අපි ඉන්නේ කැබිතිගොල්ලෑව නිකවැව ප්‍රදේශයේ. මෙතැන තමයි යුද සමයේ නිකවැව පොලිස් මුරපොළ පිහිටා තිබුණේ. අද අපේ කතා නායකයාට මේ ස්ථානය සමග ලොකු සම්බන්ධයක් තියෙනවා. ඔහු විශේෂ බළකාය නියෝජනය කළ බලලත් නිලධාරී ලියනගේ. යුද පෙරමුණේ සුවිශේෂ මෙහෙයුම් රැසකට දායක වූ ඔහු සතුව තිබෙන මාරාන්තික යුද අත්දැකීම් ප්‍රමාණය අතිවිශාලයි. ඇඟ කිලිපොලා යන ආකාරයේ බියකරු සිදුවීම්ද ඔහුගේ මතකයේ තවමත් තිබෙනවා. අපි ඔහුගේ කතාව කියවමු. මේ සුවිශේෂ සාකච්ඡාව අපි ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් උපුටා ගත්තේ WANESA TV යූටියුබ් නාලිකාවෙන්.(Sri Lanka Latest News)
මගේ ගම ඇහැලියගොඩ පරකඩුව බැවිල. මම පාසල් අධ්‍යාපනය හදාරන්නේ රත්නපුර නාරද ජාතික පාසලෙන්. සාමාන්‍ය පෙළ හදාරන කාලේදී මට ලොකු කැමැත්තක් තිබුණා විශේෂ බළකායට බැඳෙන්න. ඉතින් සාමාන්‍ය පෙළ නිමාවුණාට පස්සේ මම මුලින්ම කරන්නේ විශේෂ බළකායට සම්බන්ධ වීම සඳහා සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීම. නමුත් අපේ ගෙදරින් ඊට කැමැත්තක් ලැබුණේ නැහැ. කෙසේ හෝ මගේ දෙවැනි උත්සාහය සාර්ථක වෙලා මම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායේ ආධුනිකයෙක් විදියට සම්බන්ධ වෙනවා. පුත්තලම සහ බූස්ස කියන ස්ථානවල තමයි අපේ පුහුණුවීම් සිදුවුණේ. සියලු පුහුණු වීම් කටයුතු අවසන් වෙලා විසිර ගිහින් මම සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවැනි විශේෂ බළකායට.
ඒ කාලේ දෙවැනි විශේෂ බළකාය ස්ථානගත වෙලා හිටියේ යාපනයේ. ඒ අනුව ආධුනික සෙබළෙක් විදියට මමත් තව 80ක කණ්ඩායමකුත් ලංකා මුදිත නැවෙන් ත්‍රිකුණාමලයට ගිහිල්ලා යාපනයට යනවා. ඒ වෙනකොට එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් නගරබදව බහුලව සිදුවෙමින් තිබුණා. ඔවුන් යුද හමුදාවේ වාහනවලට ග්‍රෙනේඩ් වීසිකරනවා. ආර්.පී.ජී., එල්.එම්.ජී. ප්‍රහාර එල්ල කරන එක තමයි කොටි වැඩි වශයෙන් කළේ. අපට සිදුවුණා ඔවුන්ගේ එම ක්‍රියාවන් නතර කිරීමට මැදිහත් වෙන්න. මාස 6ක් තිස්සේ අපි එල්.ටී.ටී.ඊ. එකේ එම ක්‍රියාකාරකම්වලට මුහුණ දෙමින් ඒවා ගොඩක් දුරට පාලනය කළා. අනතුරුව විශේෂ බළකායේ අපේ ‘බ්‍රාවෝ’ කියන බලඝනය ඕමන්තේ ප්‍රදේශයට යනවා ක්‍රියාන්විත රාජකාරි සඳහා.
අපි ස්ථානගත වෙන්නේ ඕමන්තේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර නැගෙනහිර දිශාවට වෙන්න. ඒ වෙනකොට ඒ ප්‍රදේශයේ හිටපු අපේ සොල්දාදුවන්ට කොටි ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරලා සෙබළු කිහිප දෙනෙක් මියගිහින් තිබුණා. ඒ අනුව අපි මුලින්ම කළේ කොටින්ගේ ක්‍රියාකාරකම් ගැන සූක්ෂ්මව අධ්‍යයනය කරපු එක. මාස දෙකක් විතර ඔවුන්ව නිරීක්ෂණය කරලා මූලික සැලසුම හදලා අපි තීරණය කළා දැන් ප්‍රහාර එල්ල කරන්න සුදුසුයි කියන එක. ඒ විදියට අපි ප්‍රහාර 4ක් එල්ල කළා අවස්ථා 4කදී. ඔවුන්ගේ ට්‍රැක්ටර් 4ක් ඉලක්ක කරලා එල්ලකරපු ප්‍රහාරවලින් කොටි සාමාජිකයන් 30ක් පමණ විනාශ කරන්න පුළුවන් වුණා.
ඉන් පස්සේ 2006 ජුනි මාසයේ මම දින 4ක නිවාඩුවක් අරගෙන ගෙදර යනවා. දවස් කිහිපයක් මම ගෙදර ඉන්නකොට අපේ ගෙදරට දුරකතන ඇමතුමක් එනවා යුද හමුදාවෙන්. ඔවුන් මට කිව්වා ඔයාට විශේෂ රාජකාරියක් භාරදෙන්න තියෙනවා, වහාම වාර්තා කරන්න කියලා. නමුත් එදා මට යන්න ලැබෙන්නේ නෑ මගේ මවගේ අසනීප තත්ත්වයක් නිසා. නමුත් පසුවදාම මම යනවා. එහිදී වවුනියාවේ සිට ඕමන්තේ ඉදිරි ආරක්ෂක වළල්ලේ 10 වැනි ශ්‍රී ලංකා පාබල හමුදාව දක්වා ගියා. එතැන තමයි අපේ බලඝනය තියෙන්නේ. එදා හවස කැප්ටන් කුමාර ගල්හේනගේ සර් කිව්වා ඔයාලට විශේෂ රාජකාරියක් තියෙනවා ඒක කරන්න කියලා. ඔහු කිව්ව විස්තර අනුව මට තේරුණා මේක බිහිසුණු මෙහෙයුමක් කියන එක. ඔහු කිව්වා හයි ටාගට් දෙකක් තියෙනවා කියලා. ඒකෙන් එකක් තමයි තමිල් සෙල්වම්.
තමිල් සෙල්වම් ගමන් කරන මාර්ගයක් ගැනත් සඳහන් කළා. කොටි ත්‍රස්තවාදීන් ඕමන්තේ මුරපොළට ආයුධ ගේනවා. පාන්දර 4 ඉඳලා ඔවුන් බස් හතරකින් ඒ කටයුතු කරන බවත් අපි සොයාගත්තා. මේක හරිම රහසිගත සැලසුමක් වුණා. අපේ බලඝනයේ හිටපු සමහර සාමාජිකයොත් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ඉතා සූක්ෂ්මවයි අපි ඒ සැලසුම සකස් කළේ. හවස 4ට තමයි අපි මෙහෙයුම ආරම්භ කරන්න පිටත් වුණේ. මෙහෙයුමට අපි හය දෙනෙක් සහභාගි වෙනවා. අපේ පැක් ටික හරිම බරයි. ඒවා ට්‍රැක්ටර් එකක තමයි අරගෙන යන්නේ. එතකොට එයිට් මෑන් ටීම් එකක් ඒකෙ ආරක්ෂාවට ඉස්සරහින් යනවා.
මොකද අපේ බලඝනය ස්ථානගත වෙලා හිටපු තැන ඉඳලා මෙහෙයුම කරන තැනට කිලෝමීටර් එකහමාරක් දුරයි. ඒ යන අතරතුර අපිට අනිවාර්යයෙන්ම ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්කම තියෙනවා. ඒවාටත් සූදානම් වෙලා අපි හමුදා ඇඳුම් ඇඳගෙන හොර රහසේ ගමන් කරලා අදාළ ස්ථානයේ ස්ථානගත වුණා. එදා රෑට බිස්කට් එකක් කාලා පසුදා අලුයම 3ට අපි අවදිවෙලා සූදානම් වුණා. අපි එතැනදී අලුත්ම දෙයක් කළා. අපි කොටි ත්‍රස්තයන්ගේ ඇඳුමට සමාන ඇඳුම්වලින් තමයි සැරසුණේ. මෙහෙයුමට යද්දී අපිත් හරියටම කොටි ත්‍රස්තයන් වගේ තමයි පේන්නේ. අපි පැයක විතර ඔබ්සර්වේෂන් එකක් කරලා ලයින් එකට බැස්සා. දැන් අපි ඉන්නේ කොටින්ගේ ලයින් එකයි අපේ ලයින් එකයි අතර. එතකොටම වාහන සද්දයක් ඇහෙනවා. අපි ඔක්කොම ඩවුන් ගියා. අපේ කරේ තියෙන පැක් එක කිලෝ 50ක් බරයි.
ඒ බරත් එක්ක එකපාරමට ඩවුන් යන එක ඉතා අමාරුයි. නමුත් කොහොම හරි අපි සැඟවිලා පැය එකහමාරක් විතර බලාගෙන හිටියා. එතකොට අපි දැක්කා ඒක කොටින්ගේ ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදුවන ලයින් එකක් කියලා. ඒ අනුව අපි ඒ ලයින් එක පැන්නා. පැනලා ඉතා සූක්ෂ්ම ආකාරයෙන් කොටින්ගේ වාහන මඟහරිමින් කිලෝමීටර් 17ක වගේ දුරක් අපි ගමන් කළා. ඉතා තද අවුවක් ඒ දවස්වල තිබුණේ. ඒ සියල්ල මැද අපි ආවා පරප්පකණ්ඩාව කියන ගමේ සීමාවට. අපි එතැන නිරීක්ෂණය කරමින් ඉන්න අතර අපට ෂොට් දෙකක් එල්ල වෙනවා. අපි දැනගන්නවා මේ හරියේ කොටි ක්‍රියාකාරකම් තියෙන බව.
ඒත් එක්කම ලෙෆ්ටිනන් රාජකරුණා මට කිව්වා ‘ලියනගේ ඔයා ගහකට නැගලා බලන්න ඉස්සරහා භූමිය ගැන’ කියලා. මම ගහකට නැගලා බලද්දී දැක්කා මීටර් අටසීයක් විතර ඈතට හිස් භූමියක් තියෙනවා. ඒකෙ කොටි ත්‍රස්තයන්ගේ ක්‍රියාකාරකම් සිදුවෙමින් තිබුණා. මම කතා කරලා කිව්වා ‘සර් ඉස්සරහා පාර අවදානම්. මේක පනින්න බෑ’ කියලා. ඒ අනුව අපි හිටපු තැනම රාත්‍රිය වෙනතුරු ගතකරන්න තීරණය කරනවා. අපි රෑ හතහමාර විතර වෙනකල් එතැන හිටියා. අපි හයදෙනා තීරණය කළා අපට භාරදීපු රාජකාරිය කොහොම හරි ඉටුකරනවා කියලා.
එතැනදී අපට තවත් බාධකයක් වුණේ හඳ පායලා තිබුණා එක. ප්‍රදේශයම හොඳට එළියයි. ඒ නිසා එතැනින් යන එක හරි අමාරුයි. නමුත් අපි කොහොම හරි එතැනින් යන්න පිටත් වුණා. දැන් අපි මේ යන්නේ පරප්පකණ්ඩාව කියන ප්‍රදේශය පහුකරමින්. එහෙම යද්දී අපි ඉන්න පැත්තට ප්‍රහාර කිහිපයක් එල්ල වුණා. එතකොටම අපි ඩවුන් ගිහින් නැවත බඩගාගෙන යන්න පටන්ගත්තා. එහෙම යද්දී මම දැක්කා විශාල පාරක්. ඒ පාරෙ අඩි 30ක් විතර පළලට දෙපැත්තම සුද්ධ කරලා ශක්තිමත් ආරක්ෂක වැඩක් යොදලා තිබුණේ. ඒක කඩන්න බැරි විදියට තමයි හදලා තිබුණේ. නමුත් අපි ඒ වැටේ ඉණි හතරක් ගලවලා එහා පැත්තට පැන්නා.
පැනලා ඇතුළට යද්දී දැක්කා මීටර් 30ක් විතර ඈතින් තියෙන ඔවුන්ගේ පොයින්ට් එකක්. එතැන කොටි ත්‍රස්තයන් කිහිප දෙනෙක් කතා කර කර හිටියා. අපි ඒ ගැන බලමින් ඉන්නකොට අපි ඉන්න පැත්තට තවත් ෂොට් 4ක් විතර එල්ලවුණා. ඔවුන් එහෙම වෙඩි තියන්නේ උපක්‍රමයක් විදියට. සතුරන් හිටියත් නැතත් ඒ වගේ ප්‍රහාර කිහිපයක් වරින් වර වටේට එල්ල කරනවා. එතකොට සතුරන් හිටියොත් හඳුනාගන්න පහසු නිසයි කොටි එහෙම කරන්නේ. අපි නැවතත් බඩගාගෙන ගියා පාන්දර තුනහමාර විතර වෙනකල්. දැන් අපි ඉන්නේ විවෘත භූමියේ අවසාන කොටසේ. අපේ ප්ලෑන් එක තිබ්බේ නැදුන්කේනි පාර දක්වා යන්න. මොකද එතැන තමයි අපේ ටාගට් එක තියෙන්නේ. උදේ හය විතර වෙනකොට අපි ටාගට් එකට ළං වුණා. දැන් අපි හයදෙනා අතේ තමයි මේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම තියෙන්නේ. වෙන කිසි කෙනෙක් නෑ.
මොකද අපි ඉන්නේ සතුරාගේ භූමියේ. දන් අපි ඉන්නේ නැදුන්කේනි මාර්ගය අසල. මේ පාරේ තමයි මුලතිව්වලට සහ ඔඩ්ඩුසුඩාන්වලට යන්නේ. ඒ පාරේ සිවිල් ජනතාව, කොටි ත්‍රස්තයන් කියන දෙගොල්ලොම යනවා. විශාල බංකර් ලයින් එකකුත් තියෙනවා. අපි දැක්කා මීටර් 200ක් විතර ඈතින් කොටි සාමාජිකයන් කට්ටියක් ඉන්නවා. ඒ තැනත් මඟහැරලා හවස 4 විතර වෙනකොට අපි තවත් ළඟට ගියා. ගිහින් පැක් ටික ගලවලා තියලා අපේ ටීම් එකේ දෙන්නෙක් ගියා පාරේ තත්ත්වය බලාගෙන එන්න. ඒ දෙන්නා ඇවිල්ලා කිව්වා පාර හොඳයි, ප්‍රහාරයක් එල්ල කරන්න සුදුසු තැනක් තියෙනවා කියලා. අපේ ඉතිරි හතර දෙනත් ගිහින් පාර නිරීක්ෂණය කළා.
එතකොට අපි දැක්කා කොටි සාමාජිකයෝ එක එක ක්‍රියාකාරකම්වල නිරත වෙලා ඉන්න හැටි. නැවත අපි හයදෙනාම ආපස්සට ඇවිල්ලා සැලසුම් කළා රෑ 12 වෙද්දී ප්‍රහාරය එල්ල කරන්න. අපි අරගෙන ගිහින් තිබුණා 12.5 ක්ලෝමෝ 2ක් සහ 7.5 ක්ලේමෝ 3ක්. ඒවා කොහොමද දාන්නේ කියලා ලෙෆ්ටිනන් රාජකරුණා අපිව කැඳවලා ඇහුවා. අපි තීරණයකට ආවා රෑ 12.30ට ටාගට් එකට ගිහින් ක්ලේමෝ ටික ලේඅවුට් කරලා දාන්න. මට මතක විදියට ඒ පාරේ එක තැනක තිබුණා වළවල් 4ක් විතර. ඒ හරියෙන් කොටින්ගේ වාහන යන්නේ අනිවාර්යයෙන් ස්ලෝ කරලා. එතකොට ක්ලේමෝ ටික පුපුරුවලා ලොකු විනාශයක් කරන්න තමයි අපි ටාගට් කරලා තිබුණේ. අපිට ටාගට් දෙකක් දීලා තිබුණා. ප්‍රධාන එක තමයි තමිල් සෙල්වම් යන වාහනය සහ ඔහුගේ ආරක්ෂක රථය. අනෙක් එක කොටි සාමාජිකයන් රැගෙන යන බස් රථ.
අපි අපේ පැක් ටික මීටර් 200ක් විතර ඈතින් තියලා ක්ලේමෝ ටිකත් අරගෙන පාරට ළං වුණා. ඒ ටික සවිකරලා පාන්දර 5 විතර වෙනකොට අපි ආපහු පිටිපස්සට ආවා. ක්ලේමෝ එක ගහන්න යෙදෙව්වේ කීර්ති සහ ලෙෆ්ටිනන් රාජකරුණාව. ඉතුරු හතර දෙනා වටේ ආරක්ෂාව තියාගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට පාන්දර 6 විතර වෙනකොට බස් රථ ටික ගියා. අපි කතාවුණා එදා දවසේ පුපුරුවන්නේ නැතුව ඉමු කියලා. මොකද හැම දවසකම බස් ටික යනවනේ.
අපේ ප්‍රධාන ඉලක්කය වෙන තමිල් සෙල්වම් එනතුරු අපි ඉමු කියලා. අපි ළඟ අවශ්‍ය තරම් වතුර සහ ආහාර තිබුණා. දින 17ක මෙහෙයුමක් නිසා අපට කිසිම ගැටලුවක් වුණේ නැහැ. මීටර් 10ක් විතර දුරින් ක්ලේමෝ එකේ වයර් එකේ අවසානයේ තියෙන ක්ලස්ටර් එක අතේ තියාගෙන හිටියේ කීර්ති සහ ලෙෆ්ටිනන් රාජකරුණා. ඒ දෙන්නා හිටියේ ගහක් එහාපැත්තේ. අපි හතර දෙනා හිටියේ එතැන පිටිපස්සට වෙන්න. එතකොට වෙලාව උදේ 7.10ට විතර ඇති. අපි හතර දෙනා ගන්ස් අතේ තියාගෙන ඩවුන් දාලා හිටියේ. එතකොට අපි ඉන්න ස්ථානයේ ඉඳලා මීටර් 300ක් විතර දුරින් වාහන කීපයක් ඇවිල්ලා නවත්තුවා. ඒත් එක්කම කටහඬවල් කිහිපයක් ඇහුණා.
මම ඒක අනිත් තුන්දෙනාට කිව්වේ නැහැ. නමුත් මම ඒ ගැන අවධානයෙන් හිටියා. එන්න එන්නම කටහඬවල් වැඩිවෙනවා ඇහුණා. මට දැන් කොහෙටවත් හැරෙන්නවත් විදියක් නෑ. මගේ පිටිපස්සේ හිටපු කෙනාට මම කකුලෙන් ඇනලා ඒ පැත්ත පෙන්නුවා. පෙන්නලා මම හිටපු විදියටම හිටියා. කොහොම හරි මම මගේ තුවක්කුව අරගෙන ඒ හඬ ඇහෙන දිහාවට එල්ල කරගෙන හිටියා. මට දැන් පේනවා කොටි සාමාජිකයෝ 30කගේ විතර කකුල්. ඔවුන්ගෙන් 10 දෙනෙක් විතර අපි ඉන්න පැත්තටම එමින් හිටියේ. ඉතිරි පිරිස පිටිපස්සේ ඉන්නවා.
එතකොටම පිටිපස්සේ හිටපු රත්නායක ඔවුන්ට වෙඩිතිබ්බා. ඒත් එක්කම මමත් වෙඩිතියන්න පටන්ගත්තා. කොටි අටදෙනෙක් විතර ඉස්සරහා හිටියා. ඒ අටදෙනාටම මම ප්‍රහාර එල්ල කළා. ඒත් එක්කම මම පෙරලුණා. එතකොටම මගේ පිටිපස්සේ හිටපු බණ්ඩාර මා ළඟට ඇවිත් ඉතිරි කොටි හතරදෙනාට ප්‍රහාර එල්ල කළා. එතකොට එකම යුද පිටියක් එතැන. ඒ අතර තවත් වාහන එන සද්දේ ඇහෙනවා.
අපි කොහොම හරි එතැනින් යන්න පිටත් වුණා. අපි ගියා කියලා දැනගෙන කොටි පිටිපස්සෙන් එනවා අපේ පැත්තට ග්‍රෙනේඩ් ගහමින්. උන් අපිට පන්න පන්නා ගැහුවා. අපි තේරුම් ගත්තා ග්‍රවුන්ඩ් එකේ වාසිය 100%ක්ම තියෙන්නේ කොටින්ට කියලා. අපිට ඒ වෙලාවේ තියෙන්නේ ජීවිතේ ආරක්ෂා කරගැනීමේ අරමුණ විතරයි. ක්‍රියාන්විතය ගැන ඔළුවේ නැහැ. අපි කිලෝමීටරයක් විතර පිටිපස්සට පසුබැස්සා. එතැන තියෙන්නේ වැවක්. වැව ළඟ අඩිපාරවල් ගොඩාක් තිබුණා. ඒ කියන්නේ කොටි සාමාජිකයන් ඒ වැව හරහා යනවා කියන එකයි.
ඒ වෙලාවේ මගෙ අතේ තියෙන්නේ ත්‍රස්තවාදීන්ට සමාන ඇඳුමක් සහ ටී.45 ගන් එකයි, එක මැගසින් එකක් සහ ග්‍රෙනේඩ් දෙකක් විතරයි. අඩුම ගානේ වතුර බෝතලයක්වත් නෑ. අනිත් අය ළඟත් ඒ විදියම තමයි. ඒ වෙද්දී ලෙෆ්ටිනන් රාජකරුණා මියගිහින් තිබුණේ වෙඩි වැදිලා. මම ඒක දැනගත්තේ පස්සේ. දැන් අපි එතැනින් යන එක හරිම අවදානම්. අපි එද්දී අපි ළඟ ජී.පී.එස්, කොම්පස් තිබුණා. දැන් ඒ කිසිම දෙයක් නෑ. අවදානම වැඩියි. අනිත් එක කොටි දන්නවා දවස් කිහිපයක් ඇතුළත තමිල් සෙල්වම් මේ පාරෙන් යනවා කියලා. එස්.එෆ්. එකෙන් ඇවිත් තියෙන්නේ ඔහුව ඉලක්ක කරගෙන කියන එකත් කොටි දන්නවා.
කොහොම හරි රාත්‍රිය උදාවුණා. වෙඩි හඬවල් ඇහෙනවා වටෙන්ම. බඩගින්න සහ පිපාසය දැනෙන්න පටන්ගන්නවා. ඒත් අපි කාගෙනම හිටියා. එතකොට අපි හතර දෙනාටම මුත්‍රා දැවිල්ලක් ඇතිවුණා. කරන්නම දෙයක් නැති තැන අපි හතර දෙනාම අතින් කාණුවක් හාරගෙන ඒකට බැහැලා සීතල වැලිවලින් අපේ ඇඟ තෙමාගත්තා.
නමුත් මුත්‍රා දැවිල්ලට සහනයක් ලැබුණේ නෑ. ඉවසගෙන හිටියා උදේ වෙනකල්. එතකොට අපි තීරණය කළා එතැනින් යන්න ඕනේ කියලා. ඒ වෙනකොට අපි හිටියේ වල්මත් වෙලා වගේ. ඉන්න තැනක් ගැන අදහසක් නෑ, කරන්නේ මොනවද කියලා කිසිම දෙයක් පැහැදිලි නෑ. අපි හතරදෙනා ළඟ ඒ වෙද්දී ග්‍රෙනේඩ් 5ක් තිබුණා. මැගසිනුත් කිහිපයක් විතරයි තිබුණේ. ඒවා අත්‍යාවශ්‍යම දේකට පාවිච්චි කරමු කියලා අපි කතාවුණා. ඒ අනුව එදා රාත්‍රියත් අපි එතැන කටු අකුලක ගතකළා. ඒක අමිහිරිම රාත්‍රියක්. උදේ වෙද්දී අපි හැමෝටම දැඩි වතුර තිබහක් ආවා. බණ්ඩාර මට ඒ වෙලාවේ කිව්වා මම ඇඟ කපාගෙන හරි ලේ බොනවා එච්චරට තිබහයි කියලා.
අපි තව ටිකක් ඉදිරියට ගියා. යනකොට ගම්මානයක වගේ හඬවල් ඇහුණා. ගස්වල අතු එහෙමත් කපලා දාලා තිබුණා. ඒ කියන්නේ එතැන ගමක් තියෙනවා කියන එක දැනුණා. ඒත් එක්කම දෙමළ භාෂාවෙන් එනවුන්ස්මන්ට් එකක් යනවත් ඇහුණා. අපි ඒ ගම මගහැර යන්න තීරණය කළා. මේ වෙද්දී පිපාසය ඉවසන්න බැරිම තැන මම මුත්‍රා කරලා ඒවා බිව්වා. බොන්න බොන්න වතුර තිබහා වැඩිවෙන්න ගත්තා. මුත්‍රා යන්නෙත් නෑ. ගොඩක් තටමන්න ඕනේ මුත්‍රා පොඩ්ඩක් යන්න. බණ්ඩාරයි, මමයි, රත්නායකයි මුත්‍රා මාරු කරකර බොන්න ගත්තා. නමුත් පිපාසය අඩුවුණේ නෑ.
පහුවදා උදේම නැවතත් අපි අර කලින් කියපු ගම දිහාවට ගියා. යද්දී අපිට පේනවා හොඳ පාරක් තියෙනවා. ඒ ළඟින් පොඩි අඩිපාරක් තිබුණා. ඒකෙ සිවිල් වැසියෙක් බයිසිකලයක් පැදගෙන ගියා දර වගයක් බැඳගෙන. ඒ මනුස්සයා ළඟත් තුවක්කුවක් තිබුණා. ඒ කියන්නේ කොටි ගමේ අයටත් ආයුධ දීලා තිබුණා. අපි දැනගත්තා ගමේ අයගෙන්වත් අපට සහායක් ලැබෙන්නේ නැති බව. ඒ අනුව අපි ඉස්සරහට යද්දී කොටින් පාර දිගටම තැනින් තැන ආරක්ෂාව තරකරලා තියෙනවා දැක්කා. අපට පාර ක්‍රොස් කරන්න බෑ. සාජන් රාජපක්ෂ මං ළඟට ඇවිල්ලා කිව්වා වෙන කරන්න දෙයක් නෑ, මේ ඔක්කොටම ගහගෙන අපි මෙතැනින් පැනගමු කියලා.
අපිත් ඒකට කැමැති වුණා. එහෙම කතාවෙලා අපි පාර පනින්න හදනකොටම දැඩි ප්‍රහාරයක් එල්ල වුණා අපට. අපිට ඔළුවවත් උස්සන්න දුන්නෙ නෑ. ඒ තරම් දරුණු ප්‍රහාරයක් එල්ල කළේ. අපි ඒකෙන් බේරිලා මීටර් 30ක් විතර යද්දී ඇහැල ගහක් තිබුණා. එතැනම හුඹහක් තිබුණා. මම එතැන ඉන්නකොට සාජන් රාජපක්ෂ ඉස්සරහින් පැන පැන එනවා දැක්කා. රාජපක්ෂට ෂොට් එකක් වැදිලා හිටියේ. අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ඔහුගේ බොඩි එක අරගෙන යන්න බෑ. සීයක් විතර අපිව වටකරලා ඒ වෙද්දී. ඔහුගේ නිසල සිරුර හැරදාලා අපිට යන්න සිදුවුණා. දැන් අපි තුන්දෙනා එකපාරටම පාර පැනලා එකම වේගයෙන් මීටර් 700ක් විතර දිව්වා.
දුවගෙන යද්දී ලොකු වැලක පැටලිලා තුන්දෙනාම වැටුණා. දැන් පිපාසය ඉවසන්න බෑ. නමුත් එහාපැත්තේ වැවකුත් තියෙනවා. වතුර බොන්න වැවට ගියොත් අපිට වෙඩිකන්න වෙනවා. ඊට පොඩ්ඩක් එහාට වෙන්න තිබුණා කුඹුක් ගහක්. අපි ඒ ගහේ මුල හාරගෙන ඇතුළට බැස්සා. එතකොට කිරිමැටි මිශ්‍ර වතුර ටිකක් මතුවුණා. අපට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ. මම ඉක්මනටම තොල්දෙක ඒකෙන් තෙමාගත්තා. ඒ වෙද්දී අපි කිසිම ආහාරයක් නොගෙන ගතවෙච්ච අටවැනි දවස. අපි තුන්දෙනාටම නැගිටගන්න බෑ. කරට අත දාගෙන තමයි තුන්දෙනා නැගිටින්නේ.
ඊට එහායින් තිබුණේ විවෘත භූමියක්. අපි තුන්දෙනා කතාවුණා මොනවා වුණත් බිම දිගේ බඩගාගෙන යන්න. රෑ අට වගේ වෙද්දී අපි මීටර් 300ක් විතර බඩගාගෙන ආවා. පාන්දර එක විතර වෙනකොට ප්‍රධාන පාරට මීටර් 50ක් විතර කිට්ටුවට අපිට එන්න පුළුවන් වුණා. ඒ හරියේ කොටි සාමාජිකයෝ කීප දෙනෙක් කතා කරකර හිටියා. අපි ඔවුන්ට සැක නොහිතෙන විදියට බොහොම උපක්‍රමශීලීව පාර පැනගත්තා. කැලේ මැදින් මීටර් 500ක් විතර ගිහින් අපි නතර වෙලා එදා රෑ එතැන නැවතුනා.
පහුවදා පාන්දර ආයෙත් අපි පිටත්වෙන්න හදනකොට අපිට බඹර ප්‍රහාරයක් එල්ල වුණා. ඒකෙන් අපි එදා දවසම වේදනාවෙන් ගතකළා. ආයෙත් රෑ 7ට විතර අපි ගමන පටන්ගත්තා. එදා දවසත් රෑ වෙනකල් ගමන් කරලා නිදාගෙන, පහුවදා උදේ 11ට විතර අවදි වෙලා ආයෙත් ගමන ආරම්භ කළා. ටික දුරක් යද්දී වාහන සද්දෙ ඇහෙනවා. අපි දැනගත්තා මේ ඒ-9 පාර තමයි කියලා. ඒත් එක්කම අහසේ නියමුවන් රහිත ගුවන් යානා පියාසර කරනවා දැක්කා. ඒවා ගුවන් හමුදාවෙන් එවලා තියෙන්නේ අපේ තොරතුරු ලබාගන්න. අපි ගාව තිබුණු දිලිසෙන දේවල් අපි ඒ යානය දිහාවට ඇල්ලුවා. නමුත් සාර්ථක වුණේ නෑ.
අපි ඔය විදියට තවත් දවස් කිහිපයක් කැලේ මැදින් ඇවිදගෙන ගියා. එක වෙලාවක කිලෝමීටර් 17ක් විතර ඈතින් දුමක් නගිනවා දකින්න ලැබුණා. අපි ඒ දුම එන පැත්තට යන්න පටන්ගත්තා. එහෙම යද්දී මම දැක්කා වැවක්. එතැන නෙලුම් දඬු කඩන්න ගුරුපාට ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් ඇවිත් හිටියා. අපි හිතුවේ ඒ කොටි සාමාජිකයෙක් කියලා. ඔහු අපිව දැකලා ‘කොටි ආවෝ කොටි ආවෝ’ කියලා කෑගහගෙන දිව්වා. අපි හිටපු තැනම හරිම අමාරුවෙන් වැතිරිලා හිටියා. අපි ඇවිල්ලා තිබුණේ යුද හමුදාවේ බලප්‍රදේශයට. ටික වෙලාවකින් යුද හමුදාවෙ සහ පොලිසියේ කිහිප දෙනෙක් අපි ළඟට ආවා. ඔවුන් හිතලා තියෙන්නේ අපි කොටි සාමාජිකයෝ කියලා.
ඉන් පස්සේ අපි මේ කතාකරන පොලිස් මුරපොළ තිබුණු තැනට අපිව අරගෙන ආවා. මට කතාකරගන්න බැහැ. රත්නායක විතරක් අමාරුවෙන් කිව්වා අපි එස්.එෆ්. එකේ අය කියලා. ඊට පස්සේ තමයි විශේෂ බළකායේ නිලධාරීන් අපි ළඟට ආවේ. ඉන් පස්සේ වවුනියාවට අපිව අරගෙන යනවා. එහෙ දවස් හතරක් විතර ඉන්නකොට තමයි අපි යථා තත්ත්වයට පත්වුණේ. ඊට පස්සේ තමයි අපේ ගෙවල්වල අයට කියලා තියෙන්නේ අපි ජීවතුන් අතර ඉන්න බව.
අපේ ප්‍රහාරය අසාර්ථක වුණා. නමුත් මේ ප්‍රහාර සැලසුමෙන් ඉගෙනගන්න තියෙන දේවල් බොහෝයි. ඒ නිසාම විශේෂ බළකා පුහුණු පාසලේ සෙබළුන්ට අපි ලබපු අත්දැකීම් පාඨමාලාවක් විදියට හදාරන්නත් අවස්ථාව සලසා දීලා තියෙනවා මේ වෙද්දී.