කොරෝනා අර්බුදය මුල්කරගෙන රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට මුහුණදී සිටියදී ආණ්ඩුවට මේ දිනවල තවත් ඒ හා සමාන බරපතළ අර්බුදයකට මුහුණදීමට සිදුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ ලබන මාර්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවය. මෙම අර්බුදය එළිපිට පෙනෙන්නට නැතත් ඊට මුහුණදීම සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව ඇතුළේ විශේෂ සාකච්ඡා රැසක්ම තිරය පිටුපස පැවැත්වී ඇති බවක් ආරංචිය. ඊට ජනාධිපති ලේකම් කාර්යාලයත්, විදේශ කටයුතු අමාත්‍යාංශයත්, තානාපති අංශත්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීනුත් සහභාගිව සිටින බවක්ද දැනගන්නට තිබේ.
මානව හිමිකම් උඩට එයි: ජී.එස්.පී.ත් කොට උඩද?
මෙම සාකච්ඡාවලදී ආණ්ඩුව මුහුණදී ඇති මානව හිමිකම් ප්‍රශ්නයට අමතරව තවත් ප්‍රධාන ප්‍රශ්නයක්ද මාතෘකා වී තිබේ. ඒ යුරෝපා කොමිසම මඟින් ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනයය. කොරෝනා වෛරසය මුල්කරගෙන අනෙකුත් රටවල්වල ආර්ථිකය දරුණුවට කඩාවැටෙද්දී ලංකාව යම් තරමකින් හෝ ආර්ථික වශයෙන් ඔළුව උස්සාගෙන සිටියේ යුරෝපා කොමිසම මඟින් ලබාදී තිබූ මෙම ජී.එස්.පී. ප්ලස් සහනයට පින්සිදුවන්නටය. අර්බුදය හමුවේ වුව ලංකාවට විශාල වශයෙන් ඇනවුම් ලැබෙන්නට වූයේ ඇඟලුම් සඳහා ලබාදී තිබූ මෙම සහනය මුල්කොටගෙනය. නමුත් මේ වන විට බටහිර රටවල් ප්‍රමුඛව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින මානව හිමිකම් චෝදනා මුල්කරගෙන යුරෝපා කොමිසම මඟින් ලබාදී තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය සම්බන්ධයෙන්ද යළිත් වතාවක් සාකච්ජාවක් මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ.
තානාපතිවරු පෝලිමේ දිනේෂ් ගාවට
මේ තත්ත්වය හමුවේ පසුගිය සතියේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට බටහිර රටවල් නියෝජය කරන තානාපතිවරු හත් අටදෙනෙක්ම පැමිණ සිටියහ. එම සාකච්ඡාවලදී එම තානාපතිවරුන් ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට ලබන මාර්තු මාසයේදී යෝජනාවක් පැමිණීම වැළැක්විය නොහැකි තත්ත්වයක් මතුව ඇති බව දැනුම් දී සිටියහ. ඒ සම්බන්ධයෙන් යම් අනතුරු ඇඟවීමක්ද ඔවුහු දිනේෂ්ට සිදුකළහ. එපමණක් නොව මෙම තානාපතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මුණගැසී ඇති අතර, එහිදීද මෙම දැනුම්දීම සිදුකර ඇති බවක් ආරංචිය.
තද පණිවුඩයක් එක්ක රෝස්මරි ජනවාරියේ
මීට පෙර අප මෙම තීරුව ඔස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවැනියා ලෙස සැලකෙන නියෝජ්‍ය ලේකම් රෝස්මරී ඒ ඩිකාලෝ මහත්මිය ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා කර සිටියත් ඇයගේ එම ලංකා ගමන ජනවාරි මාසය දක්වා කල්ගොස් ඇති බවක් මේ වන විට වාර්තා වී තිබේ. ජාත්‍යන්තර මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා වන අන්තෝනියෝ ගුටරේස් හට උපදෙස් ලබාදෙන්නේ මේ කියන ඩිකාලෝ මහත්මිය විසින්ය. දේශපාලන ක්ෂේත්‍රයේ යන කසුකුසුවලින් කියැවෙන්නේ ඩිකාලෝ මහත්මියගේ ලංකා ගමන පමාකොට ඇත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් යම් ප්‍රබල පණිවුඩයක් ආණ්ඩුවට ලබාදීමේ අරමුණින් යැයි කියාය.
ජනාධිපති දිනේෂ්ට එන්න කියයි: තීන්දු 3ක් ගනී
කෙසේ වෙතත් මානව හිමිකම් සම්බන්ධයෙන් වන මෙම කථිකාව දිනෙන් දින ඉහළ යෑමත් සමඟ ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී සාකච්ඡාවට ලක්වූයේ මාර්තු මාසයේ ජිනීවාවලදී ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත මෙම යෝජනාවට නිවැරැදි අයුරින් මුහුණදෙන්නේ කෙසේද යන්නය. ඊට අමතරව එම යෝජනාව ගෙන ඒම වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක කළ යුතු යෝජනා සහ ගත යුතු යම් යම් ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා හා දිනේෂ් අතර දීර්ඝව සාකච්ඡා විය. එම සාකච්ඡාවලදී වහාම ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා තුනක් සම්බන්ධයෙන් දෙදෙනාම අවසන් එකඟතාවයකට පැමිණියහ. ඉන් පළමුවැන්න වන්නේ ලංකාවට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගයය.
දේශීය යාන්ත්‍රණයක් එයි
2009 වර්ෂයේදී යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජිනීවාහි මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනාවක් ඉදිරිපත් වූ අතර, එහිදී ඔවුන් දැඩිව කියා සිටියේ අදාළ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවිය යුතු යැයි කියාය. නමුත් මහින්ද රාජපක්ෂ රජය දිගින් දිගටම එම ජාත්‍යන්තර අධිකරණය පිහිටුවීමට විරෝධය පළ කළ අතර, ආණ්ඩුව කියා සිටියේ දේශීය යාන්ත්‍රණයක් හරහා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය හැකි යැයි කියාය. නමුත් එයද අතරමග ඇනහිටීම හේතුකොටගෙන අදාළ චෝදනා විමර්ශනය කිරීමක් සිදුවුයේ නැත.
වත්මන් ආණ්ඩුවද බලයට පත්වූයේ කිසිදු රණවිරුවකුව දංගෙඩියට නොයවන බවටත්, ඔවුන් දිවි හිමියෙන් ආරක්ෂා කරන බවටත් රටට පොරොන්දුවක් දෙමිනි. ඒ අනුව වත්මන් ආණ්ඩුවටද කිසිසේත්ම ජාත්‍යන්තර අධිකරණ යෝජනාවකට එකඟ වීමට හැකියාවක් නැත. ඒ අනුව අවසානයේදී අපට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව කියැවෙන්නේ ජනාධිපතිවරයා දේශීය යාන්ත්‍රණයක් හරහා එම චෝදනා විමර්ශනය කිරීමට එකඟතාවය පළකොට ඇති බවය. ජනාධිපතිවරයාගේ එම ස්ථාවරයට ජිනීවා කොමිසමේ ස්ථාවරය කුමක්වේදැයි යන්න කීමට තවමත් කල් වැඩි වුවත් ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපතිවරයා එම විමර්ශනය සම්බන්ධයෙන් රටට කිසියම් පණිවුඩයක් දීමට සූදානමින් සිටින බවක්ද දැනගන්නට ඇත.
පළාත් සභා මාර්තුවට කලින්
ජනාධිපතිවරයා හා දිනේෂ් අතර පැවැති සාකච්ඡාවේ දෙවනුවට කතාබහ වී ඇත්තේ උතුරු නැඟෙනහිර වාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන්ය. එහිදී දිනේෂ් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ එදා සිටම මෙම උතුරු නැඟෙනහිර ප්‍රශ්නය ජිනීවා මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහිව චෝදනාව සමඟ බරපතළ ලෙස එකට ගැටගැසී ඇති බවය. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, උතුරු නැඟෙනහිර ප්‍රදේශවලට බලතල ලබාදීම එහිදී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් බවද දිනේෂ් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. ඒ අනුව අවසානයේදී ජනාධිපතිවරයා සැලසුම් කොට ඇත්තේ මාර්තු මාසයේ ජිනීවා කොමිසම ආරම්භ වීමට පළමුව උතුරු නැඟෙනහිරද ඇතුළුව ලංකාවේම පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීමටය. ඒ හරහා උතුරු නැඟෙනහිරට දේශපාලන බලය ලබාදීමටය. ඒ ජනාධිපතිවරයා ගත් දෙවැනි තීන්දුවය.
අලුත් ව්‍යවස්ථාවකුත් එයි
තුන්වැනි තීන්දුව වන්නේ අලුත් ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා මාර්තු මාසයට කළින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමය. එම නව ව්‍යවස්ථාව සැකසීමේදී මානව හිමිකම් ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමේ වගන්ති ඊට ඇතුළත් කිරීමටත්, පුළුල් ලෙස බලය බෙදාහැරීමේ යෝජනා ඊට ඇතුළත් කිරීමටත් ආණ්ඩුව සැලැසුම් කර ඇති බවක් දැනගන්නට ඇත. මාර්තු මාසයට ප්‍රථම මේ සියලු තීන්දු ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කොමිසමට මුහුණදීම ආණ්ඩුවේ සැලැසුම වී තිබේ.
කෙසේ වෙතත් ආණ්ඩුවේ මේ සැලැස්ම සාර්ථක වනු ඇද්ද යන්න සම්බන්ධයෙන් කීමට හැකි වන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසමත්, රටේ ජනතාවත් ආණ්ඩුවේ මෙම යෝජනාවලට දක්වන ප්‍රතිචාරය මතය. මන්ද යත් ඉකුත් වතාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉදිරිපත් කළ දේශීය යාන්ත්‍රණ යෝජනාවටද ජිනීවා මානව හිමිකම් කොමිසම එකඟතාවය පළ කළේ නැත. එසේ තිබියදී වත්මන් ආණ්ඩුව එම යෝජනාවම නැවැත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාර වෙනස් වනු ඇද්ද යන්න පිළිබඳව ඇත්තේ සැකයකි. අනෙක් අතට රට ඇතුළේද ආණ්ඩුව බලයට පත්වූයේ සිංහල, බෞද්ධ ඡන්දවලිනි. එහිදී භික්ෂුන් වහන්සේලා විශාල කාර්යභාරයක් ඉටුකළහ. එවැනි තත්ත්වයක් යටතේ මෙම යෝජනාවලට ඔවුන්ද කෙසේ ප්‍රතිචාර දක්වනු ඇතිද යන්න කීමට තවමත් කල් වැඩිය.
සිරුරු ආදාහනයත් ජිනීවා යයි
මෙම ප්‍රශ්නවලට අමතරව ජිනීවාවලදී තවත් අලුත් ප්‍රශ්නයකටද මුහුණදීමට ආණ්ඩුවට සිදුව තිබේ. ඒ අන් කිසිවක් නොව කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ආණ්ඩුව ඉඩ ලබානොදීම මුල්කරගෙනය. එම ප්‍රශ්නය මේ වන විට ආණ්ඩුවට එරෙහිව කෙතරම් ඉහළට ඇවිත් තියෙනවාද කියනවා නම් මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේදී මෙම මුස්ලිම් මළ සිරුරු භූමදානය කිරීමේ ප්‍රශ්නය අංක එකේ මාතෘකාව බවට පත්වීමට ඇති ඉඩකඩද බොහෝමය. මේ වන විටත් ලංකාවේ පිළිගත් මුස්ලිම් සංවිධාන, මුස්ලිම් මන්ත්‍රිවරුන් පමණක් නොව මුස්ලිම් වෘත්තිකයන්ද ආණ්ඩුවට එරෙහිව මේ සටනට ඒකරාශි වී සිටින ආකාරයක් දැකගන්නට තිබේ. එහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ වෙනදා මෙවැනි ප්‍රශ්නයකදී මුස්ලිම් ජාතිකයන් සහ සංවිධාන පාර්ලිමේන්තුවේ සිටින ප්‍රධානම මුස්ලිම් පක්ෂ දෙක නියෝජනය කරන රවුෆ් හකීම් සහ රිෂාඞ් බදුර්දීන් පෙරමුණේ තබාගෙන කටයුතු කළත්, මෙවර මෙම සටනින් ඔවුන් දෙදෙනා සහ එම පක්ෂවල මන්ත්‍රිවරුන් ඉවත්කොට එම සටන මෙහෙයවීමට සැලසුම් කර තිබීමය. ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ ආණ්ඩුව ඉකුත්දා සම්මත කරගනු ලැබූ විසිවැනි සංශෝධනයට හකීම්ගේ සහ රිෂාඞ්ගේ මන්ත්‍රිවරුන් අත් ඉස්සූ බැවින් ඔවුන් සමස්ත මුස්ලිම් ජාතියම පාවාදීමකට ලක්කළාය කියාය. ඒ අනුව මෙවර එම මුස්ලිම් ජාතිකයන් කොරෝනා සිරුරු භූමදානය කළ යුතු බවට වූ සටන රිෂාඞ් සහ හකීම් නොමැතිව ඉදිරියට ගෙනයෑමට තීන්දු කොට තිබේ. එහි කූටප්‍රාප්තිය ලබන 12 වැනිදා ලන්ඩන් නුවර පැවැත්වීමට ඔවුන් සැලැසුම් කොට ඇත. ඒ ආණ්ඩුවේ තීන්දුවට එරෙහිව ලන්ඩන් නුවර විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීම හරහාය.
මුස්ලිම් රටවල් සන්ධානයක්
මීට අමතරව ඔවුන් තවත් විශේෂ කටයුත්තකටද අත ගසා තිබේ. ඒ, මුස්ලිම් රටවල් ලවා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව දැඩි බලපෑමක් එල්ල කිරීමටය. පසුගිය කාලවකවානුව පුරාම ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවලදී ඒවා පරාජයට පත්කිරීමට ඉදිරියට පැමිණියේ මෙම මුස්ලිම් රටවල්ය. නමුත් මෙවර කොරෝනා මුස්ලිම් සිරුරු භූමදානයට ආණ්ඩුව ඉඩ ලබා නොදීම මුල්කරගෙන එම සියලු මුස්ලිම් රටවල් ඒකාබද්ධ කොට විශාල බලවේගයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ සැලැසුම වී තිබේ. ඊට එම රටවල්වලින් දැනටමත් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවක්ද ආරංචිය.
එම්.සී.සී. අකුලගනීද
මීට අමතරව ඉකුත් යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට තරම් බලවත් වූ මාතෘකාවක්ද යළිත් වරක් ඇමෙරිකාවෙන් උඩට මතුව තිබේ. ඒ, මිලේනියම් චැලේන්ජ් සහයෝගිතාව මඟින් ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 480ක ප්‍රදානය සම්බන්ධයෙන් වූ මාතෘකාවය. ඉකුත් මැතිවරණ සමයේදී මෙම එම්.සී.සී. ගිවිසුම අස්සන් නොකරන බවට ආණ්ඩුව දැඩිව සඳහන් කර තිබුණද බලයට පත්වීමෙන් පසු ඒ පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක්ද පත්කර තිබිණ.
කෙසේ වෙතත් මෙම මිලේනියම් චැලේන්ජ් කමිටුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවක් ලබන අඟහරුවාදා (15දා) ඇමෙරිකාවේදී පැවැත්වීමට නියමිතය. මෙවර සාකච්ඡාවේදී 2021 වසර සඳහා මෙම ඩොලර් මිලියන 480ක ප්‍රදානය ලංකාවට ලබාදෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර, ප්‍රධාන කරුණු දෙකක් සලකා බලා එය අනුමත කරන බවද දැනගන්නට ඇත. එම කරුණු දෙක වන්නේ 2020 වසර තුළ ලංකාව තුළ සාධාරණ රාජ්‍ය පාලනයක් සිදුවූවාද, ලංකාවේ ආර්ථික නිදහස කවරාකාරද යන්න මුල් කරගෙනය. දැනට ඉදිරිපත් වී ඇති තොරතුරුවලට අනුව 2019 වසරේ පැවැතියාට වඩා 2020 වසරේදී එම කරුණු දෙකෙන් ලංකාව තරමක් පහළට වැටී ඇති බවක් දැනගන්නට ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන් අදාළ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවට වාර්තාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව එමඟින් ලබාදෙන වාර්තාව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ අනුමැතියට යැවිය යුතුය. ඒ අනුව 2021 වසරට මෙම ප්‍රදානය ලංකාවට ලැබීම සම්බන්ධයෙන්ද මේ වන විට ඇත්තේ තරමක අවිනිශ්චිත තත්ත්වයකි.
අමරවීර ලක්ෂ විසිපහේ අල්ලස ගත්තාද
පසුගිය සතියේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනකු මුල්කරගෙන විශාල ආන්දෝලනයක් මතුව තිබිණ. ඉන් අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් වාර්තා කර තිබූ අතර, අනෙක් සිදුවීම වාර්තා වූයේ වෙබ් අඩවිවලය.
ඉන් පළමුවැනි සිදුවීම වාර්තා වූයේ කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මුල්කරගෙනය. එහිදී දිනපතා පළවන පුවත්පත් දෙකක් අමරවීර මහතා සම්බන්ධයෙන් පුවතක් පළකරමින් කියා සිටියේ ඒ මහතාගේ අමාත්‍යාංශය මඟින් සිදුකිරීමට නියමිත ජෙල්, ෂැම්පු ෂැෂේ පැකට් තහනම නවතා ගැනීම සඳහා ප්‍රධානපෙළේ සමාගමක් රුපියල් මිලියන 25ක අල්ලසක් අමරවීර මහතාට ලබාදීමට යෝජනා කොට ඇති බවකි. සාමාන්‍යයෙන් මේ ආකාරයේ පුවතක් පළකිරීමේදී අදාළ අමාත්‍යවරයාගෙන් ඒ සම්බන්ධයෙන් විමසීම මාධ්‍ය සදාචාරය වුවත් අදාළ පුවත්පත් දෙකම අමරවීර මහතාගෙන් ඒ පිළිබඳව විමසීමක් කර තිබුණේ නැත. එමෙන්ම අදාළ පුවත පළවීමෙන් පසු අමරවීර මහතා හෝ තමන්ට මිලියන 25ක අල්ලසක් ලබාදීමට සූදානමින් සිටින බව කියමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කර නොතිබීමද විශේෂ සිදුවීමක් විය.
ඒ අනුව ‘මව්රට’ පුවත්පත මේ පුවතේ ඇත්ත නැත්ත විමසමින් අමරවීරට ඇමැතුමක් ලබාදුන්නේය. එහිදී අමරවීර මව්රටට අවධාරණය කර සිටියේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, සැෂේ පැකට් තහනම කල්දමා ගැනීම සඳහා කිසියම් සාකච්ඡාවක් පැවතුණත් කිසිදු පාර්ශ්වයක් තමන්ට එවැනි මිලියන 25ක අල්ලස් මුදලක් යෝජනා කොට නොමැති බවත්ය. තමන් මේ සම්බන්ධයෙන් අදාළ පුවත්පත් දෙකටම නිවැරැදි කිරීම් යොමුකොට ඇති බවත් අමරවීර කියා සිටියේය.
බීලා අනුරාධපුරේ ගියේ ලොහාන්ද
දෙවැනි සිදුවීම වාර්තා වූයේ පසුගිය අඟහරුවාදා දිනයේදීය. එදින ප්‍රධාන පෙළේ පුවත්පතක් සිය මුල් පිටුවේම පුවතක් පළකරමින් කියා සිටියේ ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය අමාත්‍යවරයකු බීමතින් පාන්දර 1.00ට පමණ රුවන්වැලිසෑය වන්දනා කිරීම සඳහා ගොස් ඇති බවත්, ඊට එහි සිටින ආරක්ෂක නිලධාරීන් ඉඩකඩ ලබා නොදීම මත උණුසුම් සංවාදයක් එහි මතුව ඇති බවත්ය. අමාත්‍යවරයාගේ පවුලේ උදවියද එම අවස්ථාවට සහභාගිව සිට ඇති බවත්, එම සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ රුවන්වැලිසෑයේ මහනායක හිමියන්ට පැමිණිලි කොට ඇති බවත් එම පුවතේ වැඩිදුරටත් සඳහන් විය. කෙසේ වෙතත් මෙම පුවතේ දැකගන්නට ලැබුණු විශේෂත්වය වන්නේ කිසිදු නමක් ගමක් සඳහන් නොකර රාජ්‍ය අමාත්‍යවරයකු යනුවෙන් පමණක් සඳහන් කොට පුවත සකස් කර තිබීමය.
කෙසේ වෙතත් එම පුවත්පත රාජ්‍ය අමාත්‍යවරයගේ නම සඳහන් නොකළත්, එදින දහවල් වන විට සමාජ මාධ්‍ය ජාලාවලත්, වෙබ් අඩවිවලත් එම අමාත්‍යවරයාගේ නම සඳහන්ව පුවත් පළවී තිබිණ. ඉන් කියැවී තිබුණේ මෑතකදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිවූ ලොහාන් රත්වත්ත මහතා එම සිදුවීමට සම්බන්ධ බවකි. එමෙන්ම පසුගිය බදාදා දිනයේදී හිටපු බන්ධනාගාර සහ අධිකරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරාල මහත්මියද පාර්ලිමේන්තුවේදී ලොහාන් සමඟ වාදයකට පැටලෙමින් ‘බීලා එහෙම අනුරාධපුර පැත්තෙ යන්න එපා’ යනුවෙන් කියා සිටියාය. ඒ අනුව මව්රට පුවත්පත අමරවීර මහතාගෙන් විමසා සිටි ආකාරයටම ලොහාන් රත්වත්තේ මහතාගෙන්ද මේ පිළිබඳව විමසා සිටීමට පියවර ගත්තේය. වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා කුමක් සඳහන් කර තිබුණද තමන් සම්බන්ධයෙන් එවැන්නක් සිදුව නැති බව ලොහාන් මව්රටට කියා සිටියේය.
ප්‍රියංකර දාගත් නඩුව
තුන්වැනි සිදුවීම වාර්තා වූයේ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා මුල්කරගෙනය. බදාදා දිනයේදී කම්කරු හා විදේශ සබඳතා අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාව පැවැති බැවින් අඟහරුවාදා දිනයේදී ප්‍රියංකර කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරතව සිටියේය. ඒ නාරාහේන්පිට පිහිටි කම්කරු ගොඩනැඟිල්ලේ 7 වැනි මහලේදීය. ඊට අමාත්‍යාංශ ලේකම්වරයාද සහභාගිව සිටියේය. කෙසේ වෙතත් විනාඩි කිහිපයක් යද්දී මෙම සාකච්ඡාව උණුසුම් වන ආකාරයක් දැකගන්නට ලැබුණු අතර දෙපැත්තට විවිධ වචන හුවමාරු වන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
“උස්සල පොළොව ගහනවා”, “මගේ වැඩ ඔක්කොම බකල් කරනවා”, “මම අමාත්‍යාංශයට ආපු දවසෙ ඉඳල මට කෙළිනවා”, “මම දන්නව මේවට නියෝග එන්නෙ කාගෙන්ද කියලා” යනාදී වචන මෙහිදී හුවමාරු වන ආකාරයක්ද දැකගන්නට ලැබිණ. ඒ අනුව සාකච්ඡාව අවසන් තීන්දුවක් නොගෙනම අතරමගදී නවතා දැමූ බවක්ද ආරංචිය.
මහින්දගේ ෂැංග්‍රිලා ඩිනර් එකට 158ක්
අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය අඟහරුවාදා දිනයේදී ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ට රාත්‍රි භෝජන සංග්‍රහයක් ලබාදීමට පියවර ගත්තේය. ඒ කොළඹ තරු පන්තියේ හෝටලයක් වන ෂැංග්‍රිලා හෝටලයේදීය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් 150 දෙනාට අමතරව ඉකුත් 20 වැනි සංශෝධනයේදී ආණ්ඩුව වෙනුවෙන් අත් ඉස්සූ රිෂාඞ්ගේ සහ හකීම්ගේ මන්ත්‍රිවරුන්ටද මහින්ද ඊට ආරාධනා කොට තිබීමය. ඒ අනුව අඟහරුවාදා 8.00 පමණ වන විට මන්ත්‍රිවරුන් 158 දෙනකු මහින්දගේ මෙම රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගිව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.
සියල්ලන්ම පුදුම කරමින් ආ අමුත්තා
කෙසේ වෙතත් හරියටම රාත්‍රි 8.30ට සියල්ලන්ම පුදුමයට පත්කරමින් එක්තරා විශේෂ අමුත්තකු රාත්‍රී භෝජන සංග්‍රහය පැවැති ශාලාවට ඇතුළු වන ආකාරයක් දැකගත හැකි විය. ඒ වෙන කවුරුත් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. ජනාධිපතිවරයා ඊට සහභාගි වන බවක් කිසිවකුටත් දැනුම්දී නොතිබුණු පසුබිමක් යටතේ හදිසියේම ඊට ජනාධිපතිවරයා සහභාගි වීම සියල්ලන්ම පුදුමයට පත්කළ කාරණාවට හේතු විය. නමුත් මහින්ද මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වන ලෙසට ජනාධිපතිවරයාට විශේෂ ආරාධනාවක් කර තිබූ බවක් එහි සිටි කිසිවකුත් දැන සිටියේ නැත.
ජනාධිපතිවරයා රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණ එහි සිටි සියලුම මන්ත්‍රිවරුන් සමඟ ඉතා සුහදශීලීව කතා කරන ආකාරයක් දැකගත හැකි විය. එහිදී ඇතැම් මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා සමීපයට පැමිණ කතාබහ කළ අතර ඇතැම් අවස්ථාවලදී ජනාධිපතිවරයා මැතිඇමැතිවරුන් සිටි මේසවලට ගොස් ඔවුන් සමඟ කතාබස් කරන ආකාරයක් දැකගත හැකි විය. මහින්ද එදින දහවල් වරුවේ මන්නාරමේ පැවැති සුළං විදුලි බලාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී යළි කොළඹ බලා පැමිණ සිටි බැවින් මහින්ද හිටියේ හොඳටම තෙහෙට්ටුවට පත්වය. ඒ අනුව සියලුම මැති ඇමැතිවරුන් මහින්ද ළඟට පැමිණ කතාබහ කරද්දී මහින්ද ඒ සම්බන්ධයෙන්ද කිහිප වතාවක්ම මැති ඇමැතිවරුන් දැනුවත් කරන ආකාරයක් දැකගත හැකි විය.
එහිදී සුපිරි ඝනයේ ආහාරපාන ආදියෙන් සහ ඉහළම මධුවිතින් උත්සවය රසවත්ව තිබුණු අතර ජනාධිපතිවරයාද උත්සවයෙන් නික්ම ගියේ රාත්‍රී ආහාරයද මැති ඇමැතිවරුන් සමඟ ගැනීමෙන් අනතුරුවය.
ආණ්ඩුවයි-විපක්ෂයයි එක් කළ කුණුහරුප
පාර්ලිමේන්තුවේ සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කිසියම් කරුණකට සම්පූර්ණ එකඟතාවය පළ කරන්නේ බොහෝ කලාතුරකින්ය. හැමවිටම පාහේ සිදුවන්නේ ආණ්ඩු පක්ෂය කියන දේට විපක්ෂය විරුද්ධ වීමත්, විපක්ෂය කියන දේට ආණ්ඩු පක්ෂය විරුද්ධ වීමත්ය. නමුත් කලාතුරකින් සිදුවන දෙපැත්තම සම්පූර්ණ එකඟතාවය පළ කළ සිදුවීමක් පසුගිය සඳුදා දැකගන්නට ලැබිණ. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදීය.
මෙහිදී සාමාන්‍ය කරුණු සම්බන්ධයෙන් කතා කිරීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කතා කළ ජොන්ස්ටන් ප්‍රනන්දු, දිනේෂ් ගුණවර්ධන ඇතුළු කණ්ඩායම කතානායකගේ අවධානයට යොමුකළේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සභා ගැබ තුළදී ප්‍රසිද්ධියේ භාවිතා කරන වචන පිළිබඳවය. ආණ්ඩු පක්ෂය පැත්තේ චෝදනාව එල්ල වූයේ ප්‍රධාන වශයෙන් විපක්ෂය එවැනි අසභ්‍ය වචන භාවිතා කරමින් පාර්ලිමේන්තුව හෑල්ලු කරන බවය. විශේෂයෙන්ම ඔවුන් පෙන්වා දී සිටියේ රන්ජන් රාමනායක මහතා කතානායකවරයාට ලොක්කා, ලොකු මහත්තයා වැනි වචන කියමින් කතානායක ධුරය පවා හෑල්ලුවට ලක්කරනවා යැයි කියාය. විමල්ද මෙහිදී කතා කරමින් කියා සිටියේ මාධ්‍ය පවා මේවා සජීවීව විකාශය කරන බවකි.
දෙපැත්තටම චෝදනා
මේ ආකාරයට ආණ්ඩුව විපක්ෂයට චෝදනා එල්ල කිරීමත් සමඟ විපක්ෂය නියෝජනය කරමින් පැමිණ සිටි ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර දිසානායක වැනි මන්ත්‍රිවරුන් ආණ්ඩු පක්ෂයද මීට වඩා සැර පරුෂ වචන භාවිතා කරමින් පාර්ලිමේන්තුවේ හැසිරෙන බව පෙන්වා දුන්හ.
දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ මෙම අදහස්වලින් අනතුරුව කතානායක මහින්ද යාපා කියා සිටියේ මේ තත්ත්වය වහාම නැවැත්විය යුතු යැයි කියාය. ඒ අනුව තමන් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් බවද, එය දෙපාර්ශ්වයේම එකඟතාව මත සම්මත කළ යුතු බවද කතානායකවරයා කියා සිටියේය. ඒ අනුව පක්ෂ නායකයන්ද කියා සිටියේ කතානායකවරයා එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් නැඟිට එම යෝජනාව සම්මත කිරීමට කටයුතු කරන බවකි.
රනිල්ගේ පාරේ නොගිය සජිත්
ඉන් අනතුරුව ලබන වසරේ පාර්ලිමේන්තුව ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් අතර කතාබහක් මතුවිය. එහිදී විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් කෙළින්ම කියා සිටියේ ජනවාරි පළමුවැනි සතියේදීම නව පාර්ලිමේන්තු රැස්වීමද පැවැත්විය යුතු යැයි කියාය. සාමාන්‍යයෙන් ඉකුත් වසර කිහිපයේදීම නව වසරේදී පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූයේ තුන්වැනි සතියේදීය. ඒ, නත්තල් නිවාඩුව සහ අලුත් අවුරුදු නිවාඩුව සති කිහිපයක්ම ගැනීමට මැති ඇමැතිවරුන් බොහෝදෙනකු විදෙස්ගත වීම නිසාය. ඉකුත් කාලසීමාවේදී බොහෝ විට නව පාර්ලිමේන්තු රැස්වීම තුන්වැනි සතියේදී පැවැත්විය යුතු බවට යෝජනා කරන්නේද එවකට අගමැතිවරයා වශයෙන් හෝ විපක්ෂ නායකවරයා වශයෙන් සිටින රනිල් වික්‍රමසිංහ මහතාය.
නමුත් මෙවර විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් පක්ෂ නායක රැස්වීමේදී අවධාරණය කර සිටියේ අනෙක් සියලු දෙනාම අලුත් අවුරුද්දේ රාජකාරි ආරම්භ කරන බැවින් පාර්ලිමේන්තුවද පළමු සතිය ඇතුළතදීම රාජකාරි ආරම්භ කළ යුතු යැයි කියාය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ නව පාර්ලිමේන්තුව ජනවාරි 05 වැනි දිනට යෙදෙන අඟහරුවාදා දින පැවැත්වීමටය.
ආණ්ඩුව යළි බෙදපු උපයෝගීතා කොමිසම
පසුගිය සතියේ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට යොමු කොට තිබූ ලිපිය මහත් ආන්දෝලනයට තුඩුදී තිබූ ආකාරයක් දැකගන්නට තිබිණ. විශේෂයෙන්ම විපක්ෂය මෙය ප්‍රශ්න කිරීමටත් පෙර ආණ්ඩුව ඇතුළේම සිටින ප්‍රබල පෙළේ මැතිඇමැතිවරුන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටීම මෙම ආන්දෝලනයට හේතුවී තිබිණ. එක්තරා ආකාරයකට මෙම ලිපිය ආණ්ඩුව ඇතුළේ බෙදීමක් ඇතිකිරීමටද සමත්ව තිබූ ආකාරයක්ද පෙනී ගියේ ප්‍රසිද්ධියේම ඊට එරෙහිව මැති ඇමැතිවරුන් අදහස් දැක්වීමට යෑම නිසාය.
වාසු මහින්දට යවපු ලියුම
මෙහිදී පළමුවෙන්ම පී.බී.ගේ මෙම ලිපිය විවේචනය කරමින් අදහස් දැක්වීමට කටයුතු කර තිබුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාරය. එහිදී අගමැතිවරයාට ප්‍රසිද්ධියේම ලිපියක් ලියමින් වාසු සඳහන් කර තිබුණේ මහජන උපයෝගිතා කොමිසම මුදල් අමාත්‍යවරයා වශයෙන් මහින්ද යටතේ පවතින්නක් බැවින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් හරහා එය අහෝසි කිරීමට නොහැකි බවකි. ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගතයුත්තේ අගමැතිවරයාම විසින්ම බවත්, ජනාධිපති කාර්යාලය විසින් අදාළ කොමිසම සම්බන්ධයෙන් තීන්දු ගත නොහැකි බවත් වාසු මහින්දට එවූ එම ලිපියේ සඳහන්ව තිබේ.
ඩලස් දන්නෙවත් නෑ
ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කටයුතු කළේ මහජන උපයෝගිතා කොමිසම භාරව සිටින අමාත්‍යවරයා වන විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඩලස් කියා සිටියේ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදැන සිටි බවකි. පී.බී. ජයසුන්දර මහතා විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට අදාළ ලිපිය යොමුකර ඇත්තේ තමන් සමඟ සාකච්ඡා කර හෝ තමන් නොදැනුවත්ව බවද ඩලස් එහිදී කියා සිටියේය. කෙසේ වෙතත් යම් නියාමනයක් මහජන උපයෝගිතා කොමිසම සම්බන්ධයෙන් තිබිය යුතු බව මෙහිදී කියා සිටි ඩලස් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බවද කියා සිටියේය.
බන්දුලගෙන් දැඩි ප්‍රහාරයක්
මීට අමතරව නම්, ගම් නොකියා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් එල්ලකිරීමට පියවර ගත්තේය. එහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් බන්දුල කියා සිටියේ සර්වබලධාරී නිලධාරීන් විසින් කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ආයතන ඔවුනටද නොදන්වා ගලවා දමන බවකි. ඒ හරහා කැබිනට් ඇමැතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට ඇදදමා ඇති බවද බන්දුල කියා සිටියේය. ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් බලයට අභියෝග කරමින් සර්වබලධාරී ලෙස කටයුතු කරන නිලධාරීන් සම්බන්ධයෙන් තමන් වෙළෙඳ අමාත්‍ය වැය ශීර්ෂයේදී විවේචනාත්මකව කතා කිරීම නිසා ආණ්ඩුවේ පත්තරවලින්ම තමන්ට කාටුන් ඇඳ පහර ගසා ඇති බවද බන්දුල කියා සිටියේය. මහජන බදු මුදල්වලින් පවත්වාගෙන යන ආණ්ඩුවේ මාධ්‍ය ආයතනයක පළවන පුවත්පතක තමාගේ කතාවට ඉඩ ලබාදෙනවා වෙනුවට ජාවාරම්කරුවකු වෙළෙඳ ඇමැතිට පිත්තකින් පහර දෙන ආකාරය ඇඳ ඇති බවද බන්දුල අනාවරණය කර සිටියේය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව මුදල් පිළිබඳව සම්පූර්ණ බලය තියෙන්නේ මේ ආණ්ඩුවට. ඊට ඉහළින් කවුරුහරි තමන්ට අභිමත පරිදි මේ පාර්ලිමේන්තුව හසුරුවන්නට යනව නම්, ඇමැතිවරු හසුරුවන්නට යනව නම්, අමාත්‍යාංශවල තියෙන්න ඕනෙ මොන ආයතනද, ගලවන්නට ඕනෙ මොන ආයතනද යන්න තීන්දු කිරීමට යනවා නම් එවැනි වූ බලයක් ඇති සර්වබලධාරීන් පිළිබඳව මේ සභාවේදී හෙළිකළ යුතුයි. ඒක මේ පාර්ලිමේන්තුවට තියෙන අයිතියක්. අපි ඒක කරනවා. අද ඇමැතිවරුන් රබර් සීල් බවට පත්කරලා…” යනුවෙන්ද එහිදී බන්දුල දැඩිව කියා සිටියේය.
උණුසුම කැබිනට්ටුවටත් එයි
මේ අතරවාරයේ එම මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්නට යෑම පිළිබඳව පසුගිය සඳුදා පැවැති කැබිනට් රැස්වීමේදීද සාකච්ඡාවට ලක්විය. මෙවරද කැබිනට් මණ්ඩලය රැස්වූයේ පසුගිය වතාවේ රැස්වූ ආකාරයටම සූම් තාක්ෂණය අනුවය. ඉකුත් වතාවේදී සාකච්ඡාව අතර මැදදී යම් යම් තාක්ෂණික ගැටලු මතුවීම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඒ සඳහා කල්තියාම සූදානම්ව සිටි බවක් දැකගන්නට ලැබිණ.
මෙහිදී සාකච්ඡාවේ වැඩි ඉඩක් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන්ද යොමුව තිබීම විශේෂ සිදුවීමක් විය. විශේෂයෙන්ම වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් මෙහිදී කැබිනට් මණ්ඩලයට පෙන්වා දුන්නේ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවකි. එහිදී බොහෝ ඇමැතිවරුන් කියා සිටියේ විදුලිබල අමාත්‍යාංශයේ ඉන්ජිනේරුවන් විසින් ඉදිරිපත් කරන අදහස්වලටම සවන් නොදී අනෙක් පාර්ශ්වයන්ටද සවන් දී මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බවකි.
ලියුමකින් කරන්න බෑ
පෙළක් ඇමැතිවරුන් පෙන්වා දුන්නේ මහජන උපයෝගිතා කොමිසම පනතක් මඟින් පාර්ලිමේන්තුවේ සම්මත කළ එකක් නිසා එය පනතක් මඟින්ම අහෝසි කළ යුතු බවත්, මේ ආකාරයට ජනාධිපති ලේකම්වරයා විසින් ලිපියක් යොමුකිරීම හරහා එය සිදුකළ නොහැකි බවත්ය. මේ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් උදය ගම්මන්පිල මහතාද පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී රටට දැනුම්දී සිටියේය.
කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුවද අවසන් තීන්දුවක් ගැනීමක් සිදුවූයේ නැත.
මීට අමතරව කැබිනට් මණ්ඩලයේදී රටේ ජීවන වියදම ගැනද අවස්ථා කිහිපයකදීම ඇමතිවරුන්ගේ අවධානය යොමු විය.
බඩු මිල ප්‍රශ්නෙත් එයි
වෙළෙඳ ඇමති බන්දුල ඇමති මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ ජීවන වියදම් කමිටු තීරණ ගැනය. එහිදී එළඹි තීරණ 05 ක් ඔහු ඇමතිවරුන්ගේ අවධානයට ලක් කර තිබිනි.
‘අපි මේ කියපු මිල ගණන් වෙළෙඳපොළේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හැම මාසෙකම මුල් සදුදා ජීවන වියදම් කමිටු රැස්වෙමු’ බන්දුල යෝජනා කළේය.
මේ අතර රටේ පොල් මිල වැඩි බවටද ඇමති මණ්ඩලයේ අවධානයට යොමුවිය. එය කිවේ ඇමති වාසුදේව නානායක්කාරය. ඒ කර්මාන්ත ඇමති විමල් වීරවංශ ඉදිරිපත් කළ පොල් කර්මාන්තය දියුණු කිරීම හා දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් මුහුණ පා තිබෙන ගැටලු පිළිබඳ විසදුම් ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කරන අතරතුරය.
‘මේ රටේ මිනිස්සුන්ට පොල් සාධාරණ මිලකට දෙන්න නම් පොල් හිඟ කාලෙට අපනයනය නවත්වන්න ඕනෑ’ වාසු කීිවේය.
‘එතකොට ඒ වෙළෙඳපොළ නැතිවෙනවා. අපේ අය හරි අමාරුවෙන් ඔය ව්‍යාපාරේ රැඳිලා ඉන්නේ’ බන්දුල කීිවේය.
‘දැන් පොල්වල මිල 80යි 90යි. ඒකනේ ප්‍රශ්නේ. මේ රටේ දුප්පත් මිනිස්සුන්ට අමාරුයි’ වාසු කියද්දී ‘මේ අවුරුද්දේ පොල් මිල වැඩි වුණේ මාර්තු, අප්‍රියෙල් මාසයෙදී දේශීය පොල් පොල්තෙල් කර්මාන්තයට යොදාගත්ත හින්දා. ලංකාවේ පොල් නිෂ්පාදන අපනයනයෙන් තේවලට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. අපි වගාකරුවයි, අපනයනකරුවයි, පාරිභෝගිකයයි තුන් ගොල්ලම ආරක්ෂා කර ගන්න ඕනෑ’ යැයි රමේෂ් පැහැදිලි කළේය.
‘අනික මේ රටේ පොල් නිෂ්පාදනය වැඩි වෙලා නෑ…. 1970 ත් මේ රටේ පොල් නිෂ්පාදනය මිලියන 03 යි. අදත් ඒ ගානමයි. පොල් ගස් කපන එකත් මේ ප්‍රශ්නයට හේතුවක්. අපි දැන් යෝජනාවක් ගේන්න හදන්නේ පොල් ගස් කපන එක නවත්වන්න’ රමේෂ් පැහැදිලි කළේය.
‘එක හොඳයි. අනික නැවත පොල් වගාව අපි දියුණු කරන්න ඕනෑ. ඒකට පොල් පැළ සිටුවීම සදහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න’ ජනාධිපතිවරයා කිවේය.
ජනාධිපති සභානායකවරයාට ගෙනා යෝජනාව
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය සතියේ ජනාධිපතිවරයා සභානායකවරයා සමඟ මහජන උපයෝගිතා කොමිසම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී ජනාධිපතිවරයා සභානායකවරයාට දැනුම් දී සිටියේ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් එම තනතුරුවලින් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් ඔවුන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසය. එහිදී සභානායකවරයා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී යම් හෙයකින් විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලුවහොත් එය ලබාදීමට ආණ්ඩු පක්ෂයට සිදුවනවා යැයි කියාය. එම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කළ යුතු බවද එහිදී සභානායකවරයා ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය කල්තියාම ආරංචි වීමෙන්දෝ ඉකුත් බදාදා දිනයේදී මහජන උපයෝගිතා කොමිසම නියෝජන කරන සාමාජිකයන් පස්දෙනා වූ සභාපති මහාචාර්ය කිත්සිරි ලියනගේ, නියෝජ්‍ය සභාපති චන්ද්‍රා ඒකනායක, මහාචාර්ය කපිල පෙරේරා, මහාචාර්ය නිෂාන් ද මෙල් සහ සඳුන් ගමගේ යන සාමාජිකයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යැවීමට පියවර ගෙන තිබිණ.
මේ තත්ත්වය යටතේ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරනු ඇති බවට බොහෝ දෙනා සිතා සිටියත් බදාදා සවස වන විට වාර්තා වී තිබුණේ එම කොමිසම අහෝසි නොකරන බවත්, නව සාමාජිකයන් පස්දෙනකු නම්කොට තවදුරටත් එම කොමිසම පවත්වාගෙන යෑමට ආණ්ඩුව තීන්දු කර ඇති බවත්ය.
අරලියගහ මැදුරේ ලොක්ඩවුන් ඉවරයි
අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කර ඇති බවට පළවූ පුවත මුල්කරගෙන මහත් ආන්දෝලයක් මතුවීමේ සිදුවීම පසුගිය සති දෙකේම රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප අනාවරණය කර සිටියෙමු. එම ආන්දෝලනයට මුල්වූයේ අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කර නොමැති බවට අග්‍රාමාත්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කර ඇති බවට බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයත්ය. එහිදී අවශ්‍ය නම් අරලියගහ මන්දිරයට ඡායාරූප ශිල්පීන් යවමින් එය තහවුරු කරගත හැකි බවද බැසිල් සඳහන් කර සිටියේය.
බැසිල් කරන්න යන අලුත් වැඩේ
කෙසේ වෙතත් පසුගිය සතියේ අරලියගහ මන්දිරය නැවැතත් සාමාන්‍ය රාජකාරි සඳහා විවෘත කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ බව හොඳින්ම තහවුරු වූයේ පසුගිය සඳුදා (7දා) දිනයේදී බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වීම හරහාය. අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කිරීමෙන් අනතුරුව බැසිල් ඊට ඇතුළු වූ පළමු අවස්ථාවද එය වී තිබිණ.
මීට අමතරව අය වැය ගමට ගෙනයෑම අරමුණු කරගෙන බැසිල් ලබන 12 වැනිදා දකුණු පළාතේ ගාල්ලෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමටද නියමිතය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනෙක් ගමට නොඑන බවට ලැබී ඇති පැමිණීලි මුල්කරගෙන බැසිල් මෙවර අය වැය ගමට ගෙන යෑමට තීරණය කර ඇත්තේ පළාත් පාලන මන්ත්‍රිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් මුල්කරගෙනය. එසේ 12 වැනිදා ගාල්ලෙන් ආරම්භ වන මෙම අය වැය ගමට ගෙනයෑමේ වැඩසටහන 21 වැනිදා බස්නාහිර පළාතේ කළුතරින් අවසන් කිරීමටද බැසිල් සැලැසුම් සකස් කර ඇත.
සජිතුත් බදුල්ලෙන් යළි ගමට බහී
මේ ආකාරයට බැසිල් අය වැයත් සමඟ ගමට බසිද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අය වැය විවාදය අවසන් වීමෙන් පසු නැවැත වතාවක් ගම් මට්ටමින් රට වටා යෑමේ මෙහෙයුම ආරම්භ කිරීමට සැලැසුම් සකස්කොට ඇත. මෙවර සජිත් සැලැසුම් කර ඇත්තේ දිස්ත්‍රික් මට්ටමින් පමණක් නොව ග්‍රාමසේවා මට්ටමින්ම ගමට යෑමටය. එහි පළමු පියවර ලබන 19 වැනිදා බදුල්ලෙන් ආරම්භ කිරීමටද සජිත් සැලැසුම් කර තිබේ.
කපිල පුංචිමාන්නගේ