියදම් කිරීමට මැළි වෙයි. වාසියක් නොලැබේ නම් කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවන අතර යුග දිවියේදී එකිනෙකාට වංචා කරන අවස්ථා ඇත. අභියෝගවලට පසුබට නොවන නිසාම ජීවිතයේ ආර්ථිකමය ශක්තිය ගොඩනඟා ගන්නට හැකියාව ඇත්තේය.
ශරීරාංග චලනය කරමින් සිනාසීම
මෙලෙස සිනාසෙන්නන්ට ජීවිතයේ ස්ථිර අරමුණක් නොමැති වෙයි. නිතර නිතර සිතුවිලි සහ අදහස් වෙනස් කරයි. කිසිදු දෙයක වගකීමක් බාර ගන්නට සූදානම් නැත. අන් අයගේ කටයුතු වෙනුවෙන් කාලය, ශ්‍රමය අධිකව කැප කරයි. ජීවිතයේ ආර්ථිකමය පසුබිම ගැන එතරම් නොසිතයි. සමාජශීලීව කටයුතු කිරීමෙන් පිරිස් රැස් කරගන්නා මුත් කිසි දිනක කිසිවකින් තෘප්තිමත්භාවයට පත්වීමට තරම් වාසනා ගුණයක් නැත. විවාහයේදී එකිනෙකා ගැන ඇති බැඳීම සරලව පවත්වාගෙන ගියද අනෙකාගෙ අවශ්‍යතා කෙරෙහි අවබෝධයෙන් තොරව කටයුතු කරයි.
ඉවත බලා සිනාසීම
සිතෙහි ඇති දෙය සඟවාගෙන කටයුතු කරන්නන් නිතරම අන් අය ගැන සැකයෙන් බලයි. තමන්ට අයිති නැති දේවල් සම්බන්ධව මැදිහත් වෙයි. අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන්නන් බොහොමයක් මෙලෙස සිනාසෙන්නේය. සමාජශීලී නැත. රැකියාවන් කිහිපයක් කරන්නට හැකියාව ඇත. විවාහයේදී අනෙකාට ගරු නොකරයි. තමාගේ මතය පමණක් උසස් කොට සලකයි. කිසිදු අවස්ථාවක කිසිවකින් සෑහීමකට පත්නොවෙයි.
උපදෙස් – ජ්‍යොතිෂවේදී
ජයශ්‍රී නන්ද කුමාර
සටහන – කුමාර රත්නායක











