සමාජයේ දරුවකුට හිමිවිය යුතු තැන වැඩිහිටියන් විසින් අහිමි කළ ශෝචනීය පුවත් කිහිපයක්ම පසුගිය දිනවලදී අපට අහන්න ලැබුණා. මල් වැනි පුංචි දරුවන් මේ ලෝකයට පිපීගෙන එන විට ඒ දරුවන්ගේ ජීවිත වැඩිහිටියන් විසින් සිඳලන්නට ක්‍රියා කිරීම කොයිතරම් කනගාටුදායකද?
එවැනි පුංචි දරුවන් දෙදෙනෙක් ජීවිතයෙන් වන්දි ගෙව්වේ වැඩිහිටියන්ගේ මේ කෲර බව නිසයි. තවත් දරුවෙක් ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටින්නේද මේ වැඩිහිටියන්ගේ නොමනා කම් නිසයි.
මෙහි පළමු සිදුවීම සිදුවුණේ කොස්මෝදර ප්‍රදේශයේ නිවෙසකදී. මව සහ පියා අතර ආරවුලකට මැදිව අවුරුදු 09ක පුංචි දරුවකු එහිදී ජීවිතයෙන් වන්දි ගෙව්වා. සුළු පියා, මවට එල්ල කළ පිහි පහරකට මැදිව ඒ දරුවා මියගියා. එම ප්‍රහාරයෙන් මේ දරුවාගේ හිසට සහ මොළයට බරපතළ හානි සිදුවුණා. එය සිදුවුණේ තමන්ව දස මාසයක් කුස තුළ තියන් මෙලොවට බිහිකළ අම්මාගේ ජීවිතය බේරාගන්නට යෑමෙන් වීම කොයි තරම් කනගාටුදායකද? ඇයි මෙහෙම මිනිස්සු තිරිසනුන් ලෙස ක්‍රියා කරන්නේ.
මෙසේ ජීවිතයෙන් වන්දි ගෙව්වේ වරල්ල උවරගල බොරළුහේන වැලිමාරුවේ පදිංචිව සිටි වැලිව බෞද්ධ මහා විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු හෑගොඩ ගමගේ සදෙව් මෙත්සර නමැති නව හැවිරිදි දරුවෙක්. මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් පසු වුණත් ඒ බලාපොරොත්තු බොඳව ගියේ තමන්ගේ ආදරණීයයකුගේ පිහි පහරින් වීම කොයි තරම් කනගාටුදායකද?
මේ ඝාතනය සිදුකළ සුළු පියා 44 වැනි වියේ පසුවූ ප්‍රසන්න වික්‍රමගේ නමැති පුද්ගලයෙකි. මොහු ‘පර්පල් රේන්ජ්’ නම් ජනප්‍රිය සංගීත කණ්ඩායමේ ඔක්ටපෑඩ් වාදකයා ලෙස කටයුතු කරමින් සිට ඇත. මෙයට අමතරව දෙණියාය කලාපයේ පාසලක මුරකරුවකු ලෙසද සේවය කර තිබුණු බවද දැනගන්නට ඇත. පසුගිය 27 වැනිදා මෙම පුද්ගලයා ඔහුගේ බිරිය සමග ආරවුලක් ඇතිකරගෙන තිබුණා. මේ බහින්බස් වීම දුරදිග යාමෙන් බිරියගේ ස්කූටරයටද හානි සිදුව තිබුණා. බිරිය එම පහරදීම් ඉවසා දරාගැනීමට නොහැකිව දරුවන් දෙදෙනාද සමග යතුරුපැදියෙන් පොලිසියට යෑමට සූදානම් වුණා. නමුත් දෛවය ඒ සියල්ලටම හරස් වුණා. ඔවුන් පොලීසිය වෙත පිටවන්නට පෙර සදෙව් තම අම්මාට පවසා සිටියේ ‘අම්මාට ගහන්න හැදුවොත් මම බයිසිකලේ හිටගන්නවා. ඒක නිසා බයිසිකලයේ ඉස්සරහින් මම ඉඳගන්නම්. එතකොට අම්මාට වදින්නේ නැහැනේ’ යනුවෙන්. මොවුන් පිටත් වීමට සුළු මොහොතකට පෙර මේ ස්වාමිපුරුෂයා ගෙදරින් පිටත්වී ගොස් ඇති අතර අතරමග ස්ථානයක් වූ ඉලුක්කැටිය පාලම අසල තේ වත්තක සැඟව සිට ඔවුන් යනමග හරස් කරන්නට වුණා. එහිදී බිරියට කිසිවක් කරකියාගන්නට අවස්ථාවක් ලැබී නැහැ. පුංචි පුතු අම්මාට වූ පොරොන්දුව ඉෂ්ට කරන්න දෙපාරක් සිතුවේද නැහැ. කවුරුවත් අසලක සිටියේද නැත. ස්වාමිපුරුෂයා, යතුරුපැදියේ සිටි බිරියට වැරෙන් පිහි පහරක් එල්ල කරන්නට වුණා. සදෙව් වහාම බයිසිකලයෙන් නැඟිටින්නට උත්සාහ කරද්දී සදෙව්ගේ හිසට පිහිපහර වැදී තිබුණා. බරපතළ තුවාල ලැබූ සදෙව් ඉක්මනින් මොරවක රජයේ රෝහලට ඇතුළත් කෙරුණා.
මේ කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් රත්නායක ලියනගේ දිනේෂි සඳරුවනි (32) (සදෙව්ගේ මව) සාක්ෂි දෙමින් මෙසේ පවසා සිටියා.
‘මහත්තයා මා සමග රණ්ඩු වුණා. මට පහර දීලා මගේ යතුරුපැදියේ සීට් එකටත් හානිකළා. එදා මම පොලීසි යන්න ලෑස්ති වෙනකොට එයා ගෙදරින් ගිහින් මඟ තේ වත්තක හැංගිලා හිටියා. ලොකු පුතා පිටිපස්සේ වාඩිවුණා. පොඩි පුතා ඉස්සරහ වාඩි වුණා. පොඩි පුතා යන ගමන් මාත් එක්ක කිව්වේ තාත්තා අම්මාට ගහන්න හැදුවොත් මම නැඟිටිනවා එතකොට අම්මාට තුවාල වෙන්නේ නැහැ කියලා. ඒ කියලා වැඩි දුරක් යන්න වුණේ නැහැ. මහත්තයා මග හැංගිලා හිටියා. එකපාරට මහත්තයා ඉස්සරහට පැන්නා. තේ කපන පිහියෙන් මට ගහනකොට පොඩි පුතා නැගිට්ටා. මට ගහපු පිහි පාර පොඩි පුතාට වැදුණා. මට කරකියාගන්න දෙයක් නැතිවුණා. මම පුතාව මොරවක රෝහලට ගෙන ගියා. ඒ පිහි පාරෙන් මමයි මැරෙන්න තිබුණේ. ඒත් පොඩි පුතා මං නිසා ජීවිතය පුජා කළා. මං පුතා නැතුව කොහොමද ජීවත් වෙන්නේ…?’
මේ පුංචි පුතා ජීවිතය පුජා කළේ ලේ කිරි කරලා පොවලා අවුරුදු 9ක් හැදුව තමන්ගේ අම්මාගේ ජීවිතය ආරක්ෂා කරගන්නයි.
පුංචි සදෙව් මොරවක රෝහලෙන් කරාපිටිය රෝහලට මාරුකර යැවුණා. මොරවක රෝහලේ වෛද්‍යවරුන්ට දහස් වරක් පින් සිදුවන්නට ඕනේ. ඔවුන්ගේ වෘත්තිය පසෙකලා මේ දරුවා ගිලන් රථයකින් කරාපිටිය රෝහලට රැගෙන යාමට ඔවුන් ඉදිරිපත් වුණා. සදෙව්ගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍ය ඩී.ඩබ්. කළුතොට මහතා සහ වෛද්‍ය රවී ධර්මසේන මහතා ගත් උත්සාහයට බොහෝ දෙනෙක් ඔවුන්ට පින් දුන්නා.
දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක්ම ප්‍රතිකාර ලැබුවත් පසුගිය 30 වැනිදා මේ පුංචි දරුවා වැඩිහිටියන්ගේ ඉවසීම ගැන පාඩමක් කියා දෙමින් ජීවිතයෙන් සමුගෙන ගියා. පොලීසිය සඳහන් කළේ දරුවාගේ සුළුපියා වන වාදන ශිල්පියා සමග සදෙව්ගේ මව මෑතකදී විවාහ වී ඇති බවයි. කොස්මෝදර පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. මොවුන් දෙදෙනා විවාහ වී තිබුණේ මීට මාස 08කට පෙරදීයි. දෙදෙනාම මීට පෙර විවාහවී සිටි අය බවද හෙළිවී තිබෙනවා. පුංචි සදෙව් මවගේ දෙවැනි විවාහයේ දරුවෙකි.
මේ පුංචි සදෙව්ට තමන් ජීවිතය හැර යන බවට ඉඟියක් දැනී තිබුණාද යන්න හෙළිවන සිදුවීමක්ද ඊට දින කිහිපයකට පෙර සිදුව තිබුණා. ඒ, ඔහු අඳින ලද සිතුවමක් පාසල් බෑගයේ තිබී හමුවීමත් සමගයි. එම චිත්‍රය දකින ඕනෑම කෙනකුගේ හදවතේ ජනිත කළේ වේදනාවක්. කුඹියෝ බස්එක චිත්‍රයට නගලා පාට කරලා ‘නිවන් සුව ලැබේවා’ කියලා එහි ඉහළින් සටහන් කර තිබුණා.
‘අනේ සදෙව් පුතේ ඔයා එහෙම කියලා යන්නම ගිහින්. මේක දකින ඕනෙම කෙනකුගේ හදවත නවතින්න තරම් දුකක් දැනෙනවා. හැම අම්මා කෙනකුටම හැම තාත්තා කෙනකුටම පණිවුඩයක් දීලා මගේ පුතා යන්නම ගිහින්….’
සදෙව්ගේ හොඳම මිතුරා කියූ දෙයක් සමාජ මාධ්‍යයේ පළවී තිබුණේ මෙසේයි.
‘ටීචර් කිව්වා ඔයා ආය ඉස්කෝලේ එන්නේ නැහැ කියලා. ඔයා මට එහෙම කියලා නැති හින්දා මට ඒක බොරු කියලා හිතුණා. ඔයාට සනීප නැහැ අපි හවස බලන්න යමු කියලා ටීචර් මගේ ඔළුව අතගාලා කිව්වා. ඒ කියත්දිත් ටීචර්ගේ ඇස්වල කඳුළු තියෙනවා මම දැක්කා. ඔයාට අසනීප නිසා අපි යාළුවෝ කතා වුණේ ඔයාට පලතුරු අරගෙන යන්න කියලා. ටීචර් කිව්වා ඒවා ඕනේ නැහැ කියලා. ටීචර් ඔයාගේ ගෙදර ගියාම මාව බදාගෙන ඇඬුවා. අපි දන්නේ නැහැ ගේ ඇතුළට යනකල්ම ඔයා මෙහෙම නිදාගෙන ඉන්නවා. ඔයා මෙහෙම ඉන්නකොට මට යන්න බැහැ…’
මෙවැනි තවත් අනුවේදනීය සිදුවීමක් වාර්තා වුණේ යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ කුරුඳු වාඩියකින්. එහිදී සිදුවූ වෙඩි තැබීමකින් සිවු හැවිරිදි අනුත් සත්සර නමැති කුඩා දරුවෙක් සහ තිස්හැවිරිදි පුද්ගලයෙක් මියගියා. සිවු හැවිරිදි දරුවාට වැදුණු වෙඩි පහරින් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛiවරුන්ට හැකියාව ලැබුණේ නැහැ.
මෙම ඝාතනවලට හේතු වී තිබුණේ 2019 සැප්තැම්බර් 06 වැනිදා ඇල්පිටිය අටකෝට්ටේ බස් රථයක් තුළ පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියක්. ඌරගහ සිට පැමිණි යතුරුපැදිකරුවකු වෙඩිතබා මෙම ඝාතනය සිදුකර තිබුණා. මියගිය 33 හැවිරිදි පුද්ගලයා මිනීමැරුම් නඩුවක සැකකරුවෙක් බව පොලිසිය ප්‍රකාශ කළා. නමුත් ඒවායේ වන්දිය ගෙවන්නට සිදුවුණේ ඔහුට පමණක් නොවෙයි. ඔහු සේවය කළ කුරුඳු වාඩියේ සෙල්ලම් කරමින් සිටි අසරණ දරුවකුත් ඊට බිලිවුණා. දරුවාගේ උදරයට වෙඩි ප්‍රහාරය වැදී තිබූ අතර, කරාපිටිය රෝහලේ ඔහු දින කිහිපයක්ම ප්‍රතිකාර ලැබුවා.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ දරුවා පසුගිය 30 වැනිදා ජීවිතයෙන් සමුගෙන ගියා.
මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් දරුවාගේ මිත්තණිය මෙලෙස පවසා සිටියා.
‘මේ කිරිසප්පයා මැරුව උන්ට කියන්න අපිවත් මරාදාන්න කියලා. දැන් කොහොමත් එකයි. අම්මාටයි තාත්තාටයි සේලයින් දෙනවා. මේ දුක කොහොම දරන්නද? දැන් අපේ මුළු පවුලම ඉවරයි…’
මේ වෙඩි ප්‍රහාරය තබන අවස්ථාවේ දරුවාගේ සීයාද ඒ ස්ථානයේ සිට ඇති අතර, ඔහු ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි.
‘මේ වෙලාවේ කුරුඳු වාඩිය ඇතුළේ මමත් හිටියා. මගේ ළඟ දරුවා හිටියේ. අපි කිසිම දෙයක් දන්නේ නැහැ. මොනවාද වුණේ කියලා හිතාගන්න බැහැ. අපි ළඟට අඳුරන්නේ නැති උන් ආවා. අතේ තුවක්කුවක් තිබුණා ‘මේ ඉන්නේ’ කියලා කිව්වා. මට එච්චරයි ඇහුණේ. ඊට පස්සේ කුරුඳු තළපු මනුස්සයට වෙඩි තිබ්බා. එක දිගටම එහෙම වෙඩි තියනකොට ඒ උණ්ඩයක් දරුවටත් වැදුණා. ඒ වැදුණු ගමන් ලේ පැන්නා. මම කෑගහලා දරුවා අතට ගත්තා. ‘බුදු මහත්තයෝ මොකද මේ කරන්නේ’ කියලා කෑගහලා ඇහුවා. උන් දෙන්නා බලන්නෙවත් නැතුව යන්න ගියා. අනේ මේ දරුවා මොනව කරන්නද? ඒත් මේ අසරණ දරුවා අතේ කිසිම වරදක් නැහැ. කිසිම දරුවකුට මේ වගේ දෙයක් වෙන්න එපා කියලයි මම පතන්නේ. මේ වගේ අපරාධ නැත්තට නැති කරන්න ඕනේ…’
මේ සිදුවීම් මෙසේ සිදුවෙද්දී එවැනි තවත් සිදුවීමක් පසුගිය 28 වැනිදා වාර්තා වුණේ තිහගොඩ නායිම්බල ප්‍රදේශයෙන්. 15 හැවිරිදි පාසල් සිසුවෙක් වූ හරිෂ් හසංක දේශාන් පොලිසිය එල්ල කළ වෙඩිපහරකට ලක්ව තිබුණා. වෙඩි පහර වැදී තිබුණේ දරුවාගේ හිස ප්‍රදේශයටයි. ඔහු මේ වන විට ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවයි කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ එස්.පී.යූ.එම්. රංග මහතා පැවැසුවේ.
දේශාන් තවත් දරුවන් සිවුදෙනකු සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර, එම රථය පොලිස් අණ නොතකා ධාවනය කළ බවත්, එම නිසා රථය හඹාගොස් වෙඩිතැබූ බවත් පොලිසිය පවසා තිබුණා. දරුවන් නිවෙස්වලින් පිටව ගොස් තිබුණේ ගමේ විහාරස්ථානයේ කඨින පින්කමට මොනර පිහාටු සොයාගෙන ඒමේ අදහසින්. වෙඩි ප්‍රහාරයට ලක්වූ හරිෂ් හසංක දේශාන් නායිම්බල විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙකි. වෙඩි ප්‍රහාරයට ලක්වූ දේශාන් මාතර රෝහලට ඇතුළත් කළත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන නිසා කරාපිටිය රෝහලට මාරුකර යවා තිබුණා. වෙඩිතැබීම සිදුකළ අදාළ උපපොලිස් පරීක්ෂකවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් දේශාන්ගේ සහෝදරයකු පැවැසුවේ මෙවැන්නක්.
‘මල්ලිගේ හිසට පොලිසිය වෙඩිතියලා තිබුණා. මල්ලියි තව 4 දෙනකුයි ගිහින් තිබුණේ පන්සලේ කඨින පින්කමට මොනර පිහාටු හොයන්නයි. මල්ලිලව රෝහලට ඇතුළත් කරලත් තියෙන්නේ පොලිසියෙන්ම තමයි..’
මේ හදවත්වල නැගෙන දුක් ගින්දරයි පිටවන්නේ. අහිංසක දරුවන් වන්දි ගෙව්වේ සමාජයට රටට කිසිම වරදක් නොකරයි. මියගිය දරුවන් දෙදෙනාගේ පවුල්වල ආදරණීයයන් දැවෙන හදවත්වලින් යුතුව ජීවත් වෙනවා. මේවාට වගකිව යුත්තේ බලධාරින්ය. මේ මිහිමඬලේ නිදහසේ ජීවත් වෙන්න ඔවුන්ට ඉඩ සැලැසීම රටක සමාජයක වගකීමක් බව දැනගෙන සියලු දෙනා කටයුතු කළා නම් අද මෙවැනි සිදුවීම් අපට අහන්නට දකින්නට ලැබෙන්නේ නැහැ. රටක හරි නීතියක් නැතිකමින් මෙලෙස අහිංසක ජීවිතවලට වන්දි ගෙවන්නට සිදුවී තිබීම කනගාටුවට කරුණකි.
නිලන්ති රේණුකා