රෝගී ජනතාවට දරාගැනීමට නොහැකි අන්දමට ඉහළ දමා ඇති ඖෂධ මිලට පාලනයක් ඇති කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර තිබූ යෝජනා කිහිපය පිළිගෙන තිබුණද හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සහ ලේකම්වරයා එම සහනය ලබාදීමට පියවර නොගත් බව එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය.
ඩොලරයේ අගය, විදුලි බිල, ප්‍රවාහන වියදම් සසඳමින් ඇතැම් ඖෂධ සමාගම්ද බෙහෙත් මිල ඉහළ දැමීමට පියවර ගත්තද මේ වන විට අදාළ බාධක ඉවත්වී ඇති මොහොතේ හෝ රෝගීන්ට සහනය සැලසීමට පියවර ගෙන නොමැති බවයි ඔහු සඳහන් කළේ.
විශේෂඥ වෛද්‍යවරුන් සමගද සාකච්ඡා කොට රෝගීන් නිතර පාවිච්චි කරනු ලබන බෙහෙත් වර්ග 850ක පමණ මිල පාලනයක් සිදුකළ යුතු බවට තම සංගමය පෙන්වා දී ඇතත් මිල පාලනයකට යටත් කර ඇත්තේ ඖෂධ වර්ග 150කටත් අඩු සංඛ්‍යාවක් බවද ඔහු පැවැසීය.
බෙහෙත් සැපයුම්කරුවන්ටද ඒ පිළිබඳ සමාජ වගකීමක් සහ සහනයක් ලබාදීමේ සමාජ බැඳීමක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඖෂධ මිල පාලනය පිළිබඳ නිශ්චිත ක්රමානුකූල වැඩපිළිවෙළක අවශ්‍යතාවට අදාළ යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කර දැනටමත් කල්ගතවී ඇති බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න