මරණයක් යනු දුකට කාරණයකි. සතෙක් සිවුපාවෙක් වාහනයකට යටවී මැරුණත් අපි ‘අනේ අපොයි’ කියන්නේද ඒකය. පරණ කාලේ මිනිස්සු කතාවට කියන්නේ ‘මඟුල් ගෙදරකට ආරාධනා කරන කල් හිටියත් මළ ගෙදරක් හොයාගෙන යායුතුය’ කියාය. (Sri Lanka Latest News)
හතුරෙකුටවත් මරණය ප්‍රාර්ථනා කරන්න එපා කියාද කතාවක් වේ. ඔය කොයි දෙයිනුත් කියන්නේ මරණය කටුකය කියාය. මරණය ශෝකාන්තයක් කියාය.
එහෙත්, 2024 ජනවාරි 25 වැනිදා හදිසි අනතුරකින් මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍යවරයකු වූ සනත් නිශාන්තට මුහුණු පොතේ පළව තිබුණු ප්‍රතිචාර ඊට වැඩිය වෙනස් විය. සනත් නිශාන්ත වෙනුවෙන් නිර්මාණය වී තිබුණු පෝස්ට්වලද වූයේ උපහාසමය සහ වෛරය කැටිවූ අදහස්ය.
‘දිට්ඨ ධම්මවේදනීය කර්මයට පිටුපා යෑමට මොනම කෙරුම්කාරයකුටවත් නොහැකි බව සනත් නිශාන්ත පසක් කළේය…’
‘දේව අධිකරණයට තරාතිරම් නැත. සනත් නිශාන්තගේ අකල් මරණය අප හැමෝටම පාඩමකි…’
‘සොබාදහම නියම කරන සාධාරණ තීන්දුවලට රැයක් දවාලක් තැනක් නොතැනක් හෝ උස් පහත් භේදයක් නැත. වෙලාව පැමිණි කල එය කාටත් එකය…’
සනත් නිශාන්ත ජැංඩි පහට ඇඳගත් ලස්සන ෆොටෝ දමමින් මුහුණු පොතේ පළවෙන්නට ගත්ත පෝස්ට් බොහොමයක වූයේ ඉහත සඳහන් උපහැරණය. ඒ ඒ පෝස්ට්වලට යටින් දිගින් දිගටම සටහන් වූ කමෙන්ට්ස්වල වැඩිහරියක්ම වූයේ, ‘අපාගත වේවා…’ කියන වචන පෙළය. හතුරකුගේ හෝ අකල් මරණයකදී ‘අපාගත වේවා’ යන ප්‍රාර්ථනය කිසිවකුට කළ හැකිද? යන සිතුවිල්ල තුළ සමහරු මෙතැනදී සිටින්නට ඇත. සත්තකින්ම එහෙම හිතන එක සමහර විටෙක සාධාරණය. නමුත් මරණයකදී අකාලේ මියගිය ඒ අය ගැන ‘මකබෑවියන්’ හෝ ‘අපායටම පලයන්’ කියා හිතන තාලෙට මිනිසුන් දරුණු වන්නේ ඇයිද කියන එක ගැනත් මෙතැනදී මඳකට හිතිය යුතුය. ඇත්තටම පක්ෂ පාට භේදයක් නැතිව ජාති ආගම් භේදයක් නැතිව සනත් නිශාන්තට රටේ මිනිසුන් එහෙම ශාප කළේ ඇයි? එයට හේතුව ඔහු දේශපාලනඥයකු වීමද? නැතිනම් පොහොට්ටුව සමග විසූ රාජපක්ෂලාගේ අනුගාමිකයකු වීමද? එහෙම හිතන්නටත් බැරිය. එහෙම හිතනවා නම් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමටත් එය එලෙස වෙන්නට තිබුණේය. ඔහුද සනත් නිශාන්ත වගේම දේශපාලකයෙකි. පොහොට්ටුව සමග හිටපු රාජපක්ෂලාගේ හිතවතෙකි. කවුරුවත් කැමැති නැති දේශපාලන චරිතයක් වූ මර්වින් සිල්වාගේ ගජ මිත්රයෙකි. නමුත් විදුලි සර වැදී අකල් මරණයකින් හදිසියේම යන්නට ගිය පාලිත ගැන මුහුණු පොතේ නිර්මාණය වූ පෝස්ට් සනත් නිශාන්තගේ පෝස්ට්වලට වැඩිය ගොඩක් වෙනස්ය. මොනම පක්ෂයකටවත් නැති මිනිසුන් වගේම පොහොට්ටුව ලකුණ මෙන්ම රාජපක්ෂලාව දිරවන්නේ නැති අනෙකුත් පක්ෂවල පිරිසද තෙවරප්පෙරුමගේ අකල් මරණය වෙනුවෙන් අවංකවම දුක් වුණෝය. මාධ්‍ය හරහා තම ශෝකය පළ කළහ. මුහුණු පොත හරහා දවස් ගණනක් පුරා ඔහු වෙනුවෙන් දිගු කතන්දර සටහන් විය. ලොකු පොඩි කවුරුත්, තරුණ වැඩිහිටි බාල මහලු කවුරුත් ඔහුගේ යහපත් ගති පැවැතුම් ගැන ගුණ වැයූහ. මෙය ලියන මොහොතේ ඔහුගේ මරණයට දවස් දහයකට කිට්ටු වුවද අදටත් තවමත් මුහුණු පොත තුළ තෙවරප්පෙරුම ගැන සංවේදී වැකි සටහන් වේ.
සනත් නිශාන්තව ‘මකබෑවියන්’ සහ ‘අපාගත වේවා’ යැයි කියා කමෙන්ට්ස් දමන්නටත්, තෙවරප්පෙරුමට ‘ආදරණීය චණ්ඩි මාමේ ඔබට සුබ ගමන්’ කියා සෙනෙහෙවන්ත අකුරු සටහන් කරන්නටත් මේ රටේ මිනිසුන් පෙලඹුණේ කුමන හේතුවක් නිසාද? ස්මාර්ට් එකට ඇන්දෙත් සනත් නිශාන්තය. පිරිස් බලය තිබුණෙත් ඉහළ බලවතුන් හා සමීපව සිටියෙත් පොහොට්ටුවේ බලය ඕනෑවට වැඩිය තිබුණෙත් සනත් නිශාන්තටය. එහෙම බලනකොට තෙවරප්පෙරුම බොහොම සාමාන්‍ය මිනිසෙකි. ජැන්ඩි පහට අඳින වුවමනාවවත් බලය පතුරුවන හෝ බලය අල්ලන උමතුවවත් ඔහුට තිබුණේ නැත. එහෙනම් සනත් නිශාන්තට වැඩිය ජනතා ආකර්ෂණයක් මිනිසුන් අතර ආදරයක් සහ සමීප බවක් තෙවරප්පෙරුමට අවසාන මොහොතේ ලැබුණේ කොහොමද? අපේ රටේ දේශපාලකයන් හිතට ගතයුත්තේ අන්න ඒ ටිකය.
‘මැරුණට පස්සේ සනත් නිශාන්තට ලැබුණු අපහාස සහ උපහාසත් තෙවරප්පෙරුමට ලැබුණු ආදරණීය ගරුබුහුමනුත් අපේ දේශපාලකයන්ට හොඳ පාඩමකි.’
අප්‍රේල් 24 වැනිදා මුහුණු පොතේ එහෙම සටහනක් දමා තිබුණේ සනත් නිශාන්තගේ සහ තෙවරප්පෙරුමගේ සේයාරූද සමගය.
‘නරුම දේශපාලකයනි, සනත් නිශාන්තගේ මැර බලය නොව තෙවරප්පෙරුමගේ මනුස්සකම ආදර්ශයට ගනිල්ලා. හැදෙනවා නම් හැදෙන්න ඒ ටිකම හොඳටම ඇති නුඹලාට…’
තෙවරප්පෙරුමගේ දේහයේ අවසන් කටයුතු සිදුකරන මොහොතේ ඔහු වෙනුවෙන් ‘හමාර බණවර’ සින්දුව අලුතින්ම කියන රවී රොයිස්ටර්ගේ පින්තූරයක් සමග මුහුණු පොතේ එකී පෝස්ටුව සටහන්ව තිබිණි.
එහි සටහන් වූ ලෙසටම අපේ රටේ දේශපාලකයන් මේ පූර්වාදර්ශය සිතට ගනීවිද? නැත්නම් දවස් දෙකකින් මේ පාඩම අමතක කරලා දමාවිද? පාඩමක් ඉගෙනගන්නට හිතනවා නම් අවස්ථා දෙකක් හොඳටම සෑහේ. ඒ සනත් නිශාන්ත සිය බලයෙන් අරගලයට පහර දීමේ අමානුෂික සිදුවීම සහ තෙවරප්පෙරුම කොරෝනා කාලෙදී අසරණව හිටපු මිනිසුන්ගේ කුසගිනි නිවන්නට වෙහෙසවූ සිදුවීමය. සනත් නිශාන්ත සිය මැර දේශපාලනය ප්‍රදර්ශනය කළ තව අවස්ථා ඕනෑ තරම් තිබෙන අතර, තෙවරප්පෙරුම සිය මනුසත් බව රටේ අසරණ මිනිසුන් හමුවට ගෙන ගිය අවස්ථාද බොහොමයක් තිබෙනවාය. අපේ මිනිසුන්ට ගලේ කෙටුවා වාගේ මතක තිබුණේ ඒවා නොවේද?
අර කිව්වත් වාගේ අපේ දේශපාලකයන්ට හැදෙන්න ඒ ටික හොඳටම ඇතිය.
හැබැයි උන් දෙවියන්ට සහ සොබාදහමට ගරු කරන්නේ නැතිනම් දිට්ඨ ධම්මවේදනීය කර්මය අදහන්නේ තැනිනම් හොඳ නරක දෙක හඳුනන්නේ නැතිනම් කවදාවත් හැදෙන එකක් නැති බවද මෙහි අවසානයට සටහන් නොකර බැරිය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු