තමා 2024 ජනාධිපතිවරණය තරග කිරීමට අදහස් නොකරන බවත්, පොදු අපේක්‍ෂකයෙක් තෝරා ගන්නා ලෙසත් තමා සිංහල බෞද්ධ ඡන්ද ගන්න උදව් කරන බවත් ගෝඨාභය ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂවලට පැවැසූ බව ටික කලකට කලින් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ කතාව ප්‍රසිද්ධ වීමෙන් පසු ගෝඨාභය ගම සමඟ පිළිසඳරට එක් වෙමින් පවසා සිටියේ තමා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ මහජනතාව බවය.
ඉන් පසු 2024 ජනාධිපති අපේක්‍ෂකයා නාමල් රාජපක්‍ෂ බවට ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රචාරයක් දියත් විය. නාමල්ට අපේක්‍ෂකයා වීමට කිසිදු බාධාවක් නැතැයි ආණ්ඩුවේම මැති, ඇමැතිවරු පවසා තිබිණි.
මෑතකදී 2024 ජනාධිපති අපේක්‍ෂකයා බැසිල් රාජපක්‍ෂ යැයි බැසිල් හිතවාදී මැති ඇමැතිවරු, මන්ත්‍රිවරු කියන්න පටන් ගත්හ. බැසිල් පාර්ලිමේන්තු එන්නේ 2024 ජනාධිපති අපේක්‍ෂක වී දිනන ටාගට් එකට යැයි බැසිල්වාදීහු දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළහ.
මේ අල්ලපනල්ලේ ගෝඨාභය මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති හමුවකදී තමන්ට තවත් නිල කාලයක් ඇතැයි කීවේ 2024 ජනාධිපතිවරණයට එන බව ඉඟිකරමින්ය.
ගෝඨාභය මේ කතාව කියා දැනට හරියටම සතියකි. මේ කතාවට ප්‍රතිචාර දැක්වූයේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පමණි. ගෝඨාභය ඊළඟ ජනාධිපතිවරණයට එනවා යැයි කීමත් සමග විපක්‍ෂය බය වෙලා යැයි ඔහු කීවේය.
‘පොදුජන පෙරමුණ මොකද ඒ ගැන කතා නැත්තේ…?’
ගෝඨාභය ඊළඟ ජනාධිපතිවරණයට එනවා නම් ආ යුත්තේ පොදුජන පෙරමුණෙන්ය. එසේ නම් ගෝඨාභය ජනාධිපතිවරණයට එන බව නිල වශයෙන් ප්‍රකාශ කළ යුත්තේ පොදුජන පෙරමුණය. ඒත් පොදුජන පෙරමුණ ඒ ගැන කට හෙල්ලුවේවත් නැත.
‘ඒ කියන්නේ ගෝඨාභය එම ප්‍රකාශය කළේ සහෝදරයෝ සමග සාකච්ඡා කරල නෙවෙයිද..?’
2015 මහින්ද පරාජය වීමෙන් පසුව ජනතාව තමන් ඉල්ලනවා නම් ජනාධිපතිවරණයට එන්න කැමැති යැයි ගෝඨාභය කිහිප වරක්ම ප්‍රකාශ කළේය. අන්තිමේදී ගෝඨාභය අපේක්‍ෂකයා විය යුතු යැයි ඒකමතික තීරණය ගත්තේ රාජපක්‍ෂ පවුල විසිනි. ඒ 2019 ජනාධිපතිවරණය ආසන්නයේය.
‘2024ටත් ගෝඨාභය රාජපක්‍ෂ පවුලෙන් අනුමැතිය ගනියිද..?’
ඇත්තටම මෙවර ගෝඨාභයට රාජපක්‍ෂ පවුලේ අනුමැතියක් අවශ්‍ය නැත. රටේ ජනාධිපති ලෙස නියමිත කාලයට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කොට තමන් ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තමාම ප්‍රකාශ කරන්න ඔහුට විධායක ජනාධිපති ධුරයේ බලය පාවිච්චි කළ හැකිය. එවිට රාජපක්‍ෂ පවුලට හෝ පොදුජන පෙරමුණට හවුල්කාර පක්‍ෂවලට නැහැ, බැහැ කියන්න බැරිය.
‘ගෝඨා ඒ අවදානම ගනියිද..?’
2019 ජනාධිපති අපේක්‍ෂක වෙන්න ගෝඨාභයට ලොකුම හයිය තිබුණේ මහින්ද සුළඟේ පෙරගමන්කරුවන් වූ විමල්, උදය මෙන්ම මෛත්‍රිපාලත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ රාජපක්‍ෂවාදී මාධ්‍යයන්ගෙන්ය.
‘මෙවර ඒ හයිය ගන්න ගෝඨාට පුළුවන්ද..?’
මෙවර ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය වෙනුවෙන් විමල් සහ උදය 2019 වගේ පෙරට එන පාටක් නැත. ඔවුන් 2019 හිතුවේ ගෝඨාභයව ගේන්නේ තමන් නිසා ගෝඨාභය තමන් එක්ක වැඩ කරයි කියාය. අනෙක රාජපක්‍ෂ පවුල ඇතුළේ විමල්ට සහ උදයට තිබුණු ලොකුම ප්‍රශ්නය වූ බැසිල්වත් ගෝඨා මායිම් නොකරනු ඇතැයි ඔවුහු සිතූහ. තමන්ට ප්‍රධාන පෙළේ ඇමැති ධුර දී තම න්‍යාය පත්‍රයට ගෝඨා වැඩ කරනු ඇතැයි ඔවුහු සිහින දුටුහ. හැබැයි ඔවුන් හිතපු එකක්වත් වුණේ නැත. ඔවුන් හිතපු ඇමැති ධුර ඔවුන්ට ලැබුණේ නැත. ගෝඨා ඔවුන්ගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවා කියා ඔවුන්ගෙන් උපදෙස් ගැනීමක්වත් සිද්ධ වුණේ නැත. කොළඹ දිස්ත්‍රික්කයෙන් විමල්ව දෙවැනියා කොට උදය ගම්මන්පිලව තුන්වැනියාට ඇද දමපු සරත් වීරසේකරට ගෝඨාභය ප්‍රබලතම ඇමැති ධුරය දුන්නේය.
‘ඒ වෙලාවේ මට තනි තීරණ ගන්න බැරි වුණා. 2024 එන්නේ මගේම ආණ්ඩුවක්. මම එතකොට ඔයගොල්ලන්ව හොඳට බලාගන්නම්…’
ගෝඨාභය 2024 ජනාධිපතිවරණයට පෙර විමල් සහ උදය කැඳවා එහෙම කිව්වොත් විමල් සහ උදය හා කියයිද දන්නේ නැත. හැබැයි විමල් සහ උදය බැහැ කියන්න ඉඩකඩ වැඩි බව දන්නා ගෝඨාභය ජනාධිපතිවරණයට කලින් විමල් සහ උදයගේ කටවල් වහල අඬු දඬු කඩල, තටු කපල තියන්න උත්සාහ ගනු ඇත. මන්ද 2019 ජනාධිපතිවරණයට කලින් තම පවුලේ සාමාජිකයන් ලෙස ළඟට ගත් විමල්ට සහ උදයට ජනාධිපතිවරණයට පසු තමාද ඇතුළු රාජපක්‍ෂ පවුල කොකා පෙන්වූ බව ගෝඨාභය නොදන්නවා නෙවේ.
‘එතකොට මෛත්‍රිපාල..?’
මෛත්‍රිපාල ගෝඨාභයට සහාය දෙන්න 2019 තීරණය කළේ අගමැති හෝ උප ජනාධිපති ධුරයක් හිමි වනු ඇතැයි සිතලාය. අන්තිමට මෛත්‍රිව පොල්කුඩු ගානට වැටුණි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රබලයන්ටත් හිතපු ඇමැති ධුර ලැබුණේ නැත. මෛත්‍රිගෙන් කැඩී පොදුජන පෙරමුණට ආ එස්. බී. වැනි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රබලයන් ඉන්නේ යනඑනමං නැතිවය.
‘වැරැද්දක් වුණා. 2024 මට සපෝට් කරන්න. මම පොරොන්දු වෙච්ච දේවල් කරන්නම්.’
ගෝඨාභය 2024 ජනාධිපති අපේක්‍ෂකත්වයට එන්න කලින් මෛත්‍රිටයි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටයි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පොදු පෙරමුණට ආ එස්. බී.ලාටයි ඔහොම කිව්වොත් ඔවුන් හරි කියයිද කියා සැකය. අනෙක විමල් සහ උදයගේ අඬු කඩල, තටු කැපුවත් මෛත්‍රිපාලගෙයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙයි අඬු කඩන එක ලෙහෙසි නැත.
2019 ගෝඨාට සහාය පළ කළ රාජපක්‍ෂවාදී මාධ්‍ය එලෙසම ගෝඨාට සහාය දෙයි කියා සිතිය නොහැකිය. හේතුව 2024 වන විට රාජපක්‍ෂලාට අමුවෙන් කඩේ යන මාධ්‍ය ප්‍රතික්‍ෂේප කිරීමට ජනතාව බය නොවන නිසාය. අනෙක 2024 සටන ගලඋඩ සටනක් නිසා රෙදි ගලවගෙන රාජපක්‍ෂලාට කඩේ යන්න මාධ්‍යයත් බයවෙනු ඇත. අවසාන විග්‍රහයේදී මාධ්‍යයටත් රේටින් අවශ්‍යය. අද වගේම 2024ත් ව්‍යාපාරිකයෝ නන්නත්තාර වී සිටියහොත් දැන්වීම් හරහා මාධ්‍ය මෙහෙය වීමට ව්‍යාපාරිකයන්ට ඇති ඉඩ අඩුවෙන් තක්සේරු කළ නොහැකිය.
2019 ගෝඨා දිනවන්න ආ හාමුදුරුවරු සහ සිංහල බෞද්ධ බලවේග 2024 මොනවා කරයිද කියල හිතන්න බැරිය. අනෙක මෙලෙස හාමුදුරුවරු සිංහල බෞද්ධ බලවේග රටම කලත්තලත් මහින්ද 2005 ජනාධිපතිවරණයේදී ගත් සිංහල බෞද්ධ ඡන්ද ගෝඨාභය 2019 ගත්තේ නැත. ඒ බව පහත වගුව බලන විට පැහැදිලිය.
මෙයින් පෙනී යන්නේ ගෝඨාභයට හිතපු තරම් සිංහල බෞද්ධ ඡන්ද දිනාගත නොහැකි වූ බවය. 2024ට ගෝඨාභය එන්නේ 2015 ජනාධිපතිවරණයට මහින්ද ආවා වගේ ආණ්ඩු විරෝධය සහ ජනතා අප්‍රසාදය පොදිබැඳගෙනය. එවිට සිංහල බෞද්ධ ඡන්ද බෙදීම අනිවාර්යය. ගෝඨා 2019 දී ලබාගත් අලුත් ඡන්ද ලක්‍ෂ 11 සමාජ මාධ්‍ය හී ආණ්ඩු විරෝධී රැල්ල දෙස බලන විට මේ වන විට ගෝඨාට අහිමි වී ඇති බව පැහැදිලිය. 2015 මහින්දටත් 2019 ගෝඨාටත් ඡන්දය දුන් ඡන්ද ලක්‍ෂ 58න් සුළු පිරිසක් හෝ කලකිරීම නිසා ඡන්දය නොදී ගෙදර ඉන්න තීරණය කිරීමට ඇති ඉඩකඩ වැඩිය. මේවායින් සිදුවන්නේ සිංහල බෞද්ධ ඡන්ද ගෝඨා සහ විපක්‍ෂයේ අපේක්‍ෂකයා අතර බෙදීමය. කොහොමත් ගෝඨා ආවත් නැතත් සුළු ජාතික ඡන්ද පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයාට නොයන බව නම් සහතිකය.
‘ඉතින් කොහොමද ගෝඨා දිනන්නේ..?’
ගෝඨා මේ යථාර්ථය නොදන්නවා නොවේ. මේ යථාර්ථය දැන ගෝඨා ජනාධිපති ධුරයේ සිටියදී පොදුජන පෙරමුණේ වෙනත් අපේක්‍ෂකයකුට ඉඩ දී නිකන් බලාගෙන සිටී යැයි සිතිය නොහැකිය. ගෝඨා කරනවා නම් කරන්නේ තමන්ට දිනන්න පුළුවන්ද කියලා බලන්න මුට්ටිය දමන එකය. ඒ මුට්ටිය අනෙකක් නොව පොදුජන පෙරමුණු ආණ්ඩුවය. ගෝඨා ජනාධිපතිවරණයකට කලින් මහ ඡන්දයකට යයි කියා අනාවැකි කියන්න ජ්‍යොතිෂවේදීන් ඕනෑ නැත.
උපුල් ජෝශප් ප්‍ර්‍රනාන්දු