අපේ පැරැණි නිවාස සාදා ඇත්තේ මැටි සහ දැව ආශ්‍රිතයෙනි. වත්මන්හි විවිධ මෙවලම් උපයෝගී කරගෙන ඇති බැව් පැහැදිලිය. එදාට වඩා අද සංකීර්ණ සමාජ වටපිටාව හා ක්‍රියාකරකම්වල බොහෝ වෙනස්කම් දක්නට තිබේ.
නවීන උපකරණ භාවිතය අධික ලෙස උපයෝගීකර ගැනීමේ කාලය උදාවී ඇත්තේය. අදට ගැළපෙන ආකාරයට අපි වාස්තුව හැසිරිය යුතු බැව් හොඳින් දනිමු. නිවෙස ඇතුළත කොසු, ඉදල්, රෙදි මැස්ස ආදිය යොදා ගන්නේ විවිධ දේවල් ඉවත් කිරීමටයි. ඒවා නිතර ඇස ගැසෙන සේ නොතබන්න. නාන කාමරයේ ජල කරාමය කාන්දු වන ලෙස තබන්න එපා. දිගින් දිගටම ජලය කාන්දු වීම නිසා නිවෙසේ විශ්වීය ඇතුළත ශක්තිය විනාශ වෙයි. ජලය කාන්දු වීම යනු ධන සම්පත විනාශයකි.
කසළ බාල්දි එළිපිට නොතබන්න. ඒවා පවිත්‍ර කළ යුතුයි. පිළිණු, දුගඳ මුදල් බලය හීන කරනු ඇත. මළානික මැරුණු ශාක පාත්‍ර, පැළෑටි නිවෙස තුළ තැබීම යෝග්‍ය නොවේ. පාඩු ඇති වෙයි. කුස්සිය ඉතාම පවිත්‍රව තබා ගන්න. වළං, හට්ටි – මුට්ටි හා හැඳි මෙවලම් පිරිසුදු කරන්න. අපිරිසුදු කුස්සිය නිසා මුදල් ඉපයීමේ ශක්තිය හීන වෙයි. නිදන ඇඳ නිතරම පොළොවේ සිට අඩියක්වත් ඉහළින් තිබිය යුතුයි. එවිට නිදන කාමරය පුරා ශක්තිය පැතිරේවි. වැඩිපුර ගෘහ භාණ්ඩවලින් නිදන කාමරය අහුරා තබන්න එපා. ශරීර ශක්තියත් ආදායමත් පහළ වැටේ.
බිත්ති ඔරලෝසුව ක්‍රියා විරහිත නම් වහාම අලුත්වැඩියා කරන්න. නැතිනම් මූල්‍ය තත්ත්වයට බාධා පැමිණේ.
වැසිකිළිය තුළ මනාව ආලෝක කරන්න. ඉටි පන්දම් එළියෙන් විවිධ දුර්ගන්ද මර්දනය කරයි. විෂබීජ නාශක දියර වර්ග මෙන්ම සුවඳ ධූපයන්වලින් දුම් අල්ලන්න.
නිදන කාමරයේ ජනේල දිවා කාලයේ විවෘතව තබන්න ආලෝකය ලැබීමට. දිනපතාම නිදන්නේ පිළුණු, ගඳ සහිතව නම් ඔබේ ශරීර සෞඛ්‍ය විනාශ වෙයි. ධනයද පිරිහේවි.
ඔබේ දෛනික මුදල් ගලා ඒම මන්දගාමී නම් නිවෙසේ විදුලි බුබුළුවලින් එකක්වත් රාත්‍රි පහන් වනතුරු දල්වා තබන්න. එවිට සෑම දෙයක්ම දීප්තිමත් වේවි. ඔබේ වැඩකටයුතු සාර්ථක වේවි.
නිවෙසේ සියලුම දොරවල් දිවා කාලයේ විවෘතව තබන්න. එයින් දෛනික ජීවිතයේ සම්පත් ලැබීමේ වාසනා ශක්තිය අධික වෙයි.
ඔබ නිදන විට උතුරු පැත්තට හිස දමා නිදන්න එපා. ශරීර ශක්තිය විනාශ වීමත්, ජලය අඩු වීමත් නිසා ශරීර සෞඛ්‍ය පිරිහේවි. ආයුෂද පිරිහෙනු ඇත. දොර හා ජනේල පැත්තට හිස දමා නිදන්න එපා. එය ඉතාම අසුබයි.
ජලය, දිය ඇලි, පොකුණු, ගංගාවල ලස්සන කලාත්මක චිත්‍ර බිත්තියේ එල්ලන්න. එයින් මූල්‍යමය සම්පත් ලැබීමත් කායික හා මානසිකව සුවයක් අත්වෙයි.
මකුළුදැල් නිවෙස තුළ තිබීමෙන් නිවෙසට ගලා එන විශ්ව ශක්තිය දුර්වලවී මුදල් පිරිහීම ඇති වෙයි.
ඔබ නිවෙසේ ලිපි, ලේඛන කටයුතු කරන විටදී උතුර, නැඟෙනහිර හෝ ඊශානට මුහුණ ලා වැඩකටයුතු කරන්න. දෛනික ආදායමද සරුසාර වෙයි. මේසය මත රතු මල් පොකුරක් පෝච්චියක දමා තබන්න. තිරුවාණා ගලක් මේසයේ උතුරු දිසාවේ තැබීම යහපත් වන්නේ මූල්‍ය අංශයටයි.
ඊශාන, නිරිත දිසාවේ වැසිකිළි සාදන්න එපා. ධන සම්පත් වහා ඇනහිටී.
කුස්සියේ සින්ක් එක අසල ගිනි උදුන, හොට් ප්ලේට්, ගෑස් කුකර් නොතබන්න. ජලය, ගින්දර අතර ගැටුම හරහා මිල-මුදල් වහා වැයවෙයි.
බට්ටා සහිත බිත්ති ඔරලෝසුවක් බිත්තියේ එල්ලා තැබීම සුබයි. දෛනික ආදායම වැඩිවෙයි. ව්‍යාපාරකයන්ට වඩාත් යෝග්‍ය වෙයි.
ලියන මේසයේ ලිපිගොනු උසට ගොඩනඟන්න එපා. එයින් ආදායමට පහර වදී. දියුණුව අඩු වෙයි.
මංගල දොරටුව ඉදිරිපිට නිල් පැහැති පාපිස්සක් තබන්න. පිටතින් එන අයගේ ආකර්ෂණය ඇදේවි.
ප්‍රධාන මංගල දොරටුව සමීපයේම බිතු කැටයමක් නිර්මාණය කරන්න. නිවෙසට සෑම පැත්තෙන්ම ධන සම්පත් ලැබෙනු ඇත.
ඇඳන් යට කුණු-කන්දල් ගොඩ ගසන්න එපා. එය ඉතාම නුසුදුසු දෝෂයක්ය.
ආහාර පිසින විට නැඟෙනහිර බලා ආහාර පිසින්න. වෙනත් පැතිවලින් ධනය පිරිහෙනු ඇත.
තිරුවාණා ගල් 3ක් රතු පාට කඩදාසියක ඔතා ඔබගේ ලියන මේසයේ ඊශාන පැත්තේ මැටි බඳුනක තබන්න. ධනය සම්පත් ගලා ඒවි.
සාගරය යනු විශ්වයේ මහා ධන නිධානයකි. සෞභාග්‍යයේ සලකුණයි. එවැනි රූප, චිත්‍ර බිත්තේ එල්ලා තැබීමෙන් ධන සම්පත් වර්ධනය වනු ඇත.
මුදල්, රන්, රිදී ආභරණ දේවල් අල්මාරියේ උතුර හෝ නැඟෙනහිර දෙසට මුහුණලා තැබීම සුබයි.
ජල තටාක, වැව්, පොකුණු, ගංගා, ඇළ-දොළ, දියඇලි, මුහුද, උතුර, ඊශාන හෝ නැඟෙනහිර දිසාවන්ට පිහිටීම ඉතාම සුබයි. මූල්‍ය අංශය වර්ධනය වන්නේය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











