ඈත අතීතයේ පටන් වර්ණවලට, විශේෂ තැනක් හිමි විය. ජ්‍යොතිෂයේ විශේෂයෙන් දවස්වලට සුබ වර්ණ යොදා ගැනීමටද පුරාණයේ සිටි ඍෂිවරුන් දේශනා කර ග්‍රන්ථාරූඪ කර ඇත. අපි ජ්‍යොතිෂයේ එක් එක් දිනයේ නැකැත් ගන්නා විට ඒ ඒ දිනට අවශ්‍ය වර්ණ භාවිත කෙරේ. ඉරිදා දිනට රන්වන් පාටද, සඳුදා දිනට සුදු පාටද, අඟහරුවාදා දිනට රතු පාටද, බදාදා දිනට කොළ පාටද, බ්‍රහස්පතින්දා දිනට කහ පාටද, සිකුරාදා දිනට විවිධ පාටද (වෛවර්ණ), සෙනසුරාදා දිනට නිල් පැහැයද භාවිත කෙරේ. එම දිනට අධිපති ග්‍රහයාගේ වර්ණය පාවිච්චි කිරීමෙන් සුබඵල ඇති කෙරේ.
ඒ වගේම ඔබ නිතර පාවිච්චි කරන මෝටර් රථයටද, ඔබගේ කාමරයේ පාවිච්චි කරන වර්ණ තුළින්ද ඔබගේ උනන්දුව උත්සාහය වැඩි කරන අතරම කරන්නා වූ වැඩය පහසුවෙන් කරගෙන යෑමට ඉඩ සැලසෙයි.
ඔබගේ ලග්නයට අනුව වර්ණ තෝරා ගැනීමෙන් ඔබගේ අරමුණු ඉලක්ක කරා යෑමට පහසුවක් වනු නොඅනුමානය.
ඔබ මේෂ ලග්නයෙන් උපන්නේ නම්
රතු පාට, රෝස පාට, සුදු පාට, සුදුසු වෙයි. ඒ වගේම ඔබට සුබ දවස් වන්නේ අඟහරුවාදා, සෙනසුරාදා හා සිකුරාදාය. සඳුදා හා සිකුරාදා තරමක් සුබ වෙයි. අනෙක් දවස් සුබ නොවේ. වියදම වැඩි වෙයි.
ඔබ වෘෂභ ලග්නයෙන් උපන්නේ නම්
රෝස පාට හා සුදු පාට සුබ වර්ණ වන අතර, සාමාන්‍යයෙන් සුබ දවස සිකුරාදාය. ජයග්‍රාහී දිනය බදාදාය. සෙනසුරාදා ප්‍රතිඵල පමා කෙරේ. නමුත් කෙසේ හෝ සෙනසුරාදා දිනය ජයග්‍රහණය ගෙනෙනු ලබයි. අඟහරුවාදා අනවශ්‍ය වියදම් පෙන්නුම් කරයි. බ්‍රහස්පතින්දා හවුල්කරුවන්ගෙන් ලාභ ලබා දෙයි. සඳුදා දිනවල කෙටි ගමන්, ප්‍රීතිමත් ලිපි ගනුදෙනු හා ඉරිදා නිවෙසේ විවේකය ගතකිරීමට යොදා ගැනීම සුබයි.
ඔබ මිථුන ලග්නයෙන් උපන්නේ නම්
සුබ වර්ණය වනුයේ කොළ හා කහ පාට වෙයි. රතු වර්ණවලින් වළකින තරමට සුබ වෙයි. සඳුදා ආදායම වැඩි වන අතර, අඟහරුවාදා අසුබ වෙයි. බදාදා සුබ වන අතර, බ්‍රහස්පතින්දා දින ජයග්‍රාහී දිනය වශයෙන් සලකන්න. සිකුරාදා දිනය ප්‍රීතිමත් දිනයක් වුවත් ඔබගේ මුදල් වැය වෙයි. සෙනසුරාදා දින කරදර ඇති වෙයි.
ඔබ කටක ලග්නයෙන් උපන්නේ නම්
ඔබේ සුබ වර්ණය වනුයේ සුදු හා කහයි. කොළ වර්ණ අසුබ වන අතර, අඟහරුවාදා හා සිකුරාදා සුබ දින වෙයි. අප්‍රේල් හා මැයි ජය මාස වෙයි.
රැකී රක්‍ෂා හා අධ්‍යාපනය සඳහා සඳුදා දින ඉතා සුබ වෙයි.
ඔබ සිංහ ලග්නයෙන් උපන්නේ නම්
රතු, කොළ මිශ්‍ර කහ වර්ණය සුබ වෙයි. නිල් හා සුදු වර්ණ අසුබ වෙයි. ඉරිදා ඕනෑම වැඩකට උසස් නිලධාරීන් හමු වීමට විදුලි උපකරණ මිලදී ගැනීමට සුබ වෙයි. සඳුදා සුබ නොවේ. අඟහරුවාදා ඉතාම සුබ දිනයකි. දීර්ඝ ගමනක් යෑමට හා කරන විභාගවලින් ජය ගැනීමට හැකිවනු ඇත. ඔබ දුර්වල අයෙක් වුවත් අඟහරුවාදා දින ජය ගැනීමට හැකියාව යෙදේ. බදාදා වාසනාව උරගා බැලීමට සුදුසුය. සිකුරාදා කෙටි ගමන් යෙදේ. උසස්වීම්වලට සුබ වෙයි. රැවටිලිවලට, වංචාවලට හසුවන්නේ සෙනසුරාදාය.
ඔබ කන්‍යා ලග්නයෙන් උපන්නේ නම්
කොළ සහ කහ වර්ණ සුබ වෙයි. රතු සහ නිල් ලෙඩ රෝගවලට හා හදිසි අනතුරුවලට මඟ පාදයි. බදාදා වාසනාවන්ත දිනයකි. සිකුරාදා ධනය ලැබේ. අඟහරුවාදා, සෙනසුරාදා හා ඉරිදා අසුබ වෙයි. සඳුදා මිතුරන් හමුවීම හා මිතුරන් හා ගනුදෙනුවට මෙන්ම, මෝටර් රථ මිලදී ගැනීමට හා ව්‍යාපාරවලට මුදල් යෙදවීමට හා ප්‍රේම සම්බන්ධතාවලට ඉතා සුබ වෙයි.
ඔබ තුලා ලග්නයෙන් උපන්නේ නම්
ඔරේන්ජ් පාට ඉතා සුබ වෙයි. සුදු හා රතු සුබ වන අතර, විවාහයට, තරගවලට රතු පැහැය සුබ වෙයි. ඉරිදා හා සඳුදා දිනය වාසනාවන්ත වන අතර, සෙනසුරාදා දින විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙයි. අඟහරුවාදා තරගවලට හා නඩුවලට මෙන්ම ඡන්ද විමසීම්වලට සුබ වෙයි. බලාපොරොත්තු නොවූ ලාභ ලැබෙයි. සිකුරාදා මිශ්‍ර ඵල ඇති කරන අතර, බ්‍රහස්පතින්දා අසුබ වෙයි.
ඔබ වෘශ්චික ලග්නයෙන් උපන්නේ නම්
කහ හා රතු පරිහරණයට ගන්න. ඉරිදා දින උසස් අය හමුවීමට හා රැකී රක්‍ෂා සඳහා පිට වීමට සුබ වෙයි. බැංකු ගිණුමක් ඇරැඹීමට හා විවාහයට බ්‍රහස්පතින්දා සුබ වෙයි. සෙනසුරාදා ණය ගෙවීමට සුබ වන අතර, බදාදා වැදගත් ලේඛනවලට අත්සන් නොකරන්න. සිකුරාදා දින මුදල් බැඳීම් හා පොරොන්දුවලින් වළකින්න.
ඔබ ධනු ලග්නයෙන් උපන්නේ නම්
සුබ වර්ණ වනුයේ සුදු, ක්‍රීම්, කොළ, ඔරේන්ජ් හා ළා නිල් පාටයි. රතු හා මුතු වර්ණ අසුබ වෙයි. සුදු මිශ්‍ර කහ වර්ණය ආණ්ඩුවෙන් ආධාර ලබා ගැනීමට සුදුසු වෙයි. බදාදා හා සිකුරාදා ඉතාමත් වාසනාවන්ත වෙයි. බ්‍රහස්පතින්දා ජයග්‍රහණ ලබන අතර, සඳුදා කරදර, සිත්තැවුල් ඇති වෙයි. බදාදා ප්‍රසන්නභාවය හා සමෘද්ධිය ලැබෙන අතර, සෙනසුරාදා අන් අයගෙන් උදවු ලැබෙයි. සිකුරාදා දින අධික ලාභ ලැබීමට මුදල් යෙදීමට සුබ වෙයි.
ඔබ මකර ලග්නයෙන් උපන්නේ නම්
සුදු, රතු හා නිල් වාසනාවන්ත වර්ණ වන අතර, කහ හා ක්‍රීම් වර්ණවලින් වළකින්න. සුදු වාසනාවන්ත දරුවන් ලැබෙන අතර, මුදල් ලාභ සහිත වෙයි. ව්‍යාපාරවලින් නොසිතූ ලාභ ලැබෙන අතර, සිකුරාදා, අඟහරුවාදා හා සෙනසුරාදා සුබ දවස් වෙයි. බදාදා ජය ගන්නා දිනයකි. බ්‍රහස්පතින්දා හා ඉරිදා වියදම් අධික වෙයි.
ඔබ කුම්භ ලග්නයෙන් උපන්නේ නම්
කහ, රතු, සුදු හා ක්‍රීම් පාට වාසනාවන්ත වෙයි. කහ පාට ආදායම් වැඩි වීමට හා ප්‍රීතිමත් පවුල් ජීවිතයකට සුබ වෙයි. රතු පාට සතුරන්ගෙන් ජය ගැනීමට හා කීර්තියට සුබ වෙයි. බ්‍රහස්පතින්දා, සිකුරාදා, අඟහරුවාදා යන දින කුම්භ ලග්නයට ඉතාමත් සුබ වෙයි. බදාදා, ඉරිදා එතරම් සුබ නොවන අතර, මුදල් යෙදවීම අසුබ වෙයි.
ඔබ මීන ලග්නයෙන් උපන්නේ නම්
රෝස, රතු හා ඔරේන්ජ් වර්ණවලින් වළකින්න. සුදු, කොළ හා ක්‍රීම් වර්ණයෙන් සහකරුවාට සුබ වන අතර, මීන ලග්නයේ අයට මෙම වර්ණයෙන් සුබ නොවෙයි. බ්‍රහස්පතින්දා රක්‍ෂාවට හා කීර්තියට සුබ වන අතර, අඟහරුවාදා දීර්ඝ ගමන් හා මිල-මුදල් කටයුතු සඳහා සුබ වෙයි.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ











