ජනතාවගේ ජීවන වියදම තවත් ඉහළ නැග ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හෙළිදරව් කර ඇති නවතම වාර්තාවෙන් අනාවරණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම වාර්තා දක්වා ඇති ආකාරයට 2024 ජනවාරි මාසය තුළ නිල දරිද්‍රතා මායිමේ වටිනාකම රුපියල් 17,014ක් ලෙස සඳහන් වේ.
මෙය 2023 පෙබරවාරි මාසයේ පැවැතියේ රුපියල් 16,152ක මට්ටමකය. ඒ අනුව වසරකට ආසන්න කාල පරිච්ඡේදයක් තුළ එහි වටිනාකම 5%කින් පමණ ඉහළ යෑමක් පෙන්නුම් කෙරේ.
2024 ජනවාරි මාසයේදී හතර දෙනකුගෙන් යුත් පවුලකට අවම ජීවන මට්ටමක් ගතකිරීම සඳහා නැතහොත් මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මාසයකට රුපියල් 68,056ක් අවශ්‍ය වන බව මේ අනුව පැහැදිලි වේ.
මෙම දරිද්‍රතා මායිමේ වටිනාකම ලංකාවේ දිස්ත්‍රික්ක අතරද සැලකිය යුතු වෙනසක් දැකගත හැකි බව සඳහන්ය. ඒ අනුව කොළඹ වැනි දිස්ත්‍රික්කවල එය රුපියල් 18,350ක් ලෙස වාර්තා වන අතර, මොනරාගල දිස්ත්‍රික්කය ගතහොත් එය රුපියල් 16,268ක් වේ.
මෙම විග්‍රහය අනුව සාමාන්‍යයෙන් ලාංකිකයකුට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා දිනෙකට අවශ්‍ය අවම වියදම රුපියල් 567ක් ලෙසයි දැක්වෙන්නේ.
එහෙත් ප්‍රායෝගිකත්වය සලකා බලන විට ලංකාවේ පුද්ගලයකුට මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා දිනකට රුපියල් 567ක් වැනි මුදලක් ප්‍රමාණවත් නොවන බවයි සඳහන් වන්නේ.
2019න් පසුව පාරිභෝගික ආදායම් සහ වියදම් රටාවේ මෙන්ම භාණ්ඩවල ගුණාත්මකභාවයේද සැලකිය යුතු වෙනස්කම් රාශියක් සිදුව ඇති නමුදු වර්තමානයේ ගණනය කරනු ලබන නිල දරිද්‍රතා මායිම තුළ මෙම වෙනස්කම් නිවැරැදි ආකාරයට පිළිබිඹු වී නොපෙනෙන බවද සඳහන්ය.
මේ නිසා යථාර්ථය නිවැරැදි ආකාරයට අවබෝධ කරගැනීමට මෙම දත්තයන් තුළින් අපහසු වන බවයි පෙන්වා දී ඇත්තේ.
ප්‍රේමලාල් විජේරත්න