අනුරාධපුර යුගය තෙක්ම දිවයන ඉතිහාසයක් ඇති මේ පුණ්‍ය භූමිය පිහිටා ඇත්තේ වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙඩිවයිතකල්ලු, පෙරියකුලම් ප්රදේශයේය. වර්ග මීටර් 22,500ක පමණ ප්‍රදේශයක් පුරා විසිරී ඇති මේ පුණ්‍ය භූමියේ මායිම වන්නේ වර්තමානයේ චමලන්කුලම වැව ලෙස හැඳින්වෙන සමනල වැවෙනි. අලි ඇතුන් ඇතුළු සතා සිවුපාවුන් වාසය කරන නිස්කලංක පෙදෙසක පිහිටි මේ පින්බිමට ඇතුළුවන ඕනෑම කෙනකුගේ සිත නිවී පහන් වන්නේ නිරායාසයෙනි.
පැරැණි ගඩොල් සහ පැරැණි පෙති උළු, වළං කැබැලි, තැන තැන විසිරී ඇති ස්තූපය, පොහොය ගෙය සහ පිළිම ගෙය පැහැදිලිව හඳුනාගත හැකි මේ බොදු බිම මෙරට තපෝවන ආරාම සම්ප්‍රදායට අයත් පබ්බතාරාම සිද්ධස්ථානයක් බවට හඳුනාගෙන තිබේ. එමෙන්ම ක්‍රි.ව. 01- 03 සියවස්වල මුල් ඓතිහාසික යුගයට අයත් නටබුන් සහිත සුවිශේෂ බොදු බිමක් ලෙස මෙම ස්ථානය නම්කර තිබේ. එම බොදු බිම වටා දිය අගලක්ද තිබූ බවට සාධක හමුවී තිබෙන අතර එම දිය අගලට ජලය ගලාවිත් ඇත්තේ සපුමල්ගස්කඩ බොදු බිම කෙළවරේ පිහිටි සමනල වැවෙනි. මෙම පුණ්‍ය භූමිය දළදා වහන්සේ වැඩසිටි බවටද ජනප්‍රවාදයක් පවතින අතර අදටත් රාත්‍රී කාලයට මේ පුණ්‍ය භූමියෙන් පිරිත් හඬ ඇසෙන බවද ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයවී තිබේ.
එමෙන්ම සපුමල්ගස්කඩ පුණ්‍ය භූමිය වටා ඇති රක්ෂිත වනාන්තරය තුළ දඩයමේ නිරත පුද්ගලයන් සිටින නමුත් ඒ කිසිවකුට රාත්‍රී කාලයට මේ පුණ්‍ය භූමිය ආසන්නයේ සිටිය නොහැකි බවද ප්‍රදේශවාසීන් පවසන දෙයකි. වනාන්තරය තුළින් ඇසෙන නොයෙක් බිහිසුණු ශබ්ද සහ අද්භූත අත්වලින් තල්ලුකිරීම වැනි විවිධ බාධා අත්විඳීමට සිදුවන බවද ප්‍රදේශවාසීන් පවසන දෙයකි. මෙම අපූරු පින් බිමේ ගතකළ රාත්රියේදී අප මුහුණ දුන් අත්දැකීම්ද පුදුමඑළවනසුලුය. නමුත් ඒ සියලු අත්දැකීම් එකින් එක වචනයෙන් විස්තර කිරීම ඉතා අපහසුය.
සපුමල්ගස්කඩ පුදබිමේ පිළිමගෙය ආසන්නයේ තිබී හමුවූ බෝධිසත්ව පිළිමය සහ හිටි පිළිමය මේ වන විට තැන්පත් කර ඇත්තේ වවුනියාව කෞතුකාගාරය තුළය. වසර ගණනාවක් පුරා නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වූ පුදබිමේ තැනින් තැන හාරා ඇති වළවල් දැකීමෙන් හිත තුළ ඇතිවන්නේ කලකිරීමකි.
අතීතයේ සැදැහැවතුන්ගේ වන්දනාමානයට ලක්ව තිබූ සපුමල්ගස්කඩ පුණ්‍ය භූමිය හුදෙකලා වනගත ප්‍රදේශයක් බවට පත්ව ඇත්තේ 1980 වසරෙන් පසුවය. එනම් ත්‍රස්තවාදී කලබල හේතුවෙන් වවුනියාවේ ජීවත් වූ සිංහල ජනතාව එම ප්‍රදේශ අතහැර යෑමත් සමඟය. සපුමල්ගස්කඩ පමණක් නොව වවුනියාව සහ උතුරු පළාතේ සිද්ධස්ථාන බොහොමයක් ඒ සමඟ අභාවයට ගොස් ඇත. අනුරාධපුර යුගයේ ඉතා සශ්‍රීක ප්‍රදේශයක් වූ වවුනියාවේ බොහෝ ප්‍රදේශවල ප්රාග් ඓතිහාසික යුගයේ සිටම ජනතාව වාසය කර ඇති බවට සාක්ෂි හමුවී ඇත. ප්රාග් ඓතිහාසික යුගයේ මානවයන් ජීවත් වූවා යැයි සාක්ෂි හමුවූ ඒරුපොතාන, සෙට්ටිකුලම ආදී ස්ථාන රැසක් වවුනියාව අවට ඇත. ඊට අමතරව දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනකු ලෙස සැලකෙන නන්දිමිත්ර යෝධයාගේ නම සහිත සෙල්ලිපි බොහෝ ප්‍රමාණයක්ද වවුනියාව අවට ප්‍රදේශවලින් සොයාගෙන ඇත.
අනුරාධපුර රාජධානියට එල්ලවූ විදේශීය ආක්රමණත් සමඟ සිංහල රාජධානිය පොළොන්නරුවටත්, එතැනින් නිරිතදිග ප්‍රදේශයටත් සංක්‍රමණය වීම මත වවුනියාව සහ ඒ අවට ප්‍රදේශ වනගත තත්ත්වයට පත්විය. එමෙන්ම අනුරාධපුර අවට බොහෝ ස්ථාන නිසි පුරාවිද්‍යා පරීක්ෂණයන්ට ලක්වී ඇති නමුත් වවුනියාව සහ ඒ අවට ස්ථාන නිසි පුරාවිද්‍යා පරීක්ෂණයකට ලක්වී නැත. කෙසේ නමුත් 2009 වසරේදී යුද්ධය අවසන් වීමත් සමඟ සපුමල්ගස්කඩ ඇතුළු උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන බොහොමයක් නැවත වරක් සැදැහැවතුන්ගේ ගෞරවාදරයට ලක්වී ඇත. එබැවින් උතුරු පළාතේ සංචාරයක නිරත වන අතරතුර මේ අපූරු පින්බිම වෙතද පැමිණීමට කාල වේලාවක් වෙන කරගතහොත් එය නිසැකවම අපූරු අත්දැකීමක් වනු ඇත.
දසුන් ප්‍රිය