ජම්මු සහ කාශ්මීරයේ නිෂ්පාදනය කෙරෙන හස්ත කර්මාන්ත පලස් (carpets) සඳහා සංකේත යෙදීමේ යාන්ත්‍රණයක් ප්‍රථම වතාවට ආණ්ඩුකාර ලුතිනන් මනෝජ් සිංහ විසින් ආරම්භ කරනු ලැබ ඇත.
යාන්ත්‍රිකව නොව හස්තකාර්මිකව පමණක් නිෂ්පාදනය කෙරෙන පලස් සංකේත කර සංඥා නාමයක් යටතේ ලියාපදිංචි කිරීම එම යාන්ත්‍රණයයි.
මෙමගින් ජම්මු සහ කාශ්මීරයේ නිෂ්පාදිත පලස්වල අනන්‍යතාව සැපයීම අපේක්‍ෂාව වේ.
ඉතා ඉහළ වටිනාකමකින් යුතු ජම්මු සහ කාශ්මීර් පලස් මිලටගනු ලබන පාරිභෝගිකයන්ට එසේ දක්වන විස්තර අනුව ඒ නිෂ්පාදනය පිළිබඳ විශ්වසනීයත්වයක් ඇතිකර ගැනීමට අවස්ථාව සැලසීම අරමුණ වේ.
ජම්මු සහ කාශ්මීරය වනාහි පාරම්පරික සංස්කෘතික හස්ත කර්මාන්ත නිෂ්පාදනයේ අනභිභවනීය භාණ්ඩාගාරය වශයෙන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ කිරුළ පැලැඳ ඇත්තේය.
“මහානර්ඝ හස්ත කර්මාන්ත පලස්වල අව්‍යාජත්වයට වර්තමානය වන විට යම් යම් හේතු නිසා හානි පැමිණ තිබෙනවා. ඒ නිසා ව්‍යාජ නිෂ්පාදන වෙළෙඳපොළ ආක්‍රමණයෙන් හොඳම වර්ගයේ භාණ්ඩය මිලට ගැනීමේ අවස්ථාව ගනුදෙනුකරුවාට අහිමි වෙනවා. මේ තත්ත්වය වැළැක්වීම අපේ අරමුණයි” ආණ්ඩුකාර ලුතිනන් මනෝජ් සිංහ ප්‍රකාශ කෙළේය.
“නව තාක්‍ෂණයට අනුව අනර්ඝ නිෂ්පාදනවල වටිනාකම දැනගත හැකි අන්දමට භාණ්ඩ ප්‍රමිතිකරණය කළ හැකියි. එසේ කළ විට ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයෙන් තමන්ට අභිමත පරිදි නිෂ්පාදන තෝරා ගත හැකි වෙනවා පමණක් නොව ඒ විශ්වාසය අනුව අපට ගෝලීය වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්ද නිරායාසයෙන්ම අත්වෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කෙළේය.
හස්ත කර්මාන්තයේ නිපුණයන් ඇගයීමට බඳුන් වූ සංකේත යෙදීමේ උත්සවයේදී ඔවුනට වටිනා ත්‍යාගද පිරිනමනු ලැබිණි.
“සියවස් ගණනාවක් තිස්සේ අඛණ්ඩව අවිච්චින්නව පැවැත එන අපේම පාරම්පරික මාහැඟි අමිල හස්ත කර්මාන්තය සහ පලස් නිෂ්පාදන ශිල්පීය ක්‍රම ආරක්‍ෂාකර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන සියලුම ශිල්පීන්ට ජාතිය වෙනුවෙන් මගේ ප්‍රණාමය සහ ගෞරවය පිරිනමනවා.
ඒ කාර්යභාරය අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්‍ෂා කිරීම සඳහා කැපවූ පිරිසට අවශ්‍ය පුහුණුව මූල්‍ය ආධාර උපකාර කිරීමට රජය බැඳී සිටිනවා”යැයි ද ආණ්ඩුකාර ලුතිනන් මනෝජ් සිංහ ප්‍රතිඥා දුන්නේය.
චන්ද්‍රසේන මාරසිංහ





