රුවන්මැලි මහා සෑය වන්දනා කරන්න යන කෙනෙකුට සලපතළ මළුවේ තිබෙන බුදු මැඳුර පසුකොට ඉදිරියට යන විට රුවන්මැලි මහා සෑයට වන්දනා කරගෙන සිටින රජ කෙනකුගේ ප්‍රතිමාවක් හමුවේ. ඒ, භාතිය රජතුමාගේ ප්‍රතිමාවයි.
රුවන්මැලි මහා සෑයට ඉතාමත් ශ්‍රද්ධාවෙන් නොයෙකුත් පින්කම් සිදුකළ භාතිකාභය හෙවත් භාතිය රජතුමා හැම දවසක්ම උදෑසන ආහාර අනුභව කළේ රුවන්මැලි මහා සෑයට වන්දනා කිරීමෙන් පසුවයි. හවසටත් රුවන්මැලි මහා සෑයට වන්දනාමාන කිරීමෙන් පසුවයි ඔහු ආහාර අනුභව කළේ. දවසක් රජතුමාට යෙදිලා තිබුණු කටයුත්තක් නිසා හොඳටම හවස් වුණා. ඒ කටයුතු අවසන් කරලා රජතුමා කෙළින්ම මාලිගාවට ගිහින් ආහාර අනුභව කරන්න වාඩි වුණා. බත් පිඬ අතට ගන්නකොටම රජතුමාට මතක් වුණා අද මම රුවන්මැලි මහා සෑයට හවස්වරුවේ වන්දනා කළේ නැහැ නේද කියලා. රජතුමා බත් පිඬක් අතේ තියාගෙනම ළඟ සිටිය රාජ පුරුෂයන්ගෙන් මෙහෙම ඇහුවා. ‘අද මම මගේ මුත්තණුවන්ට වන්දනා කළේ නැහැ නේද?’ කියල. එදා භාතිය රජතුමා තමන්ගේ මුත්තණුවන් හැටියට ගෞරවයෙන් පිළිගත්තේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් මේ උතුම් දාගැබයි.
රාජ පුරුෂයෙක් රජතුමාට කියනවා, ‘දේවයන් වහන්ස අද දාගැබ් වහන්සේ වන්දනා කළේ නැහැ’ කියලා. රජතුමා කලබලයට පත්වෙලා තමන් අනුභව කරන්න ගත්ත බත් පිඬ ආපහු රන් තලියට දමා නැගිට්ටා. ඉක්මනින්ම මාලිගාවෙන් එළියට ඇවිත් රුවන්මැලි මහා සෑය වන්දනා කරන්න පිටත් වුණා. දකුණු වාසල් දොර විවෘත කරගෙන විහාරයට ඇතුළුවෙලා නැගෙනහිර දොරටුවෙන් චෛත්‍යය මළුවට ඇතුළු වුණා. භාතිය රජ්ජුරුවෝ ඉතාම ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්මැලි මහා සෑය වන්දනා කළා. එදා රජතුමාට පුදුම සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුණා.
භාතිය රජතුමාට ඇහුණා කවුදෝ පිරිසක් බොහොම මිහිරි හඬින් පිරිත් සජ්ඣායනා කරනවා. මේ පිරිත් හඬ ඇහෙන්නේ කොයි පැත්තෙන්ද කියලා රජතුමා මළුව වටේ ඇවිදිමින් සොයා බැලුවා. නමුත් පිරිත් කියන කෙනෙක් දකින්න ලැබුණේ නැහැ. කිසිම භික්ෂුන් වහන්සේ නමක් පෙනෙන්න හිටියෙත් නැහැ. හොඳින් කන් යොමුකරගෙන සිටිද්දී මේ පිරිත් හඬ ඇහෙන්නේ චෛත්‍යයේ ධාතූ ගර්භයේ ඇතුළතින් කියලා රජතුමාට වැටහුණා.
එදා භාතිය රජතුමා නැගෙනහිර වාහල් දොරටුව අසල නැවතිලා චෛත්‍යයට වන්දනා කරගෙන මෙවැනි අධිෂ්ඨානයක් කළා. ‘චෛත්‍යයේ ධාතු ගර්භයෙහි පිරිත් සජ්ඣායනා කරන්නේ කවුද කියලා දැකගෙන මිසක් මම මෙතැනින් නැගිටින්නෙ නැහැ. මම මේ ආකාරයේ ශ්‍රද්ධාවකින් උදේ හවස චෛත්‍යයට වන්දනා කරනවා. ඒ ගුණානුභාවයෙන් මට මේ සිදුවීම දැකගන්න ලැබේවා’ කියලා රජතුමා අධිෂ්ඨානයක් කළා.
භාතිය රජතුමාගේ ගුණානුභාවයෙන් ශක්‍ර දෙවියන්ගේ ආසන උණුවෙන්න පටන් ගත්තා. ශක්‍ර දෙවියන් හිත යොමුකරලා බැලුවා මොකක්ද කාරණය කියලා. ඒ ගැන වටහගත් ශක්‍ර දෙවියන් තවුතිසා දෙව්ලොව සිට වැඩම කොට රුවන්මැලි මහා සෑයේ ධාතු ගර්භය තුළ පිරිත් සජ්ඣායනා කරමින් සිටි ඍද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලාට ඒ බව දැනුම් දුන්නා. ඍද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා ධාතු ගර්භය තුළට වැඩම කොට පිරිත් සජ්ඣායනා කරනවා. ඒ පිරිත් හඬ තමයි රජතුමාට අහන්න ලැබුණේ.
පිරිත් සජ්ඣායනා කරමින් සිටි රහතන් වහන්සේලා අතරින් එක් රහතන් වහන්සේ නමක් තවත් ඍද්ධිබල සම්පන්න තෙරුන් වහන්සේ නමකට පැවරුවා චෛත්‍යය මළුවේ සිටින රජතුමාව ගෙනැවිත් ධාතූ ගර්භය වන්දවන්න කියලා. ඒ රහතන් වහසේ ඍද්ධිබලයෙන් ධාතු ගර්භයෙන් එළියට ඇවිත් භාතිය රජතුමාගේ අතින් අල්ලගෙන රුවන්මැලි මහා සෑයේ ධාතූ ගර්භය ඇතුළට එක්කගෙන ගියා. රජතුමාගේ හිතේ හැටියට ධාතු ගර්භය වන්දනා කරගන්න සැලසුවා. ආයෙමත් සලපතළ මළුවට ගෙනැවිත් ඇරලුවා.
සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේ නමකට තමන්ගේ ඍද්ධිබලයෙන් තව කෙනෙක්ව අහසින් වුණත් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ නන්ද භික්ෂුවගෙ අතින් අල්ලගෙන දිව්‍ය ලෝකය පෙන්වපු සිදුවීම ඔබ අහලා ඇති. අන්න ඒ ආකාරයට තමයි ඍද්ධිබල සම්පන්න මහරහතන් වහසේ නමක් තම ඍද්ධි බලයෙන් භාතිය රජතුමන්ව අතින් අල්ලගෙන ධාතු ගර්භය වන්දනා කරවන්න ඇතුළට ගෙන ගියේ.
ධාතු ගර්භය තුළ සත් රුවනින් යුතුව නිමවා තිබෙන බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු බොහෝ සිදුවීම් රජතුමා නගරවාසීන්ටත් පෙන්නුවොත් හොඳයි කියලා කල්පනා කළා. ඒ අනුව රජතුමා තමන් දැකපු රූප රාජ මාලිගාවේ මිදුලේ මණ්ඩපයක් මත රන්කරුවන් ළවා ඉදිකළා. භාතිය රජතුමා වසරක් පාසාම නගරවාසීන්ට තමන් දුටු ඒ ධාතු ගර්භයෙහි සැලැස්ම ප්‍රදර්ශනය කරපු බවත්, එය දැක සතුටට පත්වූ නගරවාසීන් අතර සිටි බොහෝ කුල දරුවන් පැවිදි වූ බවත් ථූපවංශයෙහි සඳහන් වෙලා තියෙනවා.
ඉතිහාසයෙහි ප්‍රථම වතාවට රුවන්මැලි මහා සෑය තරම් විශාල චෛත්‍යයක් මල්වලින් පුරවලා මල් ඔටුන්නක් ලෙස සරසලා තිසාවැවෙන් ජලය ගෙනැවිත් යන්ත්‍රානුසාරයෙන් කොත් කැරැල්ල තෙක් වතුර මලක ආකාරයට ජලය විදිමින් සතියක් පුරා පූජාවන් පවත්වපු එකම රජතුමා භාතිකාභය රජතුමා පමණයි.
රජතුමා ඒ පූජාව වෙනුවෙන්ම රටේ බොහෝ ප්‍රදේශවල ඉද්ද, දෑසමන් ආදී මල් වර්ග වගා කෙරෙව්වා. දක්ෂ ශිල්පීන්ගේ දැනුම යොදාගෙන ජලය විදින යන්ත්‍රයක් සකස් කෙරෙව්වා. එකසිය විසි රියනක් උසින් යුතුව එදා දුටුගැමුණු රජතුමන් ඉදිකළ රුවන්මැලි මහා සෑය මළුවේ සිට කොත් කැරැල්ලක් දක්වා මල් පුරවලා ඔටුන්නක් ලෙස මල්වලින් වැසුවා. සතියක් පුරාම යන්ත්‍රානුසාරයෙන් ජලය ඉසිමින් චෛත්‍යයට අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් පූජාවන් සිදුකළා. එවැනි ශ්රද්ධාවන්ත රජ කෙනකුගේ ප්‍රතිමාවක් තමයි චෛත්‍යයෙහි සලපතළ මළුව තුළ ඔබට දකින්න ලැබෙන්නෙ.
එදා රජවරු රුවන්මැලි මහා සෑයට සිදුකළ ඒ පූජාවන් ගැන සිහි කරද්දී රුවන්මැලි මහා සෑයේ පූජනීයත්වය එදා රජවරු හොඳින්ම වටහාගෙන සිටි බව පැහැදිලි වෙනවා.
මහාවංසයෙහි සඳහන් වන ආකාරයට බොහෝ රජවරු අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්මැලි මහා සෑයට පූජාවන් සිදුකොට තිබෙනවා. මහානාග නම් රජතුමා චෛත්‍යය වටා තිබුණු වැලි මළුව විශාල කරවලා තිවංක නම් ගල් වර්ගයක් මළුවේ අතුරා අලංකාරවත් ලෙස සකස් කළ බවත් සඳහන් වෙනවා.
උපුටා ගැනීම අන්තර්ජාලයෙනි