ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද රාත්‍රියේ සිඩ්නි හි Silverwater බන්ධනාගාරය වෙත රැගෙන යන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
dating app ඔන්ලයින් යෙදවුමක් හරහා මුල්වරට තමන් ධනුෂ්ක ගුණතිලකව හඳුනාගත් බවත්, පසුව රෝස් බේහි පිහිටි තම නිවසේදි ඔහු තමන්ව ලිංගික අතවරයට ලක්කළ බවටත් අදාළ තරුණිය පැමිණිල්ල ගොනු කර තිබුණි.
සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලීසිය සඳහන් කළේ සැකකාර ධනුෂ්ක ගුණතිලක අවස්ථා කිහිපයකදී තමන්ට පහරදුන් බවටද පැමිණිලිකාරිය චෝදනා ඉදිරිපත් කර ඇති බවය.
අත්අඩංගුවට ගනු ලැබු සැකකාර ධනුෂ්ක ගුණතිලක Sydney City පොලිසිය විසින් ලිංගික අතවර චෝදනා 04ක් සම්බන්ධයෙන් ඊයේ පැරමටා පොලිස් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණද, එහිදි ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණි.
ඒ අනුව සිඩ්නි හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි ධනුෂ්ක ගුණතිලක අද දෙවන වරට Sydney City පොලීසිය විසින් ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය වෙත ඉදිරිපත් කෙරුණේ විඩියෝ තාක්ෂණය ඔස්සේය.
විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටි ධනුෂ්ක අළු පැහැති ටී – ෂර්ටයක් ඇඳ සිටි බවත් ඔහු අධිකරණය ඉදිරියේ සිය අනන්‍යතාවය තහවුරු කිරීමට පමණක් කතා කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එහි වැඩිදුරටත් දැක්වුණේ ධනුෂ්කගේ දෑතට මාංචු යොදා ඇති ආකාරයද නිරීක්ෂණය වු බවය.
ඒ අනුව ඩව්නිං සෙන්ටර් ප්‍රදේශිය උසාවියේ මහෙස්ත්‍රාත් රොබට් විලියම් හමුවේ මෙම නඩුව කැඳවු අවස්ථාවේ ධනුෂ්ක වෙනුවෙන් නීතිඥ ආනන්ද අමරනාත් මහතා ඇප ඉල්ලීමක් සිදුකර ඇත.-දෙරණ