අපේ රට උණු දිය උල්පත් දහයකට හිමිකම් කීවත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉන් කිහිපයක් බව රහසක් නොවේ. මින් උණු දිය උල්පත් පහක්ම පිහිටා ඇත්තේ දිගාමඬුල්ලේ වෙයි. මේ අතර සංචාරකයන් පය නොතබන උණු දිය උල්පත් කිහිපයක් වෙයි. ඉඟිනියාගල ඩී. ඇස්. සේනානායක සමුද්‍රය තුළ පිහිටි වහව උණු දිය උල්පතේ උෂ්ණත්වය පවා තවම වාර්තා වී නැතැයි පැවසේ. මාදුරුඔය වන උද්‍යානය තුළ පිහිටා ඇති මුතුගල්වෙල උණු දිය උල්පතද එවැන්නකි. අම්පාරේ ජයන්ති වැව ආසන්නයේ ඇති කිවුලේගම උණු දිය උල්පතද මේ වනතෙක් ජනතා අවධානයට ලක්නොවී ඇති උණුදිය උල්පතකි.
“දවසක් උදේ පාන්දර දත-කට මැද මුහුණ අත-පය හෝද ගන්ට කියල ළිඳ ළඟ බටේට ගියා. ළිඳ ගොජ ගොජ ගගා උතුර උතුරා වතුර මලක් වගේ අඩියක් දෙකක් උඩට වතුර විදිනවා. මේක දැක්ක මම හොඳටෝම බය වුණා. කෑ ගහගෙන, දුවගෙන ගිය මම නතර වුණේ ගේ ඇතුළට රිංගලා. ඒක දැක්ක මහත්තයයි, දරුවොයි මට වුණේ මොකක්ද කියල අහන කොට උත්තර දීගන්ට බැරිව හිටිය මම ළිඳ පැත්තට අත දික්කරා. කට්ටියම ගිහින් පුදුමවෙලා වගේ ඒ දිහා බලාගෙන හිටියා. පැය දෙකකට විතර පස්සෙ වතුර මල අඩු වුණා. පස්සෙදි ප්‍රවෘත්ති අහනකොට සුනාමියක් ඇවිත් රට විනාශ වුණා කියල දැනගත්තා.” මේ දකුණු වැව්ගම්පත්තුවෙ කිවුලේගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සය දරු මවක් අපට පැවසූ අතීත අත්දැකීමකි. දකුණු වැව්ගම්පත්තුවේ වැඩිම උසකින් යුතු ප්‍රදේශයක් වන පැරැණි වඩිනාගල පිහිටි ළිඳකින් සුනාමි දිනයේදී මෙසේ වතුර මලක් සේ උඩට ජලය විහිදීම ඇත්තෙන්ම පුදුමසහගතය. ඒ පිළිබඳ හොයා බැලීම වටී.
අම්පාර සිට ඉඟිනියාගල හරහා කොළඹ මාර්ගයේ සැතපුම් 16ක් පමණ ගොස් පල්ලන්ඔය යකඩ පාලමෙන් එගොඩ වී ජයන්ති වැව දෙසට යන විට මේ කියන නිවෙස හමුවිය. මේතාක් කල් වඩිනාගල කිවුලේගම උණුවතුර ළිඳක් ඇත්දැයි දන්නෝ ඇත්නම් ඒ ටික දෙනෙක් විය යුතුය. එසේ වුවද මීට බොහෝ කලකට පෙර දිගාමඬුල්ලේ ආශ්චර්ය නමැති පොත ලියන ලද මායා රංජන් සූරීන් (මහනාම රාජපක්‍ෂයන්) මෙම උණු වතුර ළිඳ පිළිබඳ සටහන් කර ඇති බව එතුමාට කරන ගෞරවයක් ලෙස සටහන් කළ යුතුය.
“එය කළු පාට මඩ ගොහොරුවක අයිනකින් පිහිටි කුඩා දිය වළකි. ඒ අවට තවත් මඩ ගොහොරු හා දිය වළවල් තිබුණු නමුත් අනෙක් ඒවා උණු නොවීය. එතැන පමණක් මඩ ගොහොරුවද අඩිය තබන්නට බැරි තරමට උණුය. වටේට ගල් කැට කිහිපයක් තබා සකස් කරන ලද වළේ වතුර ඇඟට දමන්නට බැරි තරම් උණුය. එයින් නෑම නොයෙක් ලෙඩ රෝගවලට ගුණ බව කවුරුත් කියති. රෝගයක් නොතිබුණු නමුත් අපි කවුරුත් එයින් නෑවෙමු.”
මේ පනහේ දශකයේදී මායා රංජන් සූරීන් දුටු කිවුලේගම උණු දිය උල්පතේ තත්ත්වයයි. අඩසිය වසකටත් වැඩි කාලයක් ගතවී ඇතත් එහි තත්ත්වය එතරම් වෙනස් වී නොතිබීම ජාතියේ අවාසනාවකි. සිදුවී ඇති එකම වෙනස කොන්ක්‍රීට් වළලු කිහිපයකින් කුඩා ළිඳක් බැඳ යකඩ බටයක් සවිකර තිබීම පමණකි.
මේ සම්බන්ධ තොරතුරු විමසීමේදී පෙර විස්තර ලබාදුන් මහත්මිය මෙසේද පැවැසුවා.
“ජයන්ති වැව හැදුවෙ ගල්බෝඞ් එකෙන්. වැවේ බැම්මේ අගිස්ස හදන කොට අද දාන සිමෙන්ති පහුවදා බලන කොට නැහැ. සේරම වතුරට හේදිලා ගිහින්. වතුරත් රස්නෙයි. මේක හැමදාම වෙන්ට පටන් ගත්තා. පස්සෙ බැරිම තැන වැඩ කරන මිනිස්සු පන්නත්ගොඩ පන්සලට ගිහින් භාරයක් වුණා. පන්සල් ගලේ බුදු පිළිමයක් හදනවා කියලා. අද භාර වුණා කියමුකෝ. මෙන්න බොලේ පහුවදා දාපු සිමෙන්තිවලට හානියක් වෙලා නැහැ. දැම්ම වගේම තියෙනවා. පස්සෙදි අර රස්නෙ වතුර පාරට බට ලයින් එකක් දාලා එළියට අරන් වහල දැම්මා. පන්සල්ගලේ බුදු පිළිමයක් හදල බාරෙ ඔප්පු කළා.
මම කෙලී කාලෙ ලොකු රස්නයක් තිබුණා. දවසක් සුද්දො කට්ටියක් මේකෙන් බිත්තර තම්බගෙන කාලා. ඉන්පස්සෙ රස්නෙ අඩු වුණා. දැන් රෑට ළිඳ පේන්නෙ නැති ගානට මීදුම බානවා. දවාලට වඩා උදේටයි – රෑටයි රස්නෙ වැඩියි. ගමේ අය නාන්ට එනවා. මේ වතුරින් අපි කුඹුරු කෑල්ලක් වැඩකර ගන්නවා.”
දිගාමඬුල්ලේ උණුවතුර ළිං පහක් තියෙනවා. ටැම්පිටිය උණු දිය ළිඳ කපුරුල්ල ලෙසද, පදියතලාව මරන්ගල ළිඳ මහඔය ළිඳ, කිවුලේගම ළිඳ සහ මාදුරුඔය ජාතික වනඋද්‍යානයේ පිහිටි මුතුගල්වෙල ළිඳ මේ උණු දිය ළිං පහ වෙයි. ඉඟිනියාගල සේනානායක සමුද්‍රය තුළ පිහිටි උණු වතුර ළිඳ වහව යැයි හඳුන්වනවා. ගල්ඔය හුදුකලා කඳු යනුවෙන් හඳුන්වන මොනඞ්නොක් කඳු පිහිටීම මීට බලපා තියෙනව කියල කියන්ට පුළුවනි. උණු දිය උල්පත් පිළිබඳ කරන ලද පරීක්‍ෂණ අනුව වාර්තා වී නැතැයි පවසන මාදුරුඔය වන උද්‍යානය තුළ පිහිටි මුතුගල්වෙල උණුදිය උල්පතේ උෂ්ණත්වය සෙන්ටි ග්‍රේඞ් අංශක 44කි.