ලාංකිකයන් වුණු අපේ ජීවිතවල සුබ කටයුත්තක් ආරම්භ කරද්දී විශේෂ ආහාරයක් පිසිනවා. ඒ තමයි කිරිබත්. සිංහල සංස්කෘතිය හා වසර ගණනාවක් තිස්සේ බැඳුණු මේ කිරිබත් පිසීමේ සම්ප්රදාය මේ වෙද්දී ජාති භේදයක් නැතුව ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් හදන කෑම වර්ගයක් බවට පත්වෙලා තියෙනවා. රතු හෝ සුදු කැකුළු සහලින් සකසාගත හැක කිරිබතේ ඇති පෝෂණීය සහ ඖෂධීය ගුණය ගැන ආයුර්වේදයේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. අද අපි ඔබට කියන්න යන්නේ අපේ රටට ආවේණික වූ, අපේ සංස්කෘතියේ සුවිශේෂ අංගයක් වූ, අපි හැමෝම ආදරය කරන අපේ කිරිබත ඔස්ටේ්රලියාවේ සූපශාස්ත්‍ර තරගයකින් ලබපු ජයග්‍රහණයක් ගැනයි. (Sri Lanka Latest News)
MasterChef Australia කියන්නේ ඔස්ටේ්රලියාවේ ප්‍රවීණ සූපවේදීන් මඬුල්ලකගේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන ආහාරවල රසය සොයා බලන තරගයක්. එරට ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක් වන සවින්ද්‍රි පෙරේරා තමයි මේ තරගයට කිරිබතක් පිසලා ඉදිරිපත් කළේ. ඇය එම කිරිබත ඉතා රසවත්ව සහ අලංකාරවත්ව පිස පසුගිය 23 වැනිදා පැවැති MasterChef Australia තරගය වෙනුවෙන් ඉදිරිපත් කරන්නට කටයුතු කර තිබුණා.
කිරිබත අපේ රටේ විවිධ විදියට සකසන්නට අපි පුරුදුවෙලා ඉන්නවා. ඉඹුල් කිරිබත්, මුංඇට මිශ්‍ර කිරිබත්, සාමාන්‍ය කිරිබත් වගේම විවිධ පළාත්වලට අනන්‍ය වූ ආකාරයට විවිධ රසයන්ගෙන් කිරිබත් පිසින්නත් ශ්‍රී ලාංකිකයන් හරි දක්ෂයි. සවින්ද්‍රි පෙරේරාත් කිරිබත විවිධ රසවලින් සකස් කරලා අපේ රට නියෝජනය කරන්න එය ඉදිරිපත් කරලා තිබුණා.
කිරිබතේ ඉතිහාසය ගැන සඳහන් කරද්දී අපට මතක් වෙන්නේ බෞද්ධ ඉතිහාසයේ සඳහන් කතාවක්. දම්සක් පැවතුම් සූත්‍රය අසා මුලින්ම කොණ්ඩඤ්ඤ හිමියන් සෝවාන් ඵලයට පත්වූ අවස්ථාවේ විපස්සී හිමියන්ට ගිතෙල් මීපැණි මිශ්‍ර කිරිබතක් පිදීමේ සිද්ධියයි.
බෞද්ධ දහමේ පමණක් නොව හින්දු දහමේද කිරිබතට හිමිවන්නේ සුවිශේෂ තැනක්. විවාහ මංගල උත්සවවලදී පෝරුව මත කිරිබත් අතුරා යුවළට ආශීර්වාද කර සෞභාග්‍යය පැතීම හින්දු සංස්කෘතියේ සුවිශේෂ අංගයක්.
කෙසේ වෙතත් සවින්ද්‍රිගේ කිරිබත MasterChef Australia තරගයෙන් ජයග්‍රහණය කළා. විනිසුරුවරුන් සවින්ද්‍රිගේ කිරිබත ප්‍රශංසාවට ලක්කරනු ලැබුවේ එය අලංකාරවත් චිත්‍රයක් බව පවසමින්. සවින්ද්‍රි එය පොල්කිරි, පැණි සහ ඇඹුල්තියල් කරන ලද මාළුවකු සමග අලංකාරවත් ලෙස සකසා ඉදිරිපත් කර තිබුණා.
ජයග්රහණයෙන් පසුව තරගය මෙහෙයවූ සූපවේදීන් සවින්ද්‍රි ගැන විමසා සිටියා. එහිදී ඇය ලස්සන කතාවක් කිව්වා.
‘ගෙදරට එන අය ආපු ගමන් ආපහු හැරිලා යනවා නම් මම මගේ රාජකාරිය හරියට කරලා නැහැ. මම සත්කාරකත්වයට කැමැතියි. ශ්‍රී ලාංකිකයන් බොහෝ විට ආහාර ගන්නේ පවුලේ හැම දෙනාම එකට එකතුවෙලා…’ ඇය පවසා සිටියා.
ඔවුන් ඇගෙන් නැවත විමසා සිටියේ ඇය ඉදිරිපත් කළ ආහාර වර්ගය ගැනයි.
සූපවේදීන් : මොකද්ද ඔබ ඉදිරිපත් කළ ආහාරය ?
සවින්ද්‍රි : මේ ශ්‍රී ලංකාවේ උදෑසන ආහාරයක්. කිරිබත් ලෙසයි හඳුන්වන්නේ.
ඇය ඉදිරිපත් කළ ආකර්ෂණීය කිරිබත තරගයෙන් ජයග්‍රහණය කිරීමත් සමග ඔස්ටේ්රලියානු කාන්තාවක් ඔල්වරසන් හඬ නගමින් කෑගසන අයුරුද දැකගන්නට ලැබුණා.
සවින්ද්‍රිගේ ජයග්‍රහණට හේතු දක්වමින් විනිසුරු මඬල්ල ඇගේ කිරිබතේ සුවිශේෂත්වය අගය කර තිබුණේ මේ අන්දමටයි.
‘මේ සඳහා යොදාගත් සෝස් හරිම නැවුම්. රසය අව්‍යාජයි. මාළුවා හරි ලස්සනයි. කිරිබත රසවත් ලෙස පිස තිබෙනවා. ඇදහිය නොහැකියි. පෝෂණය අතින්ද ඉහළ තත්ත්වයක පවතී. මේ කිරිබත සෝස්, පැණි රස කුළුබඩු රස වගේම ඇඹුල් රසින්ද යුක්ත වුණා. ඔබගේ පරිශ්රමය මේ කිරිබත් පිඟානේ කැපීපෙනුණා. හැම තැනක් ගැනම සොයා බලා හොඳින් සකසා තිබුණා. මේ ආහාර පිඟාන අපිට සමරන්න පුළුවන්. මේ කිරිබත අපිට ඕනෑම වෙලාවක උදෑසන දහවල් ආහාරය වගේම රාත්‍රී ආහාරය සඳහාත් යොදාගන්න පුළුවන්….’
සවින්ද්‍රිගේ ජයග්‍රහණය සමරමින් ඔස්ටේ්රලියානු ජාතික කාන්තාවක් ඔල්වරසන් දෙන අන්දමද විශේෂයෙන් කැපී පෙනුණා.
සවින්ද්‍රි පෙරේරා සැකසූ කිරිබත තරගයේ විනිසුරුවන් ලෙස සිටි සූපවේදීන් රස බැලීමෙන් අනතුරුව ඔවුන් පුදුමයට පත්ව තිබූ අතර, ඔවුන් සඳහන් කර තිබුණේ මේ තරම් රසවත් ආහාරයක් තමන් මීට පෙර රසබලා නොතිබූ බව පවසමින්.
ඔවුන් පැවැසුවේ සවින්දි මෙම කිරිබත හොඳටම සකසා ඇති බවයි. එම කිරිබත විටෙක ස්පයිසි රසය ගෙන දුන්නා. විටෙක පැණි රසය ගෙන දුන්නා.
තමන් ලැබූ ජයග්‍රහණය සවින්ද්රිට එක වරම අදහාගන්නට බැරිව ගිය අතර, ඇය ගල්ගැසී සිටි ආකාරයද දැකගත හැකි වුණා.
ශ්‍රී ලංකාවේ නාමය, ශ්‍රී ලාංකේය රසය දුරු රටක ඉහළින්ම සටහන් කළ සවින්ද්‍රි පෙරේරා තවමත් පසුවන්නේ 30 වැනි වියේ. ඇය කොළඹ හැදී වැඩුණත් නිතරම ගමේ දේට තැන දුන්නා. සවින්ද්‍රි පවසන්නේ ඇයට මෙලෙස රසවත් ආහාර පිසීමේ හැකියාව ලැබුණේ තම මවගෙන් බවයි. අවාසනාවකට ඇගේ මව 2017 වර්ෂයේදී ජීවිතෙන් සමුගෙන ගිය බවත්, MasterChef Australia අභියෝගය ජයගැනීමට මවගේ ආශීර්වාදය ලැබුණු බවත් සවින්ද්‍රි සඳහන් කළා.
අද වෙද්දී අපේ රටේ බොහෝ කාන්තාවන් ආහාර පිසින්න දක්වන්නේ මැළිකමක්. ක්ෂණික ආහාරයක් පිසගෙන බඩගින්න නිවාගන්න තමයි ඔවුන් උත්සාහ ගන්නේ. නමුත් අපේ රටේ කොයිතරම් රසවත් ආහාර වර්ග තියෙනවද? පහසුවෙන් පිසගත හැකි රසවත් මෙන්ම ගුණදායී ආහාර වර්ග සිය දහස් ගණනක් අපේ ආහාර සංස්කෘතිය ඇතුළේ තියෙනවා. ඒ රසවත් ආහාර ලංකාවට එන විදෙස් සංචාරකයන්ට පිළිගැන්වීම හරහා සංචාරක කර්මාන්තය ඉහළටම ඔසවා තබන්න පුළුවන්කම තිබෙනවා.
තමන්ගේ අතින් රසවත් ආහාරයක් පිසින්න නම් ආදරයක් ආශාවක් තියෙන්න ඕනේ. නමුත් අද බොහෝ කාන්තාවන් ඒ කාර්යය මග හරිනවා. සවින්ද්‍රි කියන්නේ අපේ රටේ කාන්තාවන්ට ආදර්ශයට ගතහැකි කදිම උදාහරණයක්. සවින්ද්‍රි ඔස්ටේ්රලියාවේ ජීවත් වුණත් අපේ දේ අපේකම අගය කළා. අපේ රටේ දේ ජාත්‍යන්තරයට ගෙන යන්න ඇය කටයුතු කළා. ශ්‍රී ලාංකිකයන් විදියට අපට උරුම වුණු ආහාර සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙන යන්න සවින්ද්‍රි පෙරේරා සමත් වුණා. අපේ කිරිබත දැන් ඔස්ටේ්රලියාවේ රසවතුන් අතර දිනෙන් දින ප්‍රසිද්ධ වේවි. ඒ හරහා විදේශිකයන් රසවත් ආහාර පාන සොයාගෙන අපේ රටට එන එක තවත් වැඩිවේවි. බොහෝ කැපකිරීම් කළ සවින්ද්රිට ලැබුණේ පෞද්ගලික ජයග්‍රහණයක් නෙවෙයි. ඒක ශ්‍රී ලංකා මාතාව ලැබූ ජයග්‍රහණයක්. ඉතින් අපි හැමෝම සවින්ද්රිට ලංකාවේ නම තව තවත් ඉදිරියට අරගෙන යන්න හැකියාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
නිලන්ති රේණුකා