රුසියාව විසින් යුක්රේනයේ අත්පත් කරගන්නා ලද ප්‍රාන්ත හතරක් වෙනුවෙන් ජනමතයක් විමසීමට කටයුතු කරයි.
එම ජනමත විචාරණයෙන් සාමයට හෝ එක්සත් ජාතීන්ට හෝ කිසියම් අන්දමක සහායක් ලැබේද යන්න ජාතීන් අතර සාකච්ඡාවට භාජන වී තිබේ. මේ සම්බන්ධයෙන් කිසිදු මතයක් එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී ඉන්දියාව ප්‍රකාශ කර නැත. ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.ජෙයශංකර් ප්‍රකාශ කර ඇත්තේ මේ කරුණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සාකච්ඡාවට ගන්නා බවයි.
‘මේක ඉදිරියේදී සාකච්ඡාවට ගත යුතු කරුණක්. මගේ අදහස එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සිදුවිය යුත්තක් බවයි. මා ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ අපේ ඇම්බැසඩර්තුමිය වන රුචිරා කම්බු මේ ගැන කියන තුරු ඉන්න කියන එකයි.’
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයශංකර් මාධ්‍යයට කීවේ ඒ තොරතුරුය.
එක්සත් ජාතීන්ගේ, එක්සත් ජනපද තානාපතිනි ලින්ඩා ග්‍රීන්ෂීල්ඩ් පැවසුවේ තම රට (එක්සත් ජනපදය) සහ ඇල්බේනියාව රුසියන් ජනමත විචාරණය ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනා ඉදිරිපත් කරන බවය.
යුක්රේනයේ පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් වෙනත් කිසිදු විකල්පයක් අනවශ්‍ය බව කියන මතය වෙනුවෙන් ජාත්‍යන්තරය පොළඹවා ගැනීමට එක්සත් ජනපදය සහ ඇල්බේනියාව ඉදිරිපත් වන අතරම යුක්රේනයේ සිටින රුසියන් හමුදා ඉවත් කරගැනීමට රුසියාව බලකිරීමටද සූදානම්ය.
තම යෝජනාව එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් කිරීමට සූදානම් බවද එක්සත් ජාතීන්ගේ, එක්සත් ජනපද තානාපතිනිය කීවාය.
මේ වන විට රුසියන් ග්‍රහණයට නතුව පවතින යුක්රේනයේ ඩොනෙට්ස්, ලුහාන්ස්ක්, සපෝරිෂාසියා සහ කේසොන් යන ප්‍රාන්ත රුසියාවට එක්කර ගැනීම සඳහා ඒ පළාත්වල ජනයාගේ මතය විමසන ජනමත විචාරණය පැවැත්වීමට නියමිතය.
රුසියාව යුක්රේනයට එල්ල කරන ප්‍රහාරය ඉන්දියාව හෙළාදකින අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඉන්දියාවට සහායටද ඉදිරිපත්ව ඇත. ඉන්දියාව පවසන්නේ මේ යුද්ධ කිරීමට කාලයක් නොවන බවයි. එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ මතය රුසියාවේ පුටින්ට දැනුම්දීමට සූදානම්ය.
‘අපට මේ ගැන තවදුරටත් එකඟ වෙන්න බෑ..’ යනුවෙන් ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති එස්. ජෙයශංකර් සමග ඒකාබද්ධව පැවැති මාධ්‍ය හමුවේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් කීවේ ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුවය.
‘යුද්ධයෙන් මතුවී ඇති හිරිහැරය නැවැත්විය හැක්කේ එක් පුද්ගලයකුට පමණි. ඒ, රුසියාවේ පුටින්ට පමණයි…’ ඇන්තනී බ්ලින්කන් කීවේය.
‘මම පසුගිය සතියේ පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ප්‍රකාශ කළ දේම දැනුත් කියනවා. රුසියාව යුද්ධය නැවැත්වුවහොත් යුද්ධය අවසන්. යුක්රේනය යුද්ධය නැවැත්තුවහොත් යුක්රේනය අවසන්…’
ඒ, ඇන්තනී බ්ලින්කන්ගේ ස්ථාවරයයි.
චන්ද්‍රසේන මාරසිංහ