ශ්‍රී ලංකාවේ නම් මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ එක් දිනයක් හෝ දින දෙකක් ඇතුළතදීය. එනම් එක් දිනක් ඡන්ද විමසීමටත්, තවත් දිනයක් ඡන්ද ගණන් කිරීමට සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමටත් භාවිත කරනු ලබයි. ලෝකයේ බොහෝ රටවල පැවැත්වෙන විවිධාකාරයේ මැතිවරණයන් සඳහා මේ ආකාරයේ විවිධ කාලවකවානු අදාළ කරගනු ලබයි. එම කාලයන් නිර්ණය කරනු ලබන්නේ එම රටවල විශාලත්වය සහ ජනගහනයට අනුවය. එනම් මේ ආකාරයට ලොව විශාලතම මහ මැතිවරණය පවත්වනු ලබන රට කුමක්ද? ඒ සඳහා කුමන කාලයක් ගතවනු ලබන්නේද? මෙතෙක් ලෝක වාර්තා සහ දත්තවලට අනුව එම සුවිශාලතම මහ මැතිවරණය පවත්වන රට වන්නේ අපගේ ශ්‍රී ලංකාවට යාබද දේශය වන ඉන්දියාවය. ලෝක දේශපාලනික විශ්ලේෂණයන්ට අනුව මෙලෙස ඉන්දියාවේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහා හරියටම මාස එකහමාරක (දින 44ක) කාලයක් ගතවන අතර, මෙය ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙස සැලකෙයි. මේ දිනවල ඉන්දියාවේ 2024 මහ මැතිවරණය අරඹා ඇත්තේ මේ ආකාරයටය. (Sri Lanka Latest News)
ඉන්දියාව යනු අද ලෝකයේ වැඩිම ජනගහනය සිටින රට බවට වාර්තා වෙයි. මුලින් එහි අංක එකට චීනය තිබුණද මෙයට වසර දෙකකට පමණ ඉහතදී එම වාර්තාව බිඳදැමීමට ඉන්දියාව සමත් විය. එනම් මේ වන විට ඉන්දියාවේ සමස්ත ජනගහනය කෝටි 142ක් බව වාර්තා වන අතර, දෙවැනි ස්ථානයට පත් චීනයේ ජනගහනය එම ප්‍රමාණයට වඩා මිලියන දෙක තුනක් පමණ අඩුය. ආසියාවේ මහා බලවතා ලෙස සැලකෙන්නේ චීනයයි. ඉන් පසුව දෙවැනි ස්ථානය ගන්නේ ඉන්දියාවය. මෙලෙස ලොව විශාලතම ජනගහනය සිටින ඉන්දියාවේ මැතිවරණ පැවැත්වීම යනු මහා විශාල කාරියකි. එනම් එම දැවැන්ත මෙහෙවර සඳහා වැයවන මහා ධනස්කන්ධයද අසීමිතය. එහිදී රාජ්‍ය පාර්ශ්වයෙන් වැයවන ධනයට අමතරව එක් එක් මැතිවරණ අපේක්ෂකයන් විසින් වැයකරනු ලබන ධනයද විශාලය. එසේම ඉන්දියාවේ මැතිවරණයක් පැවැත්වීම යනු දින සති හා මාස ගණන්ද ගතවන පුළුල් කාර්යයකි. එහිදී ඉන්දියාවේ මහ මැතිවරණය නොහොත් ‘ලෝක් සභා මැතිවරණය’ පැවැත්වීම යනු වදනින් පවා විස්තර කර නිමාවක් නොදකින කතාවකි. එනම් මෙයට යම් කලකට පෙර සිට මෙම මහ මැතිවරණයේ වගතුග මාධ්‍ය වෙතින් හෙළිදරව් කර තිබිණි. මෙම විස්තරවලට අනුව 2024 ඉන්දීය මහ මැතිවරණය 2024 අප්‍රේල් 19 වැනිදා ආරම්භ වුණු අතර, 2024 ජුනි 01 දා නිමාවට පත්වෙයි. මෙම ඡන්ද විමසීම අදියර 07කින් දින 44ක් පුරා පැවැත්වෙන අතර, ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 543ක් තෝරාගැනීම සිදුකෙරෙයි. මෙම මහා සටනේ අවසාන ප්‍රතිඵල නිකුත් කරනු ලබන්නේ 2024 ජුනි 04 වැනිදාය. නව රජයක් පිහිටුවීම සඳහා ආසන 272ක බහුතරයක් අවශ්‍ය වෙයි. මිලියන 960ක ජනතාවක් ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇත.
මෙවර 2024 ඉන්දීය මහ මැතිවරණය (ලෝක් සභා මැතිවරණය) අදියර 07කින් පැවැත්වෙන අතර, පළමු අදියර අප්‍රේල් 19 ඇරැඹි අතර, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 07 දා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත්, මැයි 25 වැනිදා සයවැනි අදියරත්, ජුනි 01 වැනිදා හත්වැනි අදියරත් පැවැත්වෙන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙයි. මෙම අදියර 07 අවසාන වීමත් සමග ඡන්ද විමසීම අවසන් වන අතර, ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජුනි 04 දා සිදුකෙරෙනු ඇත. මෙසේ පසුගිය අප්‍රේල් 19 වැනිදා ඇරැඹි මහ මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන මිලියනයක් ඉන්දියාව පුරා පිහිටුවා ඇත. මේවායෙහි මැතිවරණ නිලධාරීන් මිලියන 15ක් පමණ මේ වන විට සේවයෙහි නියුක්තව සිටියි. මේ ආකාරයට බලන විට මෙම සුවිශාල මැතිවරණ ක්‍රියාදාමය මැතිවරණ යුද්ධයක ස්වරූපයක් ගෙන ඇත. මේ දිනවල ඉන්දියාව තුළ මෙම මහා මෙහෙයුමේ විවිධ දසුන් රාශියක් දැකගන්නට ඇත.
දැනට පසුගිය මහ මැතිවරණ දෙකකදීම ඉන්දියාවේ පාලන බලය හිමිවූයේ වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයටය. මෙම පක්ෂය මේ වනවිට ඉන්දියාවේ අතිවිශාලතම පක්ෂය මෙන්ම ප්රබලතම පක්ෂය ලෙසද සැලකෙයි. එහෙත් ඉන්දියාවේ අනෙකුත් සමහර පක්ෂ තරම් විශාල දේශපාලන ඉතිහාසයක් නැති මේ පක්ෂය ආරම්භ කර තවම ගතවී ඇත්තේ වසර 44ක් වැනි කාලයකි. එනම් 1980 අප්‍රේල් 06 වැනිදා මෙම දේශපාලන පක්ෂය ආරම්භ කර ඇත්තේ ඉන්දියාවේ තෙවරක් අගමැති ධුරය දැරූ ප්‍රකට දේශපාලනඥයකු වන අටාල් බිහාර් වජ්පායි විසිනි. ඔහු 2018 වසරේදී 93 හැවිරිදි වියේදී මියගියේය. වර්තමානයේදී මෙම පක්ෂයේ නායකත්වය දරන්නේ දැනට 73 වැනි වියෙහි පසුවන වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිය. ඔහුගේ නායකත්වය යටතේ පසුගිය ඉන්දීය මහ මැතිවරණ දෙකෙන්ම ඉතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේය. එම අවසාන මහ මැතිවරණය වූයේ 2019 මැතිවරණයයි. එහිදී භාරතීය ජනතා පක්ෂය විසින් ආසන 303ක් දිනාගත් අතර, එය මුළුමහත් ඡන්ද ප්‍රතිශතයෙන් 37.36%ක ප්රමාණයකි. එවිට මෙම ජයග්‍රහණයට අමතරව තවත් සන්ධානගත පක්ෂ කිහිපයක් එකට එක්වී තවත් ආසන 50ක එකතුවක් සාදාගෙන භාරතීය ජනතා පක්ෂයට එක්විය. ඒ අනුව එම සන්ධානයට පාර්ලිමේන්තුවේ (ලෝක් සභාවේ) ආසන 353ක අතිබහුතර බලය හිමියි. 2019 මහ මැතිවරණයේදී ඉන්දියාවේ දැනට සිටින දෙවැනි ප්‍රබල පක්ෂය ලෙස සැලකෙන ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂයට ලබාගැනීමට හැකිවූයේ ආසන 52ක් පමණක් විය. එහෙයින් එම පක්ෂය අන්ත පරාජයකට පත්විය. මෙම පක්ෂයේ වත්මන් නායකත්වය දරන්නේ ඉන්දියාවේ හිටපු ප්‍රකට අගමැතිවරයකු වන රජිව් ගාන්ධිගේ බිරිය වන සෝනියා ගාන්ධිය. ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂය යනු ඉන්දියාවේ තිබෙන පැරැණිතම දේශපාලන පක්ෂය වන අතර, දැනට එයට වසර 138ක ඉතිහාසයක් ඇත. එය ආරම්භ කර ඇත්තේ 1885 දෙසැම්බර් 28 වැනිදාය. එතරම් අතිශය පැරැණි ඉතිහාසයක් තිබුණද වර්තමානයේ එම පක්ෂයේ ජනප්‍රියත්වය ගිලිහී ඇත.
දැන් එසේනම් මෙවැනි වටපිටාවක් තිබියදී ඉන්දියාවේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය කුමක්ද? එය මේ වන විට බොහෝ දේශපාලන විශ්ලේෂකයන් අවධානයට යොමුකරන හේතු සාධකයකි. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා මේ වනවිට නොකඩවා වසර 10ක් අගමැති ධුරයේ රැඳී සිටියි. ඔහු අගමැති ධුරයට පත්වන්නේ 2014 මැයි 26 වැනිදාය. අගමැති ධුරය හිමිවන්නේ වසර 05ක කාලසීමාවක් උදෙසාය. ඉන්දියාවේ ජනාධිපතිවරයකු සිටියද එරට ප්‍රබල රාජ්‍ය නායක තනතුරවන්නේ අගමැති ධුරයයි. මේ අනුව දැනට පැවැත්වෙන 2024 මහ මැතිවරණයද නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය විසින් දිනාගතහොත් ඔහු තෙවැනි වාරයකටද නැවත අගමැති ධුරයට පත්වෙයි. එනම් එවිට තවත් වසර 05ක් සඳහා එම තනතුර ඔහුට හිමිවෙයි. මුලින් ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැති ධුරයට තේරී පත්වූ නරේන්ද්‍ර මෝදි ඉන් පසුව ලෝක් සභාවේ පාර්ලිමේන්තු ධුරයකට පත්වෙයි. 1995 වසරේ සිට දේශපාලනයට පිවිසෙන ඔහු දැනට වසර 50කට ආසන්න කාලයක් දේශපාලනයෙහි නිරතව සිටියි. ඉන්දියාවේ ඉතිහාසයේ දැනට වඩාත්ම දීර්ඝ කාලයක් අගමැති ධුරය දැරූ අගමැතිවරයා වන්නේ ජවහර්ලාල් නේරු මැතිතුමාය. ඔහු වසර 16කුත් දින 286ක් එම තනතුර දරා ඇත. මෙවර 2024 මහ මැතිවරණයෙන්ද වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි ජයග්‍රහණය කළහොත් ඔහුට තවත් වසර 05ක බලයක් හිමිවනු ඇතිය. එවිට ඔහුගේ අගමැති ධුර කාලය වසර 15ක් දක්වා දීර්ඝ වනු ඇත. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා පසුගිය කාලය තුළ ඉන්දියාවේ පොදු ජනතාව අතර මහත් සේ ජනප්‍රියත්වයට පත්ව සිටින දේශපාලකයකු වෙයි. මෙවැනි වටපිටාවකදී බොහෝ දේශපාලනික විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ මෙවර මහ මැතිවරණයද ඔහු ඉතා පහසුවෙන් ජයගනු ඇති බවය.
2024 ඉන්දීය මහ මැතිවරණයේදී පාලක භාරතීය ජනතා පක්ෂයට ප්‍රධානතම අභියෝගය පැමිණෙන්නේ විශාලතම විරුද්ධ පක්ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රසයෙනි. එම පක්ෂය ප්රමුඛ තවත් දේශපාලන පක්ෂ 24ක් එකට එක්ව මේ වන විට ඉන්දීය ජාතික සංවර්ධනමය සන්ධානය නමින් සන්ධානයක් ගොඩනගාගෙන ඇත. මෙම කණ්ඩායමේ ප්‍රධාන දේශපාලනඥයන් අතරට ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායක හිටපු අගමැති රජීව් ගාන්ධිගේ බිරිය සෝනියා ගාන්ධි සහ එම යුවළගේ දරුවන් වන රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධිද ඇතුළත් වෙයි. ඉන්දීය කොංග්රස් පක්ෂය යනු ගාන්ධි පරපුරේ දේශපාලනය ප්‍රකට කළ පක්ෂයක් වශයෙන් ප්‍රකට වන අතර, වර්තමානයේදී ඉන්දීය ජනතාව එම පවුලේ දේශපාලනය ප්‍රතික්ෂේප කරන ලදී. එම පක්ෂය පසුගිය සමයේ බොහෝ මැතිවරණ පරාජයට පත්වුණේ එම හේතු සාධක මතය. මේ අනුව භාරතීය ජනතා පක්ෂය ජනතාව අතර ප්‍රකටත්වයට පත්විය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ වත්මන් රාජ්‍ය පාලනය යටතේ ගෝලීය වශයෙන් ඉන්දියාවේ ස්ථාවරත්වය ඉහළ ගොස් ඇතැයි විශ්ලේෂකයන් ප්‍රකාශ කරයි. ඔහු බොහෝ අවස්ථාවලදී ඉන්දීය දුප්පත් ජනතාවට සහන රැසක් ලබාදුන් පාලකයකු වශයෙන් ප්රකටය. ඔහු පසුගිය කාලයේ ඉන්දියාවේ අධික ලෙස දුගී බවින් පෙළෙන මිලියන 800ක ජනතාවකට නොමිලේ ධාන්‍ය වර්ග ලබාදුන් අතර, අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ට ඉන්දීය රුපියල් 1,250ක මාසික දීමනාවක්ද ලබාදුන්නේය. එසේම දුගී පවුල්වල දරුවන් සඳහාද නොමිලයේ බොහෝ වරප්රසාදයන් ලබාදී ඇත. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ ක්‍රියාකලාපය අධ්‍යයනය කිරීමේදී ශ්‍රී ලංකාවට පවා එය අමතක කළ නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. එනම් පසුගිය කොවිඩ් සමයේදී සහ දරුණු ආර්ථික අර්බුද සමයේදී ශ්‍රී ලංකාව අන්ත අසරණ තත්ත්වයට පත්වූ අතර, එම ආර්ථික අවදානමෙන් ගොඩ ඒමට ප්‍රධාන වශයෙන්ම උදව් කළ රට වූයේ ඉන්දියාවය. එම සමයේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 05කට අධික මූල්‍ය ආධාර සහ ණය ආධාර ලබාදී තිබිණි. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ පූර්ණ නියෝගයන් මත එම ආධාර ලබාදුන්නේය. එහෙයින් ඔහු ශ්‍රී ලංකාවේ සැබෑ මිත්‍රයකු ලෙස බොහෝ පාර්ශ්ව විසින් හඳුන්වා දුන්නේය. අපට ඉන්දියානු දේශපාලනඥයන්ට මහත් සේ ආවඩන්නට අවශ්‍ය නැත. සිදුකළේ යම් සත්‍යයක් පැහැදිලි කිරීම පමණි.
ප්‍රියන්ත හෙට්ටිගේ