යුධ සමයේ උඳුවප් සීතල මකා දමමින් උතුරත් දකුණත් එක ලෙස උණුසුම් ලෙයින් තෙත් කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය කටයුතු කරන්නේ නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා අතර කාලය තුළදීය. නොවැම්බර් මාසය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහවිරුවන් සමරන මාසයයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදෙන්නේ නොවැම්බර් 26 වැනිදාට. ප්‍රභාකරන්ගේ උපන්දිනයදා එවක ප්‍රභාකරන් උපන් දින කේක් කපන්නේ දකුණේ ජනතාව සිය දහස් ගණනගේ ජීවිත බිලි ගනිමිනි. සිය නායකයාගේ උපන්දිනය වෙනුවෙන් දකුණේ සිංහල ජනතාවගේ දුක් අඳෝනාව සුභ පැතුම් ගීතයක් ලෙස ප්‍රභාකරන්ට ත්‍යාග කිරීමට එවක එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කටයුතු කරනු ලැබුවේ මහවිරු සැමරුම හා ප්‍රභාකරන්ගේ උපන්දිනය එකම කාලයක සැමරීම සිදුකළ බැවිනි. ඊළාම් සිහිනය කරපින්නාගෙන සිටි කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය හා කොටි සංවිධානයේ පළමු සාමාජිකයා මියගිය දිනයත් සමරා කොටි සංවිධානය මහවිරු සතිය නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා සැමරීම කොටි සංවිධානයේ එකල සිරිත විණ. 1982 වසරේ නොවැම්බර් 27 වැනිදා ජීවිතක්ෂයට පත්වූ ලුතිනන් සංකර් නමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයා මියයෑම සිහි කරමින් 1989 වසරේ නොවැම්බර් 27 වැනිදා සැමරුම් වැඩසටහනක් පවත්වමින් මහවිරු සැමරීම ආරම්භ කොට තිබිණ.
1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් නිත්තකේයිකුලම ප්‍රදේශයේදී පළමු මහවිරු සැමරුම එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව එවක ඉතිහාසය දන්නා දෙමළ ජනතාව පවසති.
නොවැම්බර් 27 වැනිදා සවස කොටි සංවිධානයේ සිට මිය ගිය තම ඥාතීන් සිහිකරමින් ඔවුන්ගේ මාපියන් ඥාතීහු එදා ඉදිකරන ලද මහවිරු සොහොන් සමීපයේ හිඳ එදින රාත්‍රිය වනතුර හඬාවැළපෙන අතරතුර කොටි නායකයා එම ජනතාව අමතමින් කියා සිටියේ ලබන වසරේ මහවිරු දිනය වන විට ඊළාම් දේශයක් ගොඩ නඟන බවකි.
එකල කිලිනොච්චිය කනකපුරම්, මුලතිව් මුල්ලියාවලෙයි, වවුනියාව ඊච්චන්කුලම, යාපනය කෝපායි, මන්නාරම වෙඩිතලතිව් ආදි ප්‍රධාන මහවිරු සොහොන් කේන්ද්‍ර කර ගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් මියගිය පිරිස් සැමරීමට දෙමළ ජනතාව කටයුතු කරනු ලැබීය.
නොවැම්බර් 27 වැනිදාට මහවිරු සොහොන් වෙත පැමිණෙන ජනතාව වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංගීත ඒකකය සකස් කළ මහවිරු ගීත ප්‍රචාරය කරනු ලබයි. නොවැම්බර් 27 වැනිදා සවස 6.05ට සෑම මහවිරු සොහොනක් තුළම පහන් දැල්වීම ආරම්භ කෙරිණ.
පහන් දැල්වීමෙන් අනතුරුව ප්‍රභාකරන් විසින් කොටි හඬ ගුවන් විදුලිය හරහා සිය මහවිරු දේශනය පවත්වනු ලැබිණ. ප්‍රභාකරන් එහිදී පවසන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් ඊළාම් දේශය ලබාදීමට කටයුතු කරන බවය.
ඊළාම් දේශය වෙනුවෙන් දිවිදුන් මහවිරුවන් දෙමළ ජනතාවගේ වීරයන් වන බවද ප්‍රභාකරන් එහිදී පැවසූ බව අතීතය සාක්ෂි දරයි.
උතුර වෙළාගත් ඒ ඊළාම් සිහිනය සිහිනයක්ම වෙමින් වැගිරූ ලේ ගංගාවන්හි ශාපයෙන්ම කොටි නායකයාගේ අවසානයත් සමඟ සියල්ලක්ම අවසන් විය.
2009 වසරේ මැයි 19 වැනිදායින් පසුව කොටි සංවිධාන කතාවන් තුරන් වී යන්නට පටන් ගත්තේය.
එදා මියගිය මහවිරුවන් සැමරූ සොහොන් සියල්ලක්ම ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේ එම ජනතාවගේ හිතේ ඇති වූ යුද මානසිකත්වය මකා දමන්නටය. එය යහපත් ක්‍රියාවක් බව බොහෝ දෙනෙකුගේ මතය විය.
නමුත් යුද්ධය අවසන් වී වසර 10ක් ගත වන විට අළු යට තිබූ ගිනි පුපුරු හිස එසවීමට පියවර ගන්නා අයුරු පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබිණි. උතුරු පළාත් සභාව මගින් මහවිරු සැමරුම ජාතික ශෝක දිනයක් වශයෙන් පත් කිරීමටද උත්සාහ ගත් අයුරු කැපී පෙනුණේය.
2019 වසරේද මහ ඉහළින් මහවිරු සමරන්න ඇඟිලි ගනිමින් සිටි කොටි හෙවණැලි වෙතට ගැසූ හෙණ පහරක් සේ ආණ්ඩු පෙරළිය බාධකයක් විණි. ප්‍රසිද්ධියේ මහවිරුවන් සමරපු කොටි හෙවණැලි සැඟව ගියේය. උතුර පුරාම මහවිරු සැමරුම් සංවිධානය කර තිබුණද එය එක්තරා මියගිය පිරිසක් සිහිපත් කිරීමක් පමණක්ම විය. ඊට හොඳම නිදසුන සැපවූයේ යාපනය විශ්වවිද්‍යාලයෙනි. සෑම වසරකම කොටි නායකයාගේ උපන්දිනය වෙනුවෙන් නොවැම්බර් 26 වැනිදාට සරසවිය තුළ කේක් කැපීම අනිවාර්ය වී තිබිණි.
මෙවර ආණ්ඩු පෙරළියත් සමඟ විශ්වවිද්‍යාල පාලනාධිකාරියද පළමු වතාවට වෙනස් තීරණයක් ගත්තේය. ඒ සියලු සරසවි සිසුන් විමතියට පත් කරමිනි. පළමු වතාවට යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ කිසිදු මහවිරු සැමරුමක් සිදු නොකරන ලෙසටත් එසේ මහවිරු සැමරුම් කරනු ලබන සිසුන්ට විනයානුකූල පියවර ගන්නා බවට දුන් නියෝගයත් සමඟය.
එම නියෝගය යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයට මෙන්ම සියලු කාර්ය මණ්ඩලයටන්ට දැනුම් දෙනු ලැබීමෙන් පසුව කොටි අවතාරත් සමඟ සෙල්ලම් කරමින් සිටි සිසුන්ට එය හෙණ පහරක් සේ විය. නමුත් එම සිසුන් සෑම වසරකම මෙන් මෙවර ද සරසවිය තුළ හොර රහසේ කොටි නායකයාගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපීය.
මෙවර උතුරු පළාතේ පිහිටි යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි මහවිරු සැමරුම් සංවිධානය වී තිබුණේ අඩු ප්‍රමාණයකි. එහි ප්‍රධාන සැමරුම කිලිනොච්චිය කනකපුරම් පැරණි මහවිරු සුසාන භූමිය ස්ථානයේ දී පැවැත්විණි.
මහවිරු සැමරුමට සමගාමීව යාපනය නල්ලූර් ප්‍රදේශයේදී යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාවගේ යැයි ප්‍රකාශිත නම් 25,000කගේ පමණ නම් ලැයිස්තුවක් ප්‍රදර්ශනය කිරීම සිදුවිය. එම නම් ලැයිස්තු කොටි සංවිධානයේ නිල පුෂ්පය බවට සැලකූ නියඟලා මල එකතු කරමින් ප්‍රදර්ශනය කර තිබූ අතර යුද්ධයේ දී මිය ගිය අයගේ නම් ජනතාවට දැනගැනීමටත් ඔවුන් වෙනුවෙන් සෙත් ශාන්ති පැවැත්වීමත් එහිදී සිදුවිය.
යාපනය ප්‍රදේශවාසීන් පැවසුවේ හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වූ දිලීපන් ජීවිතක්ෂයට පත්වූ ස්ථානය ඉදිරිපසදී යුද්ධයෙන් මියගිය පුද්ගලයන් 25,000කගේ නම් ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් ඒ වෙනුවෙන් මල් පහන් පුදා ගෞරවය දැක්වීම සිදුකළ බවයි.
යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ හා දෙමළ ජනතාවගේ නම් සඳහන් පුවරු වෙත මල් පහන් පුදා ගෞරව දැක්වීම දෙමළ ජනතාව විසින් එහිදි සිදුකෙරිණ.
යුද්ධයෙන් මියගියවූවන්ගේ ඥාතීන්ගේ සංසදය හා උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පවතින සිවිල් සංවිධාන විසින් යුද්ධයෙන් මියගිය පිරිසගේ නම් ඇතුළත් පුවරු සකස් කොට තිබිණ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාකාරීව පැවති වකවානුවේදීද මහවිරු දිනයේදී අදාළ ස්ථානයේ යුද්ධයෙන් මියගිය පිරිසගේ නම් ප්‍රදර්ශනය කරමින් අදාළ පිරිස් වෙත ගෞරවය දැක්වීමේ වැඩසටහන් පැවැත්වීම එවක සිදුකරනු ලැබීය.
යුද්ධයෙන් මියගිය පිරිස්වල නම් සඳහන් අදාළ පුවරු මහවිරු දිනය අවසානයේදී නැවත රැගෙන ගොස් සුරක්ෂිතව තබා වර්ෂයක් වර්ෂයක් පාසා මහවිරු දිනයදා අදාළ පිරිසගේ නම් ප්‍රදර්ශනය කිරීම සම්ප්‍රදායකි.
එමෙන්ම මෙවර උතුරු පළාතේ ප්‍රධාන මහවිරු සැමරුම සිදු කෙරුණු කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේ සුපුරුදු පරිදි මහවිරු සැමරුම 27 වැනිදා රාත්‍රියේ පැවැත්විණි. මෙවර මහවිරු සැමරුම් වෙනුවෙන් දෙමළ නායකයින් බහුතරයක් දෙනා සහභාගි නොවූහ. දෙමළ ජාතික සන්ධාන කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ඇතුළු පිරිසක් පමණක් මහවිරු සැමරුම වෙනුවෙන් එක්ව සිටියහ.
පසුගිය වසරවල මහවිරු සැමරුම වෙනුවෙන් මහා හඬක් නැඟූ ප්‍රභාකරන්ගේ මස්සිනා යැයි පවසන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතාද මෙවර මහවිරු සැමරුම වෙනුවෙන් ඉතා උනන්දුවෙන් යුතුව කටයුතු කරන ආකාරයක් දැක ගැනීමට නොහැකිවිණ.
වෙනත් වසරවලදී හෙතෙම ප්‍රභාකරන්ගේ නිවෙස පැවති ස්ථානයේ මල් පුදා පහන් දල්වා ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීම, කේක් කැපීම සිදුකළද ආණ්ඩු පෙරළියත් සමඟ ශිවාජිලිංගම් මහතාට අදාළ ක්‍රියාවන් අමතකව ගොස් ඇති ආකාරයක් දැක ගැනීමට හැකිවිණ.
සාම්ප්‍රදායික සීමාවන් වෙනුවෙන් කටයුතු කළ ශිවාජිලිංගම් මහතා මෙවර යාපනය කෝපායි මහවිරු සොහොන් අබියස වෙත පැමිණ පහනක් දල්වා පමණක් ගිය ආකාරයක් නිරීක්ෂණය විය.
නීතිය කඩකිරීමක් වෙලා නෑ -ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න
අපිට රජයක් විදිහට මර්දනකාරී පියවරක් අනුගමනය කරන්න අවශ්‍ය නෑ. රජය ආපු ගමන් ඒවා සම්පූර්ණයෙන් මර්දනය කරන්න ගියොත් ඒවා හොඳ නෑ. ඒ පිළිබඳ වැඩපිළිවෙළක් ඉදිරි කාලයේදී කරන්න බලාපොරොත්තු වෙනවා. නීතිය කඩ කිරීමක් එතැන සිද්ධවෙලා නෑ. කිසිම කලබලයක් ඒ ප්‍රදේශවල සිද්ධවෙලා නෑ. මහාවීර දිනය කියලා ඒ අය සමරන දිනයක් පමණයි වෙලා තියෙන්නේ.
වව්නියාව එස්. ප්‍රියදර්ශනී