රටේ මහජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලමින් චීනයේ තියනාන්මෙන් චතුරස්‍රයේදී 1989.06.04 වැනිදා පැවැති සාමකාමී උද්ඝෝෂණයකට සහභාගිවී සිටියදී චීන ආණ්ඩුවේ වෙඩි උණ්ඩයට අභීතව සිය ළය මණ්ඩලය විදහාපාමින් ඝාතකයාට අභියෝග කළ දහසකට ආසන්න පාසල් සිසුන් සහ වෘත්තීය ක්‍රියාකාරී විරුවන් සිහිපත් කරමින් එංගලන්තයේ චීන තානාපති කාර්යාලයය ඉදිරිපිට මෙදා ජූනි 04 වැනිදා දහස් ගණනක පිරිසක් උද්ඝෝෂණය කළහ.
හොංකොං වාසීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන ව්‍යාපාරය, ලෝක උයිගර් කොංග්‍රසය, තිබ්බතය සහ වින්දිත සුළු ජාතික ප්‍රජාව වෙනුවෙන් වූ ජගත් මිත්‍ර සංවිධානය, ලෝක වෘත්තීය සංගම් ව්‍යාපාර සහයෝගිතාව, එක්සත් රාජධානියේ උයිගර් සහයෝගිතා පදනම සහ තිබ්බතය සඳහා වන එක්සත් රාජධානියේ ප්‍රජා සංවිධානය යන සංවිධාන උද්ඝෝෂණයේ පෙරගමන්කරුවෝ වූහ.
ඒකාධිපති යකඩ සපත්තුවට මානව අයිතිවාසිකම් පාගා චීනය ගෙනයන අත්තනෝමතික ඒකාධිපති පාලනයට එරෙහිව හඬ නඟන චීනයේ වෘත්තීය ක්‍රියාකාරී සහෝදරත්වය හුදකලා වී නැතැයි යන උත්තරීතර කාහල නාදය ලොව පුරා මුරගෑමේ අරමුණ පෙරදැැරිව දැනට වසර තිස්දෙකකට පෙර මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාය සහ ස්වාධීනත්වය වෙනුවෙන් සිය සිරුරේ රුධිරය මහමඟ වපුරමින් දිවිපිදූ ජාතිමාමක විරුවන් සිහිපත් කිරීමේ ඓතිහාසික සිද්ධිය පාදක කරගනිමින් උද්ඝෝෂණය පැවැත්විණි.
චීනයේ මර්දනකාරී පාලනයට එරෙහිව කළු කොඩි සහ තිබ්බතයේ විමුක්තිදායක කොඩි ලෙළවමින් සටන් පාඨ කියමින් ඔවුහු අවස්ථාවට දායකත්වය දුන්හ.
චීනයේ දී තමන් විඳි එමෙන් විඳින බිහිසුණු අත්දැකීම් ඔවුහු ඒ අවස්ථාවේ දී සහෝදරත්වයේ බන්ධනයෙන් වෙළි සුහදශීලීව හුවමාරු කරගත්හ.
උද්ඝෝෂණයේ පෙරටුගාමී සංවිධානවල සියලු නායකයෝ එක්ව තියනාන්මෙන් චතුරස්‍රයේ ම්ලේච්ඡ මනුෂ්‍ය ඝාතනය පාදක කර ඒකාබද්ධ ප්‍රකාශනයක්ද නිකුත් කළහ.
දැනට වසර තිස් දෙකකට ප්‍රථම 1989 දී ආරම්භ කෙරුණු පූර්ව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය සහ ඊට සහභාගි වූවන් අපි සිහිපත් කරමින් ඒ දේශප්‍රේමීන්ට අපේ ප්‍රණාමය පුදකරමු.
චීනයේ ඒකාධිපති වියරුව උඩුයටිකුරු කිරීම උදෙසා ඒ උත්තරීතර ආරම්භක ගමනට සහභාගි වූ වැඩිදෙනෙක් ඝාතනය කරනු ලැබූහ. තවත් වැඩිදෙනෙක් බන්ධනාගාර ගතකරනු ලැබූහ. ඒ වීරෝදාර සහෝදරයන්ගේ මව්වරුන් තම දුවාදරුවන් වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය ඉල්ලමින් ගෙනයන සටන වෙනුවෙන් අපිදු සහයෝගයේ දෑත් විහිදුවමින් පෙනී සිටින්නෙමු.
තියනාන්මෙන් චතුරස්‍රයේ මනුෂ්‍ය ඝාතනය සිහිපත් කිරීම සඳහා පැවැත්වෙන වාර්ෂික ස්මරණෝත්සව මර්දනය කිරීම සඳහා චීන පාලනය පසුගිය වර්ෂයේ සිට යෙදිය හැකි උපරිම බලය සහ ශක්තිය යොදවයි.
හොංකොං ප්‍රදේශයේ පැවැත්වෙන එවන් සිහි කිරීමේ අවස්ථා මින් මතුමත්තේ යළි ඇති නොවීමට නීති සම්පාදනය කළ බවද අපි දුටිමු. තමන්ගේ මතිමතාන්තරවලට එරෙහි දේශපාලන ක්‍රියාකාරීන් බන්ධනාගාර ගතකිරීමේ අවශ්‍යතා වෙනුවෙන්ද ප්‍රතිපාදනද සලසා ගැනිණි.
පසුගිය වසරේ සිහි කිරීමේ අවස්ථාවට සහභාගි වූවන්ට පහරදෙනු ලැබිණි. බොහෝ දෙනකුට එරෙහිව නඩු පැවරිණි. ක්‍රියාකාරීන් අතරින් සිවුදෙනෙක් දස වසර බැගින් වූ සිර දඬුවමකටද යටත් කළහ. එම අවස්ථවට සහභාගි වූවෝ ආණ්ඩුව (පාලනය) පෙරළා දැමීමේ කැරලිකාරයන් විප්ලවකාරයන් ලෙසින් හංවඩු ගසනු ලැබූහ. සිරගතකරනු ලැබූවන් අතරින් කාලෝජි සහ විනී යන ක්‍රියාකාරීන් දෙදෙනාට දීර්ඝකාලීන සිරදඬුවම් නියම කිරීමට පිඹුරුපත් පිළියෙළ කරති.
අපි සියලු දෙනා ඒ විමුක්තිකාමීන් වෙනුවෙන් කටයුතු කිරීමට ඇපවී කැපවී පේවී සිටින්නෙමු.
සිංජියෑං පළාතේ වෙසෙන උයිගර් සුළුතරය මර්දනය කිරීමට ගැනෙන හිංසකත්වය පාදක කරගත් අනේකවිධ තිරශ්චීන වධ බන්ධන අපි හඳුනාගෙන ඇත්තෙමු.
ස්වාධීන නීතිඥයන් දෙදෙනකු විසින් ප්‍රජා ඝාතන ලැයිස්තු ඇතුළු අමානුෂික ක්‍රියා හේතුසාධක සහිතවම ගොනුකරනු ලැබ ඇත. ඒ කරුණු විවිධ රටවල ආණ්ඩු විසින්ද පිළිගනු ලැබ තිබේ.
උයිගර් සහ තුර්කි ඉස්ලාම් භක්තිකයන් දහඅට ලක්‍ෂයකට අධික පිරිසක් දේශපාලන රැඳවුම්කරුවන් වශයෙන් රැඳවුම් කඳවුරුගත කර ඇත්තාහ. එවන් පවුල්වල ළමයින් දස ලක්‍ෂයක් මාපිය වැඩිහිටියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කර වෘත්තීය අධ්‍යාපනයේ යොදවන මුවාවෙන් රැඳවුම් නිවාසවල නේවාසික කර ඇත.
පන්ලක්‍ෂයකට අධික පිරිසක් චීන සහ බටහිර රටවලට අයත් සමාගම්වල සේවය යොදවා බලහත්කාරයෙන් ශ්‍රමය සූරාගනී. උයිගර් කාන්තාවෝ බලහත්කාරයෙන් වන්ද්‍යකරණයට පත්කරනු ලබති.
දක්‍ෂිණ මොන්ගෝලියානුවන්ට සිය මාතෘ භාෂාව කතාබහ කිරීම තහනම් කර ඇත. ඔවුන්ගේ දරුවන්ටද පාසල්වල සිය මවුබස ඉගෙනගැනීම තහනම්ය. ඔවුන් ඉගෙනගත යුත්තේ චීන භාෂාවය. මෙම කරුණ මහජන විරෝධයකට හේතුවී තිබේ.
තිබ්බතයේ දීර්ඝ කාලයක් තිස්සේ කෙරෙන ඛනිජ සම්පත් කොල්ලකෑම එරට (තිබ්බත) සානුවේ පරිසර විනාශයට හේතුවී තිබේ. එම විනාශය දක්‍ෂිණ චීනයේ මෙන්ම දක්‍ෂිණ ආසියාවේ විශාල පිරිසකට ද තදින්ම බලපාන්නකි.
ප්‍රචණ්ඩත්වය සහ මර්දනය නිසා චීනයෙන් එක්සත් රාජධානියට පලා එන සරණාගතයන්ට පහසුකම් සපයන ලෙසට උද්ඝෝෂණයට සහභාගි වූ සංවිධාන නායකයන් අස්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ ඇතුළත් කර තිබේ.
පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ