මහා බලයක් සහිතව ලෝ වැසියාට සෙත සලසන දෙවි දේවතාවුන් අතර මෙරට රුහුණු පුරවරයේ කතරගම වැඩවාසය කරන්නා වූ කඳසුරිඳු හෙවත් කතරගම දෙවියන්ට හිමි වනුයේ ප්‍රධාන තැනකි. මහා බල පරාක්‍රමයක් හිමි කතරගම දෙවියන්ට විශේෂ කාර්යයන් සඳහා සහාය වූ දෙවි දේවතාවුන් රැසක් පිළිබඳ ජනප්‍රවාද අතර ප්‍රචලිතව ඇත. වර්තමානයේ අගමැති මැති ඇමැති පදවි දරන්නන් එරට රජුට උදව් කරන්නේ යම් සේද කතරගම දෙවිඳුන්ටද එවැනි පිරිසක් සහාය වූ බව ජනප්‍රවාද අතර එයි. ඒ අනුව කතරගම දෙවියන්ගේ අගමැති ධුරය සහ ප්‍රධාන විධායක ලෙසින් කටයුතු කළ සූනියම් දෙවිඳුට හිමිවන්නේ විශේෂ තැනකි.
සූනියම් දෙවිඳුට භාර්යාවන් දොළසක් සිටි බවටත්, පරිවාර යක්ෂයන් අටක් සිටි බවටත් මතයක් පවතී. විවිධ මන්ත්‍ර ශාස්ත්‍රයන්ට අනුවද සූනියම් දෙවියන්ට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ සූනියම් දෙවියන් වීර හඳුන්, මදුරෙයිවිරන්, මල්දියාරම් ආදී නම්වලින් හඳුන්වයි. මලයාලි යනු ප්‍රබල මන්ත්‍ර ශාස්ත්‍රයක් බවට පිළිගැනෙන අතර එම මන්ත්‍රවල ඔඩ්ඩි යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේද සූනියම් දෙවියන්ටය.
ගම්බාර යනුවෙන් විවිධ පළාත් අනුව හඳුන්වන්නේ සූනියම් දෙවියන්ට වන අතර, විවිධ පළාත් අනුව සූනියම් දෙවිඳුට හිමිවන බලතල විවිධාකාර වෙයි. ඒ අනුව රුහුණේ කතරගම දෙවිඳුගේ අගමැති සහ ප්‍රධාන විධායක තනතුරට අමතරව උපුල්වන් දෙවිඳුගේ පණිවුඩකරු සූනියම් දෙවිඳුය. අලුත්නුවර දේවතාබණ්ඩාර දෙවිඳුගේ අධිකාරම් සූනියම් දෙවිඳුය. මෙවැනි විවිධ දෙවිවරුන්ගේ බලපරාක්‍රමයට යටත් ප්‍රදේශ රාශියක සූනියම් දෙවිඳුගේ තීරණද ක්‍රියාත්මක වන බවට ජනප්‍රවාදයේ විශ්වාසයක් පවතී. මෙරටදී සූනියම් දෙවිඳු පුද ලබන දේවාල රැසක් ගැන වාර්තා වෙයි. ඒ අතර මාවනැල්ල, අලුත්නුවර පල්ලේ දේවාලය, ඇම්බැක්කේ පල්ලේ දේවාලය, දෙමටගොඩ බේස්ලයින් විහාරය, මහනුවර නාථ දේවාලය මෙන්ම සූනියම් දෙවිඳුට කැපවුණු ප්‍රධාන දේවාලය කුලියාපිටිය ආසන්නයේ පිහිටි කබලෑ දේවාලය බවටත් ජනප්‍රවාද අතර නොනැසී පවතී. ඒ අනුව කබලෑ දෙවියන් ලෙස සූනියම් දෙවියන් ප්‍රසිද්ධව ඇත. බුදු දහමේ ආරක්ෂාව පැවරී තිබූ උපුල්වන් දෙවිඳුගේ කාර්යභාරය පසු කලෙක විෂ්ණු දෙවිඳුට පැවරී ඇති අතර, එම කාර්යය වඩාත් හොඳින් ඉටුකිරීමට විෂ්ණු දෙවිඳුට අවශ්‍ය වූ බවද සඳහන් වෙයි. කෙසේ නමුත් ජනප්‍රවාදයන්ට අනුව විෂ්ණු දෙවිඳු වෙනුවෙන් එම කාර්යය අලුත්නුවර දෙවිඳුට පැවරී තිබේ.
අලුත්නුවර දෙවිඳුට අයත් බොහෝ රාජකාරින් නිසි ලෙස සොයා බලා ඉටුකිරීමේ වගකීම භාරගෙන ඇත්තේ එම දෙවියන්ගේ අධිකාරම් ධුරය දැරූ සූනියම් දෙවිඳුය. ඒ අනුව බුදු සසුනේ ආරක්ෂාව පිළිබඳ සියලු වගකීම් භාරගෙන කටයුතු කිරීමට සූනියම් දෙවිඳු ඉතා උනන්දුවෙන් ඉදිරිපත් වී ඇත.
බුදුදහමට සම්බන්ධ වෙහෙර විහාර, දාගැබ්, බෝධි ආදියේ ආරක්ෂාව සූනියම් දෙවියන්ට පැවරී තිබේ. එනිසා සූනියම් දෙවියන් බුදුදහමත්, විහාර, දාගැබ්, පන්සල් ආදියත් රැකබලා ගනී. එම සේවයට උපහාරයක් ලෙස බොහෝ වෙහෙර විහාරස්ථානවල සූනියම් දෙවියන්ට පුද පූජා තැබීම සිදුවනු දැකගත හැකිය.
බෝ ගස්වල දිරාගිය අතු කිසිවක් කපා ඉවත් කිරීමකට ලක් නොකරනමුත් එම භූමියේ සෙනඟ නොමැති අවස්ථාවක අසාමාන්‍ය අයුරින් එම අතු කිසිදු ආපදාවකින් තොරව බිම වැටීමට සලස්වන්නේ සූනියම් දෙවියන් බවට බොහෝ දෙනකුගේ විශ්වාසයයි. සූනියම් දෙවියන්ගේ අණසකට යටත් බහිරවයන් නාගයන් සිටින බවත්, බොහොමයක් විහාරාරාම හා බෝගස් ආරක්ෂාවට නාගයන් හා බහිරවයන් යොදවන්නේ සූනියම් දෙවියන් බවටත් ජනප්‍රවාදයන් අතර මතයක් වෙයි.
මේ අනුව සූනියම් දෙවියන් යනු, කතරගම දෙවියන්ගේ මෙන්ම තවත් දෙවි දේවතාවුන් රැසකටම සිය කාර්යභාරයන් ඉටුකරන්නට මහා බලයක් ලබාදුන් දෙවි කෙනකු ලෙසද පිළිගැනෙයි.
කුමාර රත්නායක











