කාගේත් නෙත් සිත් ඇදබැඳ තබාගන්නා අපූරු සොබාව සෞන්දර්යයෙන් පිරුණු තෝතැන්නකි ඇතුගල්පුරවරය. මුහුදු මට්ටමේ සිට මීටර් 166ක් උසින් ඇතුගල්පුරවරය කුරුණෑගල පිහිටා තිබේ. නගර මධ්‍යයේ පිහිටා ඇති ආකර්ෂණීය ස්ථානයක් වන ඇතුගල කුරුණෑගල අනන්‍යතාව හෙළිකරනු ලබයි. ඇතුගල මීටර් 316ක් උසින් යුක්ත හස්තියකුගේ විලාසය පෙන්නුම් කරයි. කුරුණෑගල යන නාමය පටබැඳෙන්න මෙම පර්වතය හේතු වූ බව බොහෝ දෙනකුගේ විශ්වාසය වේ.
‘රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද.. .’යන ගීතයේ පදවල කැටි වී ඇත්තේ ඇතුගල්පුර තිබෙන තවත් සුන්දරත්වයක් පිළිබඳවයි. ඒ රන්තාලිය වැවයි. රන්තාලිය වැව පිළිබඳ පුදුමසහගත රසබර කතා ජනප්‍රවාදයේ තිබේ.
කාලයකට පෙර මුළු සත්කෝරලයටම නැතිනම් කුරුණෑගල දිශාවටම කෝරලේ මහත්තයෙක් සිටි බව පැවසේ. මේ කෝරලේ මහත්තයාට පහත් යැයි සම්මත කුලයක කාන්තාවක් සමග සම්බන්ධතාවක් තිබී ඇත. ඒ කාන්තාවගේ නම රත්නවල්ලිය. මේ කෝරලේ මහත්තයාට දුවෙක් සිටි අතර පුතකු නොසිටියේය. ඉතින් පුතකුගේ අවශ්‍යතාවක් නිසාම රත්නවල්ලි සමග එක්ව පුතකු බිහිකරන්න තීරණය කර ඇත. මේ රත්නවල්ලි ගැබ්බර වුණායින් පසුව මෙම කතන්දරය කෝරලේ මහත්තයාගේ මැණිකෙට (බිරියට) ආරංචි වී තිබේ. පසුව මැණිකේ විසින් මිනිසුන්ව යොදවා රත්නවල්ලිව ඝාතනය කරවා ඇත.
මීට පෙරදී කෝරලේ මහත්තයා රත්නවල්ලිට රත්තරං තලියක් දී ඇත. ඉතින් මේ කාන්තාව කෝරලේ මහත්තයාගෙනුත් ඒ පරම්පරාවට අයත් සියල්ලන්ගෙනුත් පලිගන්නට සිතා රන් තලිය කුරුණෑගල වැව මැද්දේ දිස්වෙන්න තබා ඇති බව ජනප්‍රවාදයේ එයි. අදටත් ඒ තලිය ගන්න යන සෑම කෙනෙක්ම වැවට බිලිවෙනවා යැයි මතයක් කුරුණෑගල ජනතාවගේ සිත තුළ තිබේ. කුරුණෑගල වැව අසල තිබෙන පැරැණි රන්තාලිය වලව්ව ලෙස සලකන රන්තාලිය තානායම ඉදිරිපිට සෑම අවුරුද්දකම නාන්න එන කෙනෙක් මේ වැවට බිලිවී තිබේ. පැරන්නන් පවසන්නේ ‘වල්ලි අරන් යනවා’ කියායි. තවත් සමහරු විශ්වාස කරනවා ඒ රන් තලිය නිධානයක් වී වැව මැද්දේ ඇති බවත්, එය කාලයකට වැවෙන් උඩට ඇවිත් පාවෙන බවත්ය.
කෙසේ වෙතත් වල්ලිගේ ශාපය කෝරලේ මහත්තයාගේ පරම්පරාවට පළදෙන බව පැරන්නන්ගේ අදහසයි. මේ වැවේ රන් තලියක් මතුවන නිසා රන්තාලිය වැව නමින් හඳුන්වනු ලැබේ. ඒ කාලේ රජකම් කළ වත්හිමි කුමරු රන් තලිය ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වී ඇත. ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙම කතා පුවත ජනප්‍රවාදයේ පැවැත එන රසබර කතාවකි.
අක්කර 150ක් පුරා විහිදී ඇති රන්තාලිය වැව මුළු ඇතුගල්පුරයටම ආඩම්බරයකි. කුරුණෑගල නාගරික ජනතාවට පානීය ජලය ලබාදීම, කෘෂිකර්මාන්තයට, සංචාරක කර්මාන්තයට රන්තාලිය වැව මහත් දායකත්වයක් ලබා දේ. වර්තමානය වන විට කාගේත් නෙත් සිත් ඇදබැඳගන්නා අපූර්වත්වයෙන් යුත් සුන්දර ප්‍රදේශයක් බවටත්, ජායාරූප ගැනීමට ප්‍රසිද්ධ ස්ථානයක් බවටත් පත්ව ඇත. වැව වටා ශාරීරික සුවතා වෙනුවෙන් තැනුණු මංතීරුවක්ද තිබේ. විශේෂයෙන්ම රන්තාලිය වැව අසල සුන්දර පරිසරය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ කුරුණෑගල මහනගර සභාවේ නගර අලංකරණ ව්‍යාපෘතියටයි.
නිදහසේ සුවදායි පරිසරයක මොහොතක් ගතකරන්න කැමැති පුද්ගලයන් මේ සුන්දර ස්ථානයට නිතරම පැමිණේ. කෙසේ වෙතත් අනාගත පරපුර වෙනුවෙන් මෙම සුන්දර පරිසරය රැකබලා ගැනීමට අප වගබලා ගත යුතුය.
ඒ.එම්. අයේෂා සංදීපනී අධිකාරි
ඉබ්බාගමුව, කුරුණෑගල.